brand logo

අඟුණකොළපැලැස්ස රෝහල් ​මෝචරිය ලෙඩවෙයි

13 November 2020

අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරය අබලන්ව තිබීම නිසා පසුගිය දිනෙක රාත්‍රියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැඳවූවාගේ සිරුර පැය 14ක් පමණ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කිරීමට සිදු වූ බව රෝහල් සේවකයෝ පැවසූහ. ඉකුත් 10 වැනිදා රාත්‍රි 11.00ට පමණ මරණකරු බන්ධනාගාරය තුළදී හදිසියේම රෝගාතුර වූ බවත් ඔහු එම මොහොතේම රෝහල වෙත රැගෙන ආ බවත් බන්ධනාගාර නිලධාරීහු පවසති. රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ ​රෝහලට රැගෙන එන විටත් රැඳවූවා මියගොස් තිබූ බවයි. රාත්‍රී 11.30ට පමණ එම මෘත ශරීරය බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ තැන්පත් කොට තිබුණු අතර පසුව එය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යනු ලැබීය. පