brand logo

අත්යන්ත‍්‍ර රෙදිපිළි හා ඇඟලූ‍ම් කර්මාන්තය නඟා සිටුවීමට පියවර

08 June 2020

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයෙහි නිරතවූවන්ට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (08) කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමන් හමු වූ අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයෙහි නියැලෙන මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ පැවසීය. අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නියැලි ඉහත ව්‍යවසායකයන් පිරිස ඉදිරිපත් කළ ඉල්ලීම් රැසක් කඩිනමින් ඉටුකර දීමට ද මෙහි දී අමාත්‍යවරයා එකඟ විය. ඒ අනුව අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයෙහි නියැලෙන සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට රජයේ මැදිහත් වීමෙන් මාසික දීමනාවක් ලබා දීමට සහ මහ පරිමාණයෙන් මෙම කර්මාන්තයෙහි නියැලෙන ව්‍යවසායකයන්ට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට 4%ට නොවැඩි පොලියකට බැංකු ණය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට ඉදිරි දිනයක දී පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් පේෂකර්ම බලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ද කැඳවා අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇත. ඉහත සාකච්ඡාවට කැන්ඩිග්ස් හෑන්ඩ්ලූම්ස් ආයතනයෙහි කෞෂල යහම්පත්, බෙයාෆුට් ආයතනයෙහි ඩොමිනික් සන්සෝනි, ලා සළු හෑන්ඩ්ලූම් හි ලලන්ත විජේසිංහ යන මහත්වරු ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තකරුවෝ පිරිසක් එක්ව සිටියහ.
 

More News..