brand logo

අඩු බර දරුවන්ට ත්‍රිපෝෂ හිඟ වේ

08 July 2020

මෙරට අඩු බර දරුවන් සඳහා ප්‍රමාණවත් ත්‍රිපෝෂ නොලැබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසන්නීය. ඇය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අඩු බර දරුවන් සඳහා සපයන ත්‍රිපෝෂ ප්‍රමාණවත් නොවන බවයි. මැයි මාසයේ සිට ත්‍රිපෝෂ බෙදා හැරීමේ අඩාළවීමක් තිබෙන බවත් අඩු බර දරුවන් ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට මාසිකව එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙන බව ඇය පැවැසුවාය. නුවරඑළිය මොණරාගල බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක කීපයකින් අඩු බර දරුවන් වැඩි වශයෙන් හඳුනාගෙන සිටින බවද පැවැසුවාය. දිවයිනේ සියලුම ළමා සායනවල දී දරුවන්ගේ බර මාසිකව ගණනය කරන අතර එම තොරතුරු අනුව අඩු බර දරුවන් හඳුනාගැනීම සිදු කෙරේ. අඩු බර දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ත්‍රිපෝෂ මාසිකව ලබාදීමට පියවර ගෙන තිබේ. හඳුනා ගන්නා අඩු බර දරුවන් සඳහා ත්‍රිපෝෂද නොලැබීමෙන් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය පහළ ගොස් මන්දපෝෂණය ඉහළ යෑමට ඉඩ ඇති බවද සභාපතිනිය පැවැසුවාය. මේ අතර කොවිඩ් 19 හේතුවෙන් අඩාළ වූ ළදරු ළමා ප්‍රතිශක්තිකරණ වැඩ සටහන පෙර පරිදි සාර්ථකව පවත්වාගෙන යෑමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පියවර ගෙන තිබෙන බවද ඇය කියයි. සුනිල් රූපසිංහ - පල්ලේපොළ
 

More News..