brand logo

අණ නොතැකු කැබ් රථයකට පේදුරුතුඩුවේදී වෙඩි

16 April 2021

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් මාර්ග බාධකයක් අසළින් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. ස්වභාවික වැලි නිධියක් ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති එම මාර්ග බාධකයේ දී අද (16) උදෑසන 7.30ට පමණ වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට පැමිණි අදාළ කැබ් රථය ආරක්ෂක අංශ විසින් නිකුත් කළ සංඤා නොසලකා ඉදිරියට ධාවනය කර තිබේ. එහිදී ඇණ ලෑලි සහිත බාධක දෙකක් කැබ් රථය ඉදිරියට යෙදුව ද ඒවා ද පසුකරමින් මාර්ග බාධකයේ ඉදිරියෙන් සිටි නිලධාරීන් යටකර පළා යෑමට තැත්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර කැබ් රථය නොනවත්වාම ධාවනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 23ක සහ වයස අවුරුදු 26ක පුද්ගලයින් දෙදෙනා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇති බවයි. මොවුන් විසින් පැදවූ කැබ් රථය සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 

More News..