brand logo

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 64608ක් විපතේ

23 December 2019

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් දිස්ත්රික්ක 13 ක පවුල් 18840කට අයත් පුද්ගලයින් 64608 ක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි. බදුල්ල, මොනරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්රික්කයේ වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 5185 කට අයත් පුද්ගලයන් 16836 ක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි. මොනරාගල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලින් මරණ තුනක් වාර්තා වේ. එමෙන්ම, අධික වැසි හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයන් නිසා පුද්ගලයන් 06 කට තුවාල සිදුවී තිබේ. වැසි තත්ත්වය නිසා නිවාස 62 කට පූර්ණ හානි සිදුවී තිබෙන අතර, අර්ධ හානි සිදුවී ඇති නිවාස ගණන 1463 කි. පීඩාවට පත් පවුල් 5255 කට අයත් පුද්ගලයන් 17766 ක් කඳවුරු 132 ක තාවකාලිකව රඳවා ඇතැයිද ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියොජ්ය අධ්යක්ෂක ප්රදීප් කොඩිප්පිලි පැවැසීය. අද (23 වැනිදා) වැසි තත්ත්වය වැඩිවන බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක්ද නිකුත් කර ඇත. නිවේදනයට අනුව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්රික්කවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ත් 200ත් අතර තද වර්ෂාපතනයක්ද, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලටත්, මඩකලපුව,අම්පාර,නුවරඑළිය,මාතලේ,පුත්තලම සහ මන්නාරම යන දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් මහනුවර,කුරුණෑගල,මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක තදවැසි ඇතිවන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. අධික වැසි හේතුවෙන් දිස්ත්රික්ක 11 ක වැව් සහ ජලාශ 41 ක වාන් දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අනුරාධපුර දිස්ත්රික්කයේ වැව් සහ ජලාශ 07 කද,හම්බන්තොට දිස්ත්රික්කයේ වැව් සහ ජලාශ 06 කද වාන් දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගංවතුර තත්ත්වය හේතුවෙන් මඩකලපුව, කරදිය ආරු උතුරු ප්රදේශයේ මාවඩ්ඩි ඔඩ්ඩායිහි කොටුවී සිටි පුද්ගලයන් 26 දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදාව විසින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ඊයේ (22 වැනිදා) මෙහෙයුමක් දියත් කළේය. හෙලිකොප්ටර් යානයෙන් පුද්ගලයන් තිදෙනෙකු මුදාගෙන ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බව ගුවන් හමුදාව පවසයි. අනෙක් පිරිස බේරා ගැනීමට ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිලධාරීන්, නාවික හමුදාව සහ යුද හමුදාව කටයුතු කර ඇත. කලා වැව පිටාර ගැලීම නිසා අනුරාධපුර,ඉපලෝගම,දික්වැව ගම්මානයේ කොටුවී සිටි පුද්ගලයන් 28 දෙනෙකු සහ ඇතිමලේවිල ඔය පිටාර ගැලීම හේතුවෙන් කොටුවී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත. ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටි පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් ත්රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව පෙරේදා (21 වැනිදා) මුදාගත් බව ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි පැවසීය. අධික වැසි තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව,කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක්ද ඊයේ (22 වැනිදා) සවස විවෘත කෙරිණි. ඉකුත් පැය 24 තුළදී වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව දිස්ත්රික්කයෙන් වාර්තාවූ බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුවට මිලි මීටර් 57 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්රික්කයට ඊයේ (22 වැනිදා) සවස මහ වැසි ඇද හැලීම නිසා ගොඩදොර ඇල සහ කිරිඳි ඔයේ ජල මට්ටම් ක්රමයෙන් ඉහළ යමින් පැවතුණි . මේ හේතුවෙන් එම ඔයවල් දෙපස පදිංචි ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසට ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් අවදානම් නිවේදනයක්ද නිකුත් කරන ලදි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක හයකට නාය යෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ. මාතලේ, නුවරඑළිය, මහනුවර, බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්රික්කවලට මෙම නිවේදනය ඊයේ (22 වැනිදා) පස්වරු 4 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ විද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..