brand logo

අද බොහෝ දෙනා PCR කරන්නෙ කටින්

06 November 2020

කොරෝනා වයිරසය නැවතත් මෙරට ජන සමාජය අකර්මණ්‍ය කර ඇත. කෙසේ වුවද රට නොවසා ඉදිරියේදී කොරෝනා සමග කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය මේවන විට යොමුකර ඇත. එමෙන්ම විනාඩි 20කින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ නව පරීක්ෂණයකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ බවටද අප ඊයේ ‘අරුණ’ පුවත්පත ඔස්සේ රටට අනාවරණය කළෙමු. කොරෝනා සම්බන්ධයෙන් ගනු ලැබූ මෙකී නවතම ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කළ සංවාදයයි මේ. ඔහු වයිරස් රෝග පිළිබඳ වසර 16ක විශේෂඥ දැනුමකින් හෙබි වෛද්‍යවරයෙකි. නියමිත කාලයට රට වසා පුද්ගල සංචරණ සීමා කිරීම නිසා පළමු වටයෙදී කොරෝනා පාලනය සම්බන්ධයෙන් ලෝකයෙන් ප්‍රශංසා අපට හිමිවුණා. නමුත් මෙවර රට වසා කටයුතු කිරීමට වඩා විවෘතව තබා ගනිමින් කොරෝනා සමග එදිනෙදා කටයුතු සිදුකරගැනීම සම්බන්ධව තමයි රජයේ අවධානය යොමුව තිබෙන්නේ. රෝගය පාලනය සම්බන්ධයෙන් රට වසා කටයුතු කිරීම අද වෙද්දි කෙතරම්දුරට ප්‍රායෝගිකද? රට වසා තැබීම කියන එකේ ගැඹුරු අර්ථය තමයි වයිරසය පැතිරීම වැළැක්වීම කියන එක. ප්‍රංශයත් මේවෙද්දි බැරිම තැන ඒක කරල තියෙනව. ඒක තමයි අවසාන පියවර. ඒත් මම නම් දකින්නෙ රට වහන එක නෙමේ හරිම ක්‍රියාමාර්ගය. පුද්ගල සංචරණ සීමා කිරීම තමයි වැදගත්ම දේ. ලොක්ඩවුන් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් අනුමත කරන්නෙ නෑ. දැන් අශ්වය ගිහිල්ල ඉවරයි ඉස්තාලයෙන්. දැන් තියෙන්නෙ අශ්වය පස්සෙන් ගිහින් අල්ලනව වගේ වැඩක්. මහාචාර්ය මලික් පීරිස් වගේ අයත් එක්ක මම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතා කරනව. එවැනි අවස්ථාවලදීත් මතුවුනු කාරණය තමයි මේ ගමන අපි යන්න ඕන බ්‍රේක් ගහමින් කියන එක. අවශ්‍ය තැන බ්‍රේක් ගහල නවතින්න ඕන. ඊට පස්සෙ යන්න ඕන තැනට යන්න ඕන. ආයෙත් බ්‍රේක් ගහන්න ඕන. ඒක හරියට Hammer and dance වගේ. ඩාන්ස් කරනව. ඒක වැඩිවෙන කොට හැමර් එකෙන් ගහල ඒක පාලනය කරනව වගේ. මේ ප්‍රශ්නය අද ගොඩක් අය අල්ලන්නෙ වැරැදි තැනකින්. මමත් රට වහන එකට අකමැති කෙනෙක්. ජනාධිපතිතුමත් කියල තිබුණ එතුමා වෙනදා පෙට්ටිකඩවල දකින මිනිස්සු දැන් නෑ, ඒ මිනිස්සු කොහොමද දැන් කන්නෙ, ජීවත්වෙන්නෙ කියල. මම පෞද්ගලිකව එහෙම එදාවේල හම්බකරන් කන මිනිස්සු ගැන දන්නව. මේ රෝගය පැතිරීම වැඩියි තමයි. එහෙම