brand logo

අතුරුදන්වූ 14 හැවිරිදි දැරියගෙන් ආ දුරකථන ඇමතුම

15 August 2021

පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලන් කළ ප්‍රකාශවලට කලකිරුණු සිසුවියක්

රත්නපුර - ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර - ඇල්ලෙගෙදර ප්‍රදේශයේ පදිංචි, රත්නපුර බටුහේන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්. ඒ අනුව අදාල දැරිය නිවසින් පිටත්ව යාමට පෙර ලියා තැබූ ලිපියේ නැන්දනියක් සහ අයියා කෙනෙකු ලෙස සටහන් කර තිබූ තැනැත්තන් කවුරුන් ද යන්න සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. තමන්ට නැන්දනියක් සහ අයියා කෙනෙකු ළඟ පීඩාවකින් තොර ව සිටිය හැකි බවට වන කරුණක් අදාල දැරිය එම ලිපියේ සඳහන් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. දැරිය ලිපියක් ලියා නිවසින් පිටත්ව ගොස් තිබුණේ පසුගිය 2වන දා යි. තමාට පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළ ද තමාට එවැනි සබඳතාවයක් නොමැති බවත්, විවිධ පුද්ගලයන් පවසන එම ප්‍රකාශ තුළින් තමා කළකිරීමට පත් ව ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ව තිබුණා. එමෙන්ම, ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස දුරකථන අංකයක් ද අදාළ දැරිය විසින් එම ලිපියේ සටහන් කර තිබූ අතර නිවසින් පිටත්ව ගිය දැරිය ඉන් පසු වෙනත් දුරකථන අංකයක් ඔස්සේ අමතා තමා පොළොන්නරුව ප්‍රදේශයේ ලිපිනයක සිටින බවත්, තමාව බේරාගන්නා ලෙසත් ඇයගේ මව්පියන්ට දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කළා. එම සියලු දුරකථන අංක මේ වන විට ක්‍රියාවිරහිත බවයි පොලීසිය සඳහන් කළේ. අදාල දැරියගේ පෙම්වතා යැයි කියන කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගත්තා. කෙසේ නමුත් අනාවරණය වූයේ දැරියගේ අතුරුදන් වීමට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවයි.
 

More News..