brand logo

අද රටම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් වැරැද්ද නිසාමයි පවිත්‍රා කියයි

07 December 2018

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව පසුගිය සෙනසුරාදා රැස් වූයේ ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවසේදීය. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් පොදුජන පෙරමුණට එක් වූ සුදර්ශිනි ද සහභාගී වී සිටීම සුවිශේෂී කරුණකි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. ප්‍රථමයෙන් ප්‍රසන්න වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක් කළේය. එහි ගැබ් වී තිබුණේ මහින්ද ඔක්තෝබර් මස 26 වැනි දා ගත් තීන්දුව සම්බන්ධ කරුණුය. ප්‍රසන්න කීවේ තීන්දුව කුමක් වුවත් මහින්ද සමඟ දිගටම කටයුතු කිරීම සිය ප්‍රතිපත්තිය බවය. “දැනට මහ මැතිවරණය පැවැත්වීම වගේම අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සම්බන්ධ කාරණාත් තියෙන්නේ අධිකරණය හමුවේ. ඒ වුණත් අපි ඕනම දේකට සූදානමින් සිටින්න ඕනේ කියන එකයි මගේ මතය. අපිට පුළුවන් වෙන්න ඕනේ අධිකරණය දෙන තීන්දුව අනුව හැරි හැරී ඉන්නේ නැතුව ඉදිරි කටයුතු ටික කරගෙන යන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූලයි කිව්වොත් ඡන්දයක් එනවා. අපි ඒකට ලැහැස්තියෙන් ඉන්න ඕනේ. දෙවැනි කාරණය තමයි මහ මැතිවරණයකදී අපි තරග කළ යුත්තේ කොහොමද කියන එක. අපි අවුරුදු තුනක් තිස්සේ වෙහෙසිලා ගොඩනගපු පක්ෂයක් අපට දැන් තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි ඉල්ලන්න ඕනේ ඒ පක්ෂයෙන් කියලයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපි තීන්දුවක් අරගෙන ඒක මහින්ද මහත්තයටයි බැසිල් මහත්තයටයි දැනුම් දෙමු කියලා මම යෝජනා කරනවා“ ප්‍රසන්න පැවසීය. “පොහොට්ටුව තමයි අපේ පක්ෂය. මිනිස්සු දැන් ඉන්නේ පොහොට්ටුව එක්ක. ඒ නිසා මම ඒ යෝජනාව අනුමත කරනවා“ ලන්සා කීවේය. “මටත් දෙයක් කියන්න තියෙනවා. එදා ඉඳලා මේ සටනේ අපි හිටියත් ඔක්තෝබර් මාසේ අගමැති ධුරය අරගෙන ආණ්ඩුවක් පිහිටපු වෙලාවේ අපට අසාධාරණයක් වුණා කියලයි මම විශ්වාස කරන්නේ. අපේ ප්‍රසන්නමහත්තයා තමයි මේ දිස්ත්‍රික්කයේ නායකයා. හැබැයි ආණ්ඩුව හදද්දි එතුමාට ඇමැතිකමක් ලැබුණේ නැහැ“ ඉන්දික පැවසීය. “පොඩ්ඩක් ඉන්න ඉන්දික. මේ වෙලාවේ අපි ඇමැතිකම් ගැන කතා කරන්න ඕනේ නැහැ.ඕවා නෙමේ ප්‍රශ්න. මම නම් මුල ඉඳලම හිටිය මතය තමයි රටට වැඩක් වෙනවා නම්, මහින්ද මහත්තයා මේ රටේ බලයට එනවා නම් ඇමැතිකම් අවශ්‍ය නැහැ කියන එක. අපි හැමදාම වැඩ කළේ මහින්ද මහත්තයා වෙනුවෙන්. ඒ නිසා ඒවා ගැන කතා නොකර ඉමු. දැන් තියෙන්නේ මහින්ද මහත්තයා තවදුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණයයි. ඒ නිසයි මම කියන්නේ පොහොට්ටුවෙන් තරග කරමු කියලා“ ප්‍රසන්න පැහැදිලි කළේය. “මගෙත් මතය දිනන ලකුණු පොහොට්ටුව කියන එකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නේ වෙනම හැඩයක්. එතැනදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම උපක්‍රමය තමයි පොහොට්ටුවෙන් තරග කරන එක. මම ඒ වෙනුවෙන් උපරිමයෙන් පෙනී ඉන්නවා“ මධුමාධව කීවේය. “මමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා“ ජනිපෙ නියෝජනය කරන ලලන්ත ගුණසේකර පළාත් සභා මන්ත්‍රීවරයා ද පැවසීය. “පොහොට්ටුවෙන් තරග කරන්න ඕනේ කියන එක අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි පක්ෂ නායකත්වයේ අදහසුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ“ සිසිර කීවේය. ඒක තමයි මම කියන්නේ අපි මේ යෝජනාව පක්ෂ නායකත්වයට දන්වලා යවමු කියලා“ ප්‍රසන්න පැවසීය. ඒ අනුව ප්‍රසන්නගේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරුණු අතර එම යෝජනාව මහින්ද සහ බැසිල් වෙත දන්වා යැවීමට ද තීරණය කෙරිණි. අගමැති සහ ඇමැති මණ්ඩලයේ කටයුතුවලට වාරණයක් පනවමින් අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්වන විට ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රීවරුන් සිටියේ යුක්තියට හඬක් සංවිධාන කළ ජනවරමට අවසරයි ජනරැලියට සහභාගී වෙමිනි. පණිවිඩය ලැබුණු වහාම එතැන සිටි මන්ත්‍රිවරුන් සියලුදෙනාම පාහේ මහින්දගේ විජේරාම නිල නිවසට ගියෝය. කෙහෙළිය, සුසිල්, අනුර, ප්‍රසන්න, පවිත්‍රා, පියල්, දිනේෂ් ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියහ. “මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. එතුමා ඉන්නෙත් අපි ඉන්න මතයෙමයි. මෙතැනදි අපේ තනතුරු අත්හිටුවලා නැහැ. රාජකාරී කරන එකට පමණයි වාරණයක් නිකුත් කරලා තියෙන්නේ“ මහින්ද පැහැදිලි කළේය. අනතුරුව එම තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරුණු අතර. පසුදින ප්‍රථම පැයේදිම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් මහින්ද පැවසීය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් ද ඒ මොහොතේම නිකුත් කෙරිණි. අනතුරුව සාකච්ඡාවට ලක්කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. “එක්සත් ජාතික පක්ෂය අද එල්ලෙන්න වැල් නැති පක්ෂයක් වෙලා ඉවරයි“ ප්‍රසන්න පැවසීය. “මේ සියල්ලට මුල වෙලා තියෙන්නේ 19 වැනි සංශෝධනයයි. කඩිමුඩියේ ගෙනල්ලා මේක සම්මත කරගත්තා මිසක් ඒකෙන් වෙන්න පුළුවන් අහිතකර දේවල් කවුරුවත් හිතුවේ නැහැ. දැන් පේනවානේ උදා වෙලා තියෙන තත්ත්වය“ උදය පැහැදිලි කළේය.“ඒක නම් ඇත්ත තමයි. අද රටම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් වැරැද්ද නිසාමයි“ පවිත්‍රා කීවාය. “අද යූ. ඇන්පියයි ජේවීපියයි ටීඑන්ඒ එකයි එක වල්ලේ පොල් වගෙයි“ පියල් පැවසීය.
 

More News..