brand logo

අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂය මහ ඡන්දයට පෙර

22 January 2020

මහ මැතිවරණයට නාමයෝජනා කැඳවීමට පෙර අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර සියලු බඳවාගැනීම් අවසන් කරන බව ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසීය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශ පරිශ්රයේ පැවැති මාධ්ය හමුවකදී ඊයේ (21 වැනිදා) ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇමැතිවරයාට අනුව පසුගිය සඳුදා (20 වැනිදා) දිනයේ සිට අදාළ අයැදුම්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම අයැදුම්පත් ලබාගැනීමේ හැකියාව තිබේ. අවුරුදු 18ත් 40ත් අතර සාමාන්ය පෙළ දක්වා අධ්යාපනය ලැබූ නමුත් අපොස සාපෙළ සමත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට මේ සඳහා අයැදුම් කළ හැක. විශේෂ අවශ්යතා සහිත පුද්ගලයන් සිටින පවුල් සහ සමෘද්ධි සහනාධාරය සඳහා අයැදුම්කර සහනාධාරය නොලැබුණු සුදුසුකම් සහිත පවුල් සාමාජිකයන් සඳහා මෙහිදී විශේෂත්වයක් දක්වනු ලැබේ. දැනට සමෘද්ධි සහනාධාරය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ටද මේ යටතේ අයැදුම් කළ හැක. මෙසේ බඳවා ගන්නා පිරිස අලුතින් ස්ථාපනය කරන දෙපාර්තමේන්තුවක් යටතේ රජයේ කාර්ය සාධක බළකායට අනුයුක්ත කර මූලික පුහුණුවක් ලබාදෙනු ලැබේ. පුහුණු කාලසීමාව ඇතුළත රු.22,500ක දීමනාවක් ලබාදෙන අතර වසර 10ක සාර්ථක සේවා කාලයක් සැපරීමෙන් අනතුරුව ඔවුන් විශ්රාම වැටුප් සහිත රාජ්ය සේවකයන් බවට පත්කෙරේ. කිසිදු දේශපාලන භේදයකින් තොරව සිදුකෙරෙන මෙම බඳවාගැනීම් සඳහා වන අයැදුම්පත් ප්රදේශයේ ග්රාම නිලධාරීවරයා මගින් අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත 2020 පෙබරවාරි 15 වැනිදාට පෙර යොමුකළ යුතු බවද ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නවීන් තරංග ගමගේ
 

More News..