brand logo

අතුරු සම්මත ගිණුමකින් රජයේ එදිනෙදා වියදම් පියවෙනවා පමණයි

26 August 2020

අතුරු සම්මත ගිණුමකින් සිදුවන්නේ රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමක් පමණක් බැවින් රජය වහා අයවැයක් ඉදිරිපත්කර එය සම්මතකර ගැනීමට පියවර ගතයුතු බව ජාතික සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. කඩා වැටුණු රට ඔසවා තැබීම සඳහා වන සැළසුම් ආණ්ඩුව අයවැය මගින් ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා කීය. මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අද(26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අත්තනායක මහතා මේvබව පැවසුවේය. අතුරු සම්මත ගිණුමක් සම්මත කළ පමණින් රටක් ඉදිරියට ගමන් නොගන්නා බවත් රටක් ඉහළට ඔසවා තැබීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිලි වන්නේ අයවැයක් මගින් බවත් කී ඒ මහතා නිදහසින් පසු අයවැයක් නොමැතිව රටක් ගෙනගිය එකම වසර ලෙස 2020 ඉතිහාස ගතවන බවද අවධාරණය කළේය. වරින්වර අතුරු සම්මත ගිණුම් සම්මත කළ ගත්තද නිශ්චිත කාලසීමාවකට පසු සෑම ආණ්ඩුවක්ම අයවැයක් ඉදිරිපත් කළ බවත් වත්මන් ආණ්ඩුව අතුරුසම්මත ගිණුම සම්මත කරගැනීමෙන් අනතුරුව හැකි ඉක්මනින් අයවැයක් ඉදිරිපත් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම වසරේ මුල් භාගයේ අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණද පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අයවැයක් ඉදිරිපත් නොකර මඟහැරි බවද එක් වසරක් අයවැයක් ඉදිරිපත් නොකරනවා යනු වසර 10 කින් රට ආපස්සට යාමක් බවත් හෙතෙම කීය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියන ආකාරයෙන් 19 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමන් හට අමාත්‍ය ධුර දැරීමේ හැකියාවක් නොමැති බවත් එසේ හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරයා දරණ අමාත්‍ය ධූර සම්බන්ධයෙන් ගැසට් නොකරන්නේ මන්දැයි ද ඒ මහතා වැඩිදුරටත් විමසීය.   කමල් සුරවීර - මහනුවර
 

More News..