brand logo

අඩු නින්දට මුහුණ දෙන්න භාවනාවක්

06 March 2019

දවසේ වැඩ රාජකාරි අහවර කරගන්නට දවසේ පැය විසිහතරත් මදි යැයි අද සමාජයේ බොහෝ දෙනා මැසිවිලි නගනු අපට අසන්නට - දකින්නට ලැබෙයි. එහෙත් එය මුසාවක් නොවේ. කෙසේ වන්නේ වී නමුත් මේ අධි කාර්ය බහුලත්වය හෙවත් වැඩ වැඩිකම තවත් කරදර කන්දරාවකට අතවනන බව නම් නිසැකය. ඉදින් මේ පැටලිලි ගොඩට තවත් යමක් නිසැකවම එක්වන්නේ නම් ඒ ප්‍රමාණවත් නින්දක් නොලැබීමයි. අධි කාර්ය බහුලත්වය නිසා ගොදුරු වන්නේ නින්ද වෙනුවෙන් වැය කරන හෝරා කිහිපයකින් එක දෙකකි. එක අතකින් අඩු නින්ද ශාරීරික අපහසුතා හෝ රෝගාබාධ කෙරේ පැහැදිලි හේතුවක් වන අතරම බොහෝ රටවල් එය නිෂ්පාදනය හා ඵලදායීතාව කෙරේ බලපාන්නා වූ ප්‍රශ්නයක් ලෙසද සලකන බවක් පෙනේ. මන්ද යත් එය සේවා ස්ථානවලදී පුද්ගලයන්ගේ, ශ්‍රමිකයන්ගේ ක්‍රියාශීලීත්වයට හා ඵලදායකත්වයට ඍජුව බලපාන්නා වූ බැවිනි. කෙසේ හෝ වේවා මෙම ගැටලුවට පිළියම් සෙවීම කෙරේද බොහෝ විද්‍යාඥයන්ගේ හා පර් යේෂකයන්ගේ අවධානය යොමු වී තිබීම සතුටට කාරණයකි. එනමුදු ඒ සෑම පර් යේෂකයකුගේම අදහස වන්නේ ප්‍රමාණවත් නින්ද සඳහා එයම හැර වෙනත් කිසියම්ම ආදේශකයක් හෝ විකල්පයක් හෝ නොමැති බවය. එහෙත් චාල්ස් මර්නීක්ස් ඇතුළු පිරිසක් මෑතකදී සිදු කරන ලද පර් යේෂණයකින් යම්තාක් දුරකට මේ අගතිය, අවාසිය මග හරවා ගන්නට පුළුවන් ක්‍රමයක් ගැන ඉඟියක් ලබා දී තිබුණි. ඔරිගන් සරසවියෙහි සහකාර මහාචාර්යවරයකු වන මර්කින්ස් සමග මේ කාරියට අත ගසා තිබුණේ ඔරිගන් සරසවියෙහි ජොනතන් ආතර්ස් නුස්රන් ෆාරා, ජේසන් ස්ටොනෙලි, බෙනසී විශ්ව විද්‍යාලයේ මෙලිසා කාර්ඩන් සහ මයිකල් හෙයිනි ඇතුළු පිරිසකි. ඔවුන් සොයා ගත්තේ යැයි පවසන මේ අපූරු උපාය මාර්ගය පෙරදිග අපට නම් අමුත්තක් නොවේ. ඒ භාවනාවයි. සිත එක අරමුණක රඳවා තබා ගැනීමේ ව්‍යායාමය (Mindfulness Exercise) යි. ඔවුන් පවසන්නේ නින්ද වෙනුවෙන් එය සර්ව සම්පූර්ණ ලෙස ආදේශ කළ නොහැකි නමුත් අඩු නින්ද හේතුවෙන් අත්වන අගතියෙන් යම්තාක් දුරකට සහනයක් ලබන්නට එය හේතුවිය හැකි බවයි. එය අපේ සිරුරට බලපාන්නා වූ ආකාරය චාර්ල්ස් මර්කීන්ස් පැහැදිලි කරන්නේ මේ ලෙසිනි. ‘‘මේ ඉතා විශාල කාලයක් වැය කරගෙන සිදු කළ යුතු දෙයක් නෙවෙයි. දිනකට විනාඩි දහයක් පමණයි, ඒ කියන්නේ සතියකටම විනාඩි 70 යි. මේ විනාඩි හැත්තෑවක මනස එකතැන් කර ගැනීමේ ව්‍යායාම (භාවනාව) ඔබට එක දවසක විනාඩි 44 ක වැඩිපුර නින්දක් ලබා ගත්තා හා සමාන සුවයක් ලබා දෙනවා.’’ බොහෝ සෙයින්ම මේ පර් යේෂණය සිදු කරන ලද්දේ රාජකාරිවල යෙදන්නවුන්ගේ අඩු ක්‍රියාකාරිත්වයට (Low Output) ප්‍රමාණවත් ලෙස නින්ද නොලැබීම ප්‍රධාන හේතුවක්ය යන සොයා ගැනීම යටතේය. Journal of Business Venturing හි පළ වූ මේ අධ්‍යයනය තුළින් අධික වෙහෙස සංසිඳවා ගන්නේ කෙලෙසින්ද යන් කාරණය කෙරෙහි ද අවධානය යොමු වී තිබුණි. අඩු නින්ද දියුණු වෙමින් පවතින මෙන්ම දියුණු රටවලද සේව්‍ය සේවක දෙපක්ෂයටම එක ලෙස බලපාන්නා වූ ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. එය මූලික වශයෙන්ම බලපාන්නේ ශාරීරිකව බැවින් කායික