brand logo

අතුරුදහන්වූවන් ‍පිළිබඳ සොයා බැලීමේ යාපනය කාර්යාලය විවෘත කිරීමට එරෙහිව විරෝධතා

25 August 2019

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් උප කාර්යාලය යාපනය ප්‍රදේශයේදී විවෘත කිරීමට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(24) වවුනියාව හා යාපනය ප්‍රදේශයන්ගේ විරෝධතාවයන්ගේ නිරතවිණ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පිහිටුවා ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම කිසිම ප්‍රයෝජනයක් නොවන ක්‍රියාවක් වන බවයි. අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධා‍නයේ නියෝජිත ආර්.රාජේශ්වරි මහත්මිය පැවසුවේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පසුගිය රජය මැක්ස්වෙල් පරණගම කොමිසම නමින් කොමිෂමක් ඇති කරලා අපේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගත්තා ඒත් අද වෙනකම් ඒ කොමිෂමෙන් වෙච්ච දෙයක් නෑ. දැන් මේ රජය පත්වුණාට පස්සේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ කාර්යාලය ආරම්භ කෙරුවා.ඒ කාර්යාලය ආරම්භ කරලා වවුනියාව,මුලතිව්,කිලිනොච්චිය,යාපනය හා මන්නාරම ප්‍රදේශයන්ගේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් විස්තර ලබාගත්තා.යහපාලන රජය පත්වෙලා දැන් අවුරුදු පහක් යනකම් අපෙන් විස්තර ගත්තා මිසක් අද වෙනකම් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ.දැන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කයේ උප කාර්යාලයක් ආරම්භ කරලා.දැන් ජන්ද කිට්ටු හින්දා තමයි මේ ‍ඔක්කෝම දේවල් කරන්නේ.ඔය කාර්යාලය ඉස්සරලාම යාපනයේ තමයි පිහිටුවන්‍න තිබ්බේ.ඒත් රජය එහෙම කරේ නෑ.දැන් එක එක සෙල්ලම් පෙන්නලා අපේ ජන්දය ගන්න බොරු වැඩක් කරලා පෙන්වනවා.අපි කියන්නේ ඔය බොරු විකාර නවත්තලා අපේ අතුරුදහන්වු ඥාතීන් හොයලා දෙන්න.නැත්නම් ඒ ප්‍රශ්නයට නිසි විසදුමක් ලබාදෙන්න කියලා විතරයි. ඒකයි අපි අතුරුදහන්වූවන්ගේ කාර්යාලය යාපනයේ විවෘත කිරීමට විරුද්ධ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම සදහා මැක්ස්වල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරණ ලද නමුත් ඉන් කිසිම ප්‍රයෝජනයක් සිදු නොවූ බවයි. එම කොමිසමේ නිර්දේශයන්ට අනුව පුද්ගලයින් 19000 ක් දෙනා යුද සමයේදී අතුරුදහන් වී ඇති බවට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්වා ඉන් කිසිවෙකුටත් සහන සිදු නොවූ බවයි. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසම් සභාවන් හමුවේ සාක්කි දීමට යාම සදහා බස් ගාස්තුද අදාළ ලියකියවිලි ලබා ගැනීමට හා ඒවායෙහි ඡායාපිටපත් ලබා ගැනීමට විශාල මුදලක් වැය වූවත් එම කොමිසම් වලට කාලය කා දමමින් සහභාගී වුවත් කිසිම පලක් නොවූ බව ද අදාළ පිරිස් පැවසූහ. රජය යාපනයේ පිහිටුවන ලද කාර්යාලයේ තත්ත්වයද එයම බවත්, රජයන් පත්කළ කිසිම කොමිෂමකට අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට බලයක් නොමැති බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවන් මේ දක්වා අදාළ අතුරුදහන්වීම්වලට වගකිව යුතු පුද්ගලයින් වෙනුවෙන් කිසිම නඩු පැවරීමක් හෝ සිදුකොට නොමැති බවද වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ. වවුනියාව අතුරුදහන්වූවන්ගේ පැවසූවේ අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 917 ක් උපවාසයක් පැවත්වුවද වර්තමාන රජය මේ දක්වා තම ගැටළු වෙනුවෙන් විසදුම් ලබානොදුන් බවයි. මෙරට රජයන් හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබෙන බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත අතුරුදහන්වූවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බවද ඔවුන් ඉල්ලීම් කළහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..