brand logo

අත්‍යවශ්‍ය ඖෂධ 250ක හිඟයක් - හදිසි මිලදී ගැනීමකට සූදානම්

17 February 2020

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 250කට අධික සංඛ්‍යාවක් වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බව වාර්තා වෙයි. මෙම ඖෂධ සියල්ල හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත.
පිළිකා, ජීවිනාශක, වේදනා නාශක ඖෂධ මෙන්ම එන්නත් වර්ගද රෝහල්වල නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරු වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශය හිඟ ඖෂධ ලේඛනයක් සකස් කර සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබා දී ඇත. එම ලේඛනයට අනුව හෘද රෝග සහ හදවත් රෝග සැත්කම් සිදු කළ රෝගීන් සහ දරු දැරියන් සඳහා ලබාදෙන ‘‘පොපරීන්’’ නමැති ඖෂධයද නොමැති බව වාර්තා වෙයි. එම ඖෂධය දරුවන් සඳහා ලබාදීමට අවශ්‍ය බව ​කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. තවද වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය දියරද නොමැති බව වාර්තාවෙයි. මෙම ඖෂධ වර්ග දෙක මෙරටට ඇණවුම් කර ඇතත් සාම්පල වෛද්‍ය සැපයුම් අංශය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. පසුගිය රජය සමයේ ඖෂධ සැපයුම් සමාගම්වලට සහ කොන්ත්‍රාකරුවන්ට රුපියල් බිලියන 14කට අධික මුදලක් ගෙවීමට ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. ‘‘ඖෂධ සමාගම් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ නිසා දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන පරිදි මුදල් ලබා දෙනවා. පිළිකා ඖෂධ වර්ග 16ක හිඟයක් පැවැති අතර එම ඖෂධ ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශය මුදල් ලබා දුන්නා. එම නිසා පවතින ගැටලුව විසඳා ගනිමින් සිටිනවා යැයිද සෞඛ්‍ය ඇමැතිවරිය කොළඹ පසුගියදා පැවැති උත්සවයකදී ප්‍රකාශ කළාය.  
උදයජීව ඒකනායක
 

More News..