brand logo

අඩු මිලට ගන්න ඉන්ධන ගබඩා කරන්න ඉඩ හොයයි

02 June 2020

ඉන්දියාවට බදුදී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි අනූ පහෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විට භාවිතයට නොගැනීම නිසා දිරාපත් වෙමින් තිබෙන බැවින් ඉන් ටැංකි විසි පහක් ලබා ගෙන ඉන්ධන ගබඩා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. අනූ නව අවුරුදු බද්දකට 2003 වසරේදී ඉන්දියාවට මෙම ටැංකි පවරා දී තිබෙන්නේ අක්කර 850ක භූමියද සමගිනි. කොවිඩ් අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් ඇති බැවින් වැඩිපුර ඉන්ධන මිලට ගෙන ගබඩා කිරීම සඳහා ටැංකි නොමැති වීමේ අර්බුදයකට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මුහුණපා ඇත. මේ අවස්ථාවේ දී තෙල් තොග වැඩි වශයෙන් ආනයනය කර ගබඩා කර ගැනීමේ අවශ්‍යතාව වෘත්තීය සමිති විසින් විෂයභාර ඇමැති මහින්ද අමරවීරට පෙන්වා දී තිබේ. ඒ කෙරෙහි අවධානය යොමු කර ඇති ඇමැතිවරයා මින් පෙර අවස්ථාවකදී ද ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි කිහිපයක් ලබා දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතත් ඊට ප්‍රතිචාර ලැබී නැත. කෙසේ වෙතත් ටැංකි 25ක් යළි ලබා ගැනීම සඳහා මෙරටට අලුතින් පත්ව ආ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට ඇමැතිවරයාට සිදුව ඇතැයි ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු ‘අරුණට’ පැවැසුවේය. 2016 දී හම්බන්තොට වරාය චීනයට පවරා දීම නිසා එහි ඇති තෙල් ටැංකිද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වූ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කළේය. ඉන්ධන ගබඩා කිරීම සඳහා අලුතින් ටැංකි පද්ධතියක් ඉදිකිරීමට ද රජයේ අවධානය යොමුව ඇතැයි කී ඇමැති අමරවීර ඒ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සුදුසු ඉඩමක් සොයා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවද පැවැසුවේය. අජිත් අලහකෝන් •ශිරන්තනී මානවඩු
 

More News..