තත්ත්වයක් යටතෙ අපි කරන්න ඕන අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගැනීමයි. ඒකට කෝකටත් තෛලය වගේ රට වැහීම සුදුසු නෑ. එල්ටීටීඊ කලබල තිබුණු කාලයෙ බෝම්බ පුපුරනව කියල ඉස්කෝල වහල තිබ්බෙ නෑනෙ. බෝම්බයක් පිපිරුණොත් තාවකාලිකව පාසල් වහල අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන, ආරක්ෂාව තරකරල නැවත පාසල් විවෘත කළා. ඒ වගේ අවශ්‍ය වෙලාවට අතිශයින්ම ගැළපෙන ක්‍රියාමාර්ගය ගැනීම තමයි වැදගත්. රෝගය පැතිරීමේ සීග්‍රතාව ඉතා ඉහළයි. ඒ නිසා ඉදිරියෙදි දැඩිසත්කාර ඒකකවලට දැරිය නොහැකි තත්ත්වයක් ආවොත් ඒක මරණ වැඩිවෙන්න හේතුවෙනව. ඊට පස්සෙ මරණ වැඩිවෙන්නෙ අපි හිතන්නෙත් නැති වේගයකින්. ඒ නිසා තීරණ ගැනීමේදී ඒ සම්බන්ධ ඒ අදාළ විශේෂඥයන්ගේ අදහස්වලට අහුම්කන් දීම වැදගත්. ආර්ථික විශේෂඥයන් රෝග පාලනය ගැන දෙන උපදෙස් මේකට ගැළපෙන්නෙ නෑ. අද වෙද්දි PCR පරීක්ෂණ පිළිබඳවත් විවිධ විවේචනයන් එල්ලවෙනව. ඒත් එක්කම විනාඩි 20න් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් එක්ක අපේ රටෙත් ඒක භාවිත කිරීමේ අවධානය යොමුවී තියෙනව. මේ නව ක්‍රමය PCR පරීක්ෂණවලට වඩා සාර්ථකද? විනාඩි 20 RNA test එකක් තමයි ඒක. ඒක හඳුන්වන්නෙ LAMP කියන කෙටි වදනින්. අඩු වියදම, ඉතා කෙටිකාලයක් ගතවීම සහ විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරගන්න පුළුවන්වීම තමයි මේකෙ තියෙන වාසි. දැනට කරන ක්‍රමවේදය තමයි Real time PCR' LAMP ක්‍රමයත් PCR පරීක්ෂණය වගේම අදාළ වයිරසයේ තියෙන ජාන අනුපිළිවෙළ නිවැරැදිව හඳුනා ගන්නා ක්‍රමයක්. ඒකෙදි යන්ත්‍රය තුළ තියෙන කාලය අඩු කරනව. කොරෝනා පරීක්ෂාව සම්බන්ධයෙන් රන් සන්නාමය, නැතිනම් නියම ප්‍රමිතිය තමයි PCR. නමුත් LAMP ක්‍රමයත් අත්හදා බලා සාර්ථක වුණ ක්‍රමයක්. PCR පරීක්ෂණය කියන්නෙ කටින් කරන එකක් නෙමෙයි අතින් කරන එකක්. නමුත් අද බොහෝ දෙනා මාධ්‍ය තුළ කටින් තමයි PCR කරන්නෙ. ඒ අය මේ තරම් ප්‍රමාණයක් PCR කරන්න පුළුවන්, මේ තරම් ප්‍රමාණයක් කළා කියල ලොකු කතා කියනව ඇහෙනව මාධ්‍යයෙන්. වෛද්‍ය පර්‌යේෂණ ආයතනය කළ PCR පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සෘජුවම නිරීක්ෂණය කරපු පුද්ගලයෙක් මම. ඒ පරීක්ෂණය ඉතා සංකීර්ණ එකක්. ඒක පියවර හයකින් කාමර හතරක සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් අය ඒක කෙටි මාර්ගවලින් ගන්නව. එතැනදි වැරැදි වාර්තා එනව. අපි කෙනෙක්ගෙන් නියැදියක් අරගෙන