brand logo

අජිත් ප්‍රසන්නට ඇප

19 February 2020

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුත්තක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විශ්‍රාමික යුධ හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අද(19) නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය. ඒ අනුව රිමාන්ඩ් භාරයේ පසුවූ විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙහි ඇපකරුවන් දෙදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවත් ඉන් එක් ඇපකරුවකු රජයේ සේවකයෙකු විය යුතු බවටත් නියෝග කර සිටියේය. ඊට අමතරව අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විනිසුරුවරයා විසින් විත්තිකරු වෙත ඇප කොන්දේසියක් පනවනු ලැබු අතර මෙම ඇප කොන්දේසිය පිළිබඳව දැනගැනීම සඳහා දිවයිනේ පිහිටි සියලුම ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලදී. මෙම ඈප කොන්දේසිය විත්තිකරු විසින් නිසි පරිදි පිළිපදින්නේ ද? යන්න නිරීක්ෂණය කරන ලෙසත් එම කොන්දේසිය විත්තිකරු විසින් උල්ලංඝනය කර තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු බවට විනිසුරුවරයා විසින් මෙහිදී රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදී. විත්තිකරු විසින් මෙම ඇප කොන්දේසිය උල්ලංඝනය කර තිබෙන බවට කරුණු තහවුරු වුවහොත් දැනට නියමකර තිබෙන ඇපය අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා මෙහිදී විත්තිකරුට අනතුරු අඟවා සිටියේය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පෙනී සිටිමින් ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය. " ස්වාමීනි, මම මේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥාවක් අනුවයි. මින්මතුවට අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු විවේචනය කරමින් මාධ්‍ය සාකච්චා නොපවත්වන බව ඔහු මට ප්‍රතිඥාවක් ලබා දුන්නා. එම ප්‍රතිඥාව අනුවයි මා අද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ. ස්වාමීනි.... මාගේ සේවාදායකයාට එරෙහිව මේ වන විට නඩු කටයුතු තුනක් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණ වලයි එම නඩු කටයුතු පවතින්නේ. එම නඩු කටයුතු වලට මුහුණ දීම සඳහා ඔහු ඇප මත නිදහස් වී සිටීම අවශ්‍යයි. මාගේ සේවාදායකයා මෙම ප්‍රශ්නගත අදහස් පළකර තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයක් නිසා නොවෙයි. රණවිරු සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටීමට යාම නිසයි ඔහු මෙවැනි අදහස් පළකර තිබෙන්නේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් මාගේ සේවාදායකයා අගවිනිසුරුවරයාට මෙන්ම අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබෙනවා. විනිසුරු ධම්මික ගනේපොල මහතා - ඇතැම් පුද්ගලයින් මෙවැනි පැමිණිලි සහ පෙත්සම් ඉදිරිපත් කරන්නේ හුදු ප්‍රචාරය ලබා ගැනීමේ අරමුණින් පමණයි. පුද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් අධිකරණයට පහර දෙනවා. එහෙත් ඉන් අවසාන වශයෙන් සිදුවන බලපෑම ගැන ඔවුන් කල්පනා කරන්නේ නැහැ. විත්තියේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා - ස්වාමීනි, මාගේ සේවාදායකයා මින්මතුවට අධිකරණයට අපහාසාත්මක වන මාධ්‍ය සාකච්ඡා නොපවත්වන බවට මටත් අධිකරණයටත් ප්‍රතිඥාවක් ලබා දෙනවා. එම නිසා ඔහු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙත් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරයා සිය විරෝධය පළ කර සිටියේය. රජයේ නීතිඥවරයා - ස්වාමීනි, අද දින මෙම නඩුව කැඳවනු ලබන්නේ එම නඩුවට අදාළ ලේඛන හා ඩී.වී.ඩී තැටි භාර දීම සඳහායි. මෙම විත්තිකරු කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ පවතින නඩු කටයුත්තක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. මේක අධිකරණයට කළ අපහාසයක්. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බවට අපගේ සමාජයේ ප්‍රකට කියමනක් තිබෙනවා. අධිකරණයේ දී පවා ආමන්ත්‍රණය කරන්නේ උගත් විනිසුරු තුමා, උගත් නීතිඥවරයා, උගත් මිත්‍රයා යන වදන්වලින්. ඉන් අදහස් වන්නේ අධිකරණ කටයුතුවලට සහභාගි වන්නේ උගත් දැනුමක් සහිත පුද්ගලයන් බවයි. එවැනි පුද්ගලයින් අතින් අධිකරණයට අපහාසාත්මක දේවල් සිදුවීමට හැකියාවක් නැහැ. මෙම නඩුවේ විත්තිකරු නීතිඥවරයෙක්. ඒ නිසා ඔහුට නීතිය පිළිබඳව මනා දැනුමක් තිබෙනවා. අධිකරණයට අපහාසාත්මක දේවල් කවුරු කළත් වැරදියි කියලයි අපි දකින්නේ. විත්තිකරු නීතිඥවරයෙකු වශයෙන් සිටිමින් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම බරපතළ ගණයෙහි ලා සැලකිය යුතු වරදක් ලෙස අපි සැලකිය යුත්තේ. යනුවෙන් ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට තීන්දු කළේය. අනතුරුව නඩුව නැවත මාර්තු මස 4 වනදා කැඳවන ලෙස ද නියෝග කළේය. ඉකුත් ජනවාරි මස 12 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුත්තක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනාකර නීතිපතිවරයා විසින් විත්තිකාර අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.   (අධිකරණ වාර්තාකරු)
 

More News..