ශ්‍රමය යොදවා සේවයෙහි යෙදෙන්නන් අනතුරුවලට ලක්වීමේ අවදානම අඩු නින්ද හේතුවෙන් ඉහළ යන බව සොයාගෙන තිබේ. අනෙක් අතට නින්ද හා මතක ශක්තිය පිළිබඳ සම්බන්ධයද අපට අව තක්සේරු කරන්නට නුපුළුවන් කරුණකි. ඉනික්බිති තීන්දු තීරණ ගැනීමේ ශක්තිය හීන කරන්නටද (Impairing Judgement) අඩු නින්ද බලපාන්නා වූ පැහැදිලි කාරණයකි. මේ ආකාරයෙන් බලන කල පුද්ගලික වශයෙන් ශාරීරිකව - මානසිකව ගැටලු රාශියකට අප ඇද දමන අඩු නින්ද නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලියටද බරපතළ බලපෑමක් කරන බව පැහැදිලිය. මර්නීක්ස් ඇතුළු පිරිසගේ වැඩිමනත් අවධානය යොමු වී තිබුණේ රාජකාරි වේලාවන් තුළ දී සිදුවන පාඩුව මකා ගැනීම ගැන වුවත් මේ අධ්‍යයනය එයින් පාරිබාහිරවද බොහෝ දේ අපට සිතන්නට කල්පනා කරන්නට යමක් ඉතිරිකර ඇති බව පෙනෙයි. මෙකී අධ්‍යයනය සඳහා යොදා ගනු ලැබූයේ ඇමෙරිකානු ව්‍යවසායකයන් 105 දෙනෙකි. පළමුවෙන්ම සිදු කළේ ඔවුන්ගේ රාජකාරි වෙහෙස, නින්ද ලබා ගන්නා ප්‍රමාණය ආදිය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කර ගැනීමයි. ඉනික්බිති මනස එක්තැන් කර ගැනීමේ කාරිය පිළිබඳ ඔවුන් දැනුවත් කෙරුණා. කොපමණ වේලාවක් ඔවුන් ඒ කාරියෙහි යෙදෙන්නේද යනාදිය පිළිබඳ තොරතුරු ඉන් පසුව අධ්‍යයනය කර ඇත. ඊට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 40% කට ම වඩා වැඩි ප්‍රමාණයක් පවසා තිබුණේ ඔවුන් දිනකට ලබන නින්ද පැය හයකට වඩා අඩු බවය. මේ පිරිස තවත් අධ්‍යයනයට ලක් කළ පර් යේෂකයනට සොයා ගන්නට ලැබුණේ දිනකට විනාඩි 10 හෝ අවම වශයෙන් භාවනා කරන පුද්ගලයන් හා සුව නින්දක්, ප්‍රමාණවත් නින්දක් ලබන පුද්ගලයන් අතර වෙහෙස දරා ගැනීම, නිවා ගැනීම අතර වෙනසක් දකින්නට නොලැබුණු බවයි. පුද්ගලයන් 329 දෙනකු සම්බන්ධ කරගෙන දෙවැනි අධ්‍යයනයක්ද ඔවුන් අතින් සිදු වූ අතර මූලික පරීක්ෂණයේදී හෙළිකරගත් සොයා ගැනීම් එතුළින් තවදුරටත් ඔප්පු කරන්නට එය හේතු විය. එහෙත් මේ පර් යේෂකයන් පවසන්නේ නින්ද අඩුවීම යන කාරණය මුළුමනින්ම මේ ක්‍රියාකාරකම තුළින් පියවා ගත හැකි බවක් නොවේ. එය යම්තාක් දුරකට මානසික හා ශාරීරික සැනසිල්ලක් ලබාදෙන බවකි. විනාඩි දහයේ භාවනාව ගැන අධ්‍යයනයක් සිදු කළ පළමුවැන්නා චාර්ල්ස් මර්නීක්ස් නොවේ. Vonsciousness and Cognition හි පළ කර තිබුණු එක්තරා කැනේඩියානු පර් යේෂණ පත්‍රිකාවක්ද මෙහි අගය ගැන සඳහන් කර තිබුණි. එතුළින් ඔවුන් පෙන්වා දී තිබුණේ මනස වර්ධනය කෙරේ මේ විනාඩි දහයේ භාවනාව පවා අප කල්පනා කරනවාට වඩා බෙහෙවින් වැඩි බලපෑමක් සිදුකරන බවකි. දිනකට විනාඩි දහයක් හිත එක්තැන් කර තබා ගන්නට සමත්වීම තුළින් විනාඩි 44 ක නින්දකට සමාන සුවයක් දිනපතා ලබා ගැනීමට හැකි වීම අපූරු කාරණයකි. එහෙත් අද සමාජය කෙතරම් තරගකාරී හා වෙහෙසකාරීද යත් බොහෝ දෙනකුට ඒ විනාඩි දහය පවා සොයා ගැනීමට අපහසු වන්නට පුළුවන. එහෙත් අප යළිදු සිහිකර ගත යුතු කාරණය වන්නේ බටහිරින් පැවසූවද, නැතද මනස පිළිබඳ ව්‍යායාම (භාවනාව) සැම විටම එක පොදියට දුවන, වෙහෙසෙන අපවන් සමාජයකට සැමතින්ම කදිම ඔසුවක් බවය. පාලිත ජයකොඩි
 

More News..