ඒක නිශ්ක්‍රීය කරල, ඒකට විවිධ භෂ්ම දානව. ඊට පස්සෙ ඒ න්‍යෂ්ටික අම්ලය නිස්සාරණය කරනව. ඊට පස්සෙ Master Mix කියල එකක් දානව. ඊට පස්සෙ සාම්පල් ඇඩින් දානව. ඊටත් පස්සෙ තමයි PCR එක කරන්නෙ. ඒකෙ ප්‍රතිඵලය එන්න පැය දෙකක් ගතවෙනව. මේ නව පරීක්ෂණය සිදුකරන්න අපට තියෙන භෞතික සම්පත් ප්‍රමාණවත්ද? ඉන් රෝගය වැලඳුණු පුද්ගලයන් ඉක්මනින් හඳුනාගන්න පුළුවන් වෙන නිසා රෝග ව්‍යාප්තිය පාලනයට යම් පිටුබලයක් මෙමගින් සැපයෙයිද? ඔව්, මේ තියෙන යන්ත්‍රවලින් ඒ දේ කරන්න පුළුවන්. මේකට පාවිච්චි කරන්නෙත් එකම මැෂින් එක. එකම උපකරණ කට්ටල. ඒත් ඒකට අලුතින් ප්‍රතික්‍රීයක කට්ටල ඕන. තැනේ හැටියට තමයි ඇනේ ගහන්න ඕන. රෝග ව්‍යාප්තිය පාලනයට මින් රුකුලක් වෙනවද නැද්ද කියල යමක් කියන්න තවම වේලාසන වැඩියි. මෙරට තුළ මේ වන විට ව්‍යාප්තවී ඇති කොරෝනා වයිරස් ප්‍රභේදය යුරෝපයේ දැනට පැතිරෙන වයිරස් කාණ්ඩයකට සමානකමක් දක්වන බවක් පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළ පර්‌යේෂණයකින් තහවුරු වී තිබුණ. නමුත් ඒ පිළිබඳ විවිධ විසංවාදයන් සමාජය තුළ මේවනවිට ඇතිවී තියෙනව... වයිරස් එකක ජාන අනුපිළිවෙළක් තියෙනව. ඒ නිසා අපිට නිශ්චිතවම කියන්න බෑ මේ පවතින ප්‍රභේදය යුරෝපයෙන්ම ආව කියල. හැබැයි යුරෝපයේ මේ වෙද්දි පැතිරෙන වයිරසයට සමාන අනුරූප තමයි අපේ රටේ දැන් පැතිරෙන වයිරසයෙ තියෙන්නෙ. ලෝකය පුරා වරින් වර මතුවන වයිරස්වල ස්වභාවය තමයි අදාළ වයිරසයට සමාන අනුරූප බිහිවීම. උදාහරණයකට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය, කුරුලු උණ වගේ වෛරස් ගත්තත් එහි මුල් ප්‍රභේදය වෙනත් ප්‍රභේදයකින් වසා ගන්නව. ඒක ස්වභාවික සංසිද්ධියක්. අපි මේක අපිට දැනෙන උදාහරණයකින් පැහැදිලිකර ගනිමුකො. අපිට හිතමු අපි ත්‍රස්තවාදියෙක් අල්ලගෙන තියෙනව. ඔහු සිරියාවෙ පුහුණු ලැබූ අයෙක් වශයෙන් තොරතුරු හෙළිවෙලා තියෙන්නෙ. ඊට හරියටම සාධක නැති වුණත් ඔහු පාවිච්චි කළ බෝබ්බ, ගිනි අවි, පාවිච්චි කළ සටන් ක්‍රම පරීක්ෂා කරල තමයි අපි එහෙම නිගමනය කරන්නෙ. හැබැයි අපට අවසානයෙ ඒ ත්‍රස්තවාදියගෙන් ප්‍රශ්න කරල සියලු කාරණා තහවුරු කරගන්නව වගේ වයිරසයකින් ප්‍රශ්න කරල අපිට තහවුරු කරගන්න බෑ ඒක ආවෙ කොහෙන්ද කියල. ඒ නිසා අනුමාන කිරීමක් විතරයි කරන්න පුළුවන්. හොරෙක්ගෙ ඇඟිලි සලකුණු පරීක්ෂා කරල මෙයා තමයි හරියටම හොරා කියනව වගේ වයිරස් එකක් ගැන එහෙම කියන්න බෑ. මේ වෙද්දි කොරෝනා වයිරසයෙ අනු ප්‍රභේද කොපමණ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවද? වයිරසයක් ගත්තාම අපි කියන දෙයක් තමයි එයා හරිම ප්‍රාථමිකයි, ඔවුන්ට සෛල බිත්තියක්වත් නෑ, ගෝලීය දේහ ආදිය නෑ කියල. නමුත් ඒ වයිරස් එකක් කොච්චර අජීවී වුණත් එයා හදන්නෙ අපිට වඩා ඉදිරියෙන් අඩියක් තියන්න. මොකද එයාගෙ ග්‍රහණය එයා තියාගන්න ඕන. ඔවුන්ගෙ පැවැත්ම තියාගන්න ඕනනෙ. වයිරස් එකක ආවේණික ලක්ෂණයක් තමයි ඔවුන්ගෙ ස්වරූපය වෙනස් කර ගැනීම. ඒ ඔවුන්ගෙ පැවැත්ම වෙනුවෙන්. ඒ සංසිද්ධියෙදි ඔවුන්ගෙ ස්වභාවිකව විකෘතිතා ඇතිවෙනව. සමහර විකෘතිතා වයිරස් එක ඉක්මනින් පැතිර යන්න ඉවහල් වෙනව. එය වයිරස් එකක ස්වභාවික ලක්ෂණයක්. එනිසා කොරෝනා වයිරසයෙත් අද වෙද්දි අනු ප්‍රභේද ගොඩක් තියෙනව. වයිරස්වල එක ලක්ෂණයක් තමයි මේ අනු ප්‍රභේද. ප්‍රධාන වශයෙන් සාර්ස් කොරෝනා 2 (SARS-CoV-2) කියන ප්‍රභේදය තමයි මේ කොරෝනා වයිරසයත් එක්ක එන රෝග කාරකය. ඒකෙ තියෙනව ප්‍රභේද හතරක් සහ ඊට අමතරව අනුප්‍රභේද විශාල සංඛ්‍යාවක්. ඒ අනුප්‍රභේද විශාල වශයෙන් බලපාන්නේ අපි වැනි වයිරස් විශේෂඥයන්ට හරි, මවුලික අනුකතාවය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයන්ට. ඒ වයිරසයේ හැසිරීම භූගෝලීය හැසිරීම සම්බන්ධයෙන්. හුදෙක් හුදී ජනයාට ඒක වැදගත් වෙන්නෙ නෑ. මෙතැනදි නිතර නිතර ඉස්මතු කරන්න ඕන කාරණය තමයි ජනතාවට වැදගත් දේ. ඒ තමයි වයිරසයේ ප්‍රභේදය මොකක් වුණත්, වයිරසයේ අනුප්‍රභේදය මොකක් වුණත් ඒක බෝවන ක්‍රමය වෙනස්වී නැති බව. මම මේක නිතරම මාධ්‍යයෙන් කිව්ව. මේ රෝගය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට භාවිත කරන්නා වූ ප්‍රධාන ක්‍රම මේ අනුප්‍රභේද හින්ද වෙනස්වෙලා නෑ. එක රටක් තුළ එවැනි ආකාරයෙන් කොරෝනා වයිරසයේ අනු ප්‍රභේද කීපයක් පැතිර යා හැකිද? ඒක වෙන්නෙ මෙහෙමයි, වයිරස්වල එක ලක්ෂණයක් තමයි එක වෙලාවකදි පෙරමුණ ගන්නෙ එක ප්‍රභේදයයි. හොඳම උදාහණය ඉන්ෆුලුවෙන්සා. ඉන්ෆුලුවෙන්සා H1 H3 කියල අනුප්‍රභේද තියෙනව. ඒ දෙන්න වර්ෂයේ සෘතු බෙදාගෙන තමයි පැතිරෙන්නෙ. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා B කියල ප්‍රභේදයක් තියෙනව. ඒකෙ එක ප්‍රභේදයක් මාස අටක් පැතිරුණාට පස්සෙ තමයි අනෙක් ප්‍රභේදය පැතිරෙන්න පටන් ගන්නෙ. මෙතැනදි ඇතැම් විට එම ප්‍රභේද සම සමව පැතිරගෙන යන අවස්ථාත් තියෙනව. එහෙම නැත්නම් යම්කිසි ප්‍රතිශතයක් වශයෙන් පැතිර යන අවස්ථාත් තියෙනව. ඒ කියන්නෙ 80%යි, 20%යි. 70%යි, 30%යි වගේ. ඒ අනුව සමහර අනුප්‍රභේද සුළු වශයෙන් පැතිර යන්න පුළුවන්. ඇතැම් අනුප්‍රභේද විශාල වශයෙන් පැතිර යන්න පුළුවන්. අපි දකිනව දැන් අපේ රටේ වගේ යුරෝපා රටවල මේ රෝගය සීග්‍රයෙන් පැතිර යනව. මුල් අවස්ථාවේ වගේ නෙමේ ගෝලීය වශයෙන් වාර්තාවන රෝගීන් ප්‍රමාණය හැම තැනම වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ මේ වයිරසයේ අනුප්‍රභේද පැතිරයෑමේ වේගය වැඩිවෙලා තියෙනව. අනෙක ශ්වසන වයිරස්වලට දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් ස්වභාවිකව මිනිස් ශරීරයේ තියෙන්නෙ නෑ. ඉන්ෆුලුවෙන්සා, ඇඩිලෝ වයිරස් ආදි ලෙසින් ශ්වසන වයිරස් කීපයක් තියෙනව. ඕව කැලැන්ඩර් වර්ෂයක් තුළ තුන් පාරක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ කොරෝනා ප්‍රභේද කීපයක් එකම භූගෝලීය ප්‍රදේශයක් තුළ සම සමව හෝ අඩු වැඩි වශයෙන් පැතිර යන්න පුළුවන්. එවැනි තත්ත්වයක රෝගය එම භූගෝලීය කලාප තුළ සීග්‍රයෙන් පැතිර යන්න හේතුවෙනවද? එතනදි අපි යළිත් යන්න ඕන මූලධර්මවලට. යම්කිසි වයිරස් ප්‍රභේදයක් යම් වෙනස්වීමකට හෝ විකෘති වීමකට භාජනය වුණොත් (විකෘතී වීම සහ වෙනස්වීම කියන්නෙ දෙකක්) යම්කිසි ජානමය වෙනස්වීමකින් ඔවුන් වැඩිපුර පැතිරීමේ සම්භාවිතාවක් ඇතිකරගන්නව. ඔව්, එතැනදි ඒක රුකුලක් වෙනව රෝගය පැතිර යන්න. වයිරස්වලට ඉතාම ආවේණික ලක්ෂණයක් තමයි කෙටිකලකින් වෙනස්වීම. උදාහරණයක් තමයි ඉන්ෆුලුවෙන්සා. 1917, 1958, 1967 ඉන්ෆ්ලුවෙන්සා ගෝලීය වසංගත තුනක් ආව. ඒ වයිරසයේ සිදුවූ වෙනස්වීම් රුකුලක් වුණා රෝගය පැතිර යන්න. කොරෝනා වයිරසයත් මේ ලෙසින් වෙනස්වීම නිසාද නිශ්චිත ඖෂධයක් සොයා ගැනීම දුෂ්කරවී තියෙන්නෙ...? වයිරස් එකක් ප්‍රාථමික වෙන්න වෙන්න ඒක පාලනය කිරීම අපහසු වෙනව. කොරෝනාවලට බෙහෙතක් කියන එක තාමත් ප්‍රශ්නාර්ථයක් තමයි. ඇමරිකාවේ තියෙනව කියමනක් 'A pill for every ill' කියල. ඒ කියන්නෙ ‘හැම ලෙඩකටම ගිලින්න බෙහෙතක්’ කියල. එහෙම හිතන්න හොඳ නෑ. අපේ වෛද්‍ය විද්‍යාවේ අපට උගන්වන දෙයක් තමයි රෝගය, රෝගීභාවය, ආසාදනය කියන්නෙ තුනක් කියල. මේකට ප්‍රතිවයිරසයක් ලෝකය තවම සොයාගෙන යනව. ඒකට තවම ඖෂධයක් සායනික මට්ටමේ තියෙනව මිසක් එළියට දාන්න තරම් සාර්ථක තත්ත්වයක නෑ. ඒක වියහැකියි. ගෝලීය වසංගත ආවම එකපාරටම එහෙම කරන්න අසීරුයි. දැනට කොරෝනා බෝවීම වළක්වා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීම තමයි සාර්ථක. •සංවාදය - ලක්මාල් බෝගහවත්ත
 

More News..