brand logo

අදටත් ළඟින් ඇසුරු කරන්නේ එක පිරිමි යාළුවයි

03 July 2022

විතුරා’, ‘රාජිනී’’ ‘ළංවී’ යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම ඔබේ හදට අමතන ඇය වගීෂා සල්ගාදුයි. මෑත කාලයේ ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රසික රසිකාවියන්ගේ හිත්වල පදිංචි වූ වගීෂා, නිරන්තරයෙන්ම විවිධාකාර චරිත මවමින් පුංචි තිරය රසවත් කරනවා. මෑත කාලයේදී සුන්දරත්වයෙන් වගේම දැනෙන්න රඟපාන නව පරපුරේ නිළියක ලෙස වගීෂා ඉදිරියට එමින් සිටිනවා. මේ ගෙවෙන්නේ ඔබට කාර්යබහුල සමයක්ද? මේ දවස්වල ‘දිවිතුරා’, ‘රාජිනී’ සහ ‘ළංවී’ සහ ලබන සතියේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක් ඇතුළුව ටෙලි නාට්‍ය හතරක රූගතකිරීම් කෙරෙනවා. ඒ එක්කම මියුසික් වීඩියෝ කිහිපයකුත් කළා. ඇත්තම කියනවා නම් ටිකක් කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවෙන්නෙ. දවස් ගාණකට පස්සෙ තමයි ගෙදර ඉන්න ලැබුණේ. පසුගිය කාලයේ නම් ඉගෙනීමේ කටයුතු නිසා අවුරුද්දකට නිර්මාණ එකකට හෝ දෙකකට තමයි දායකත්වය ලබාදුන්නේ. සතියේ දවස් පහේම ටෙලි නාට්‍ය හතරක මාරුවෙන් මාරුවට රඟපාද්දි චරිත මාරුවෙන්නෙ නැද්ද? පැටලීමක් වෙනවා. අද දිවිතුරා ෂූටිං ගියොත් හෙට රාජිනී ෂූටිං. ඔය විදිහට මාරුවෙන් මාරුවට එක එක චරිත කරන්න වෙනවා. ඒ අතර මියුසික් වීඩියෝත් කරන්න වෙනවා. එක ළඟ චරිත කිහිපයක් කරද්දි චරිත පැටලෙන එකට මම උපක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා. එක එක චරිතයට මම වෙන වෙනම මියුසික් ප්ලේ ටිකක් හදාගෙන තියෙනවා. අදාළ චරිතය කරන දවසට ඒ චරිතයට අදාළ මියුසික් ප්ලේ එක අහගෙන තමයි මම යන්නේ. රංගනය ඔබේ වෘත්තියද? ඔව්. මේ වෙද්දි මම වෘත්තීයමය වශයෙන් නිළියක්. මුලින් මම රඟපෑවේ විනෝදාංශයක් විදිහට. පසු කාලයේදී වෘත්තීය නිළියක් වෙන එක මගේ ඉලක්කයක් බවට පත්වුණා. කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට ලැබුණු මේ අවස්ථාවට වටිනාකමක් දෙන්න මම උත්සාහ කරනවා. මේ හැමදේමත් එක්ක ඔබ උසස් අධ්‍යාපන කටයුතුත් කරනවා නේද? මම හදාරන්නේ මනෝවිද්‍යාව සහ නීතිය. මේ දවස්වල එල්.එල්.බී. උපාධිය සඳහා ඉගෙන ගන්නවා. ඒ අතර අපරාධ මනෝවිද්‍යාවත් ඉගෙන ගන්නවා. ඇත්තටම මම නීතිය හදාරන්නෙ නීතිඥවරියක් විදිහට උසාවි යන්න නම් නෙවෙයි, මගේ දැනුම වැඩිකර ගැනීමටයි. අනාගතයේදී මනෝ විද්‍යාඥවරියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍ර දෙකේම මම රැඳී සිටීවි. නපුරු චරිතවලින් වගේම දඟකාර චරිතවලින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන වගීෂා සැබෑ ජීවිතයේදී මොන වගේද? මම නපුරුයිද දඟයිද කියන ප්‍රශ්නයට උත්තරය මේකයි දිවිතුරා ටෙලි නාට්‍යයේ මම ඉතා නපුරු කෙනෙක්, රාජිනී ටෙලි නාට්‍යයේ හරිම දඟකාරයි, ළංවී ටෙලි නාට්‍යයේ හරිම අහිංසකයි. ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණයේ වෙනස්ම චරිතයක්. මේ හැම චරිතයකම යම් යම් තැන්වලදී වගීෂාත් ඉන්නවා. සාමාන්‍ය ජීවිතයේ මම ඇසුරු කරන කෙනා අනුව තමයි මගේ හැසිරීම තීරණය වෙන්නේ. සාමාන්‍ය විදිහට ගත්තොත් මම හරිම මිත්‍රශීලී, කෙලින් කතා කරන කෙනෙක්. ඔබේ යහළුවොත් මේ ක්ෂේත්‍රයේ අයමද? මම ළඟින් ඇසුරු කරන යාළුවෝ හැමෝම කලා ක්ෂේත්‍රයේ අය. මගේ පාසල් යාළුවෝ හිටියත් අදටත් ළඟින් ඇසුරු කරන්නේ එක් පිරිමි යාළුවෙක් විතරයි. ඒ හැරුණාම දුල්ෂාරා අල්විස්, හේසර බණ්ඩාර, අංජුමාලා, ශනුද්‍රි වැනි ක්ෂේත්‍රයේ අයව තමයි නිතරම ඇසුරු කරන්නේ. පාසල් කාලයෙන් පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මගේ රංගන දිවියේ පිවිසීමේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි 2015 වසරේදී මහේන්ද්‍ර පෙරේරා සර්ව හමුවීම. ඔහු මාව ‘එළියකන්ද’ නාට්‍යයට යොමුකළා. එළියකන්ද නාට්‍යයේ රඟපාන්න කැමරාව ඉදිරියට ගියාම මට දැනෙනවා මම, මාව හොයාගත්තා වගේ හැඟීමක්. එතැනදී මම තීරණය කරනවා මට රඟපාන්න පුළුවන්, මේක තමයි මම යායුතු මග කියලා. අදටත් මහේන්ද්‍ර සර්ට මම කියන්නේ අප්පච්චි කියලා. කාලයක් යද්දි මගේ අධ්‍යාපන කටයුතුයි, ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලියි එක්ක මට මේක හරි බරක් විදිහට දැනෙනවා. ඉතින් මම තීරණය කරනවා රඟපෑමෙන් ඉවත් වෙන්න. ඒ අවස්ථාවේදි තමයි තිසර ඉඹුලාන අයියා මට මියුසික් වීඩියෝවකට ආරාධනා කරන්නේ. සනුක වික්‍රමසිංහගේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝවට දායක වීමෙන් පසුව තමයි මගේ දෙවැනි පිවිසීම ලබාගන්නේ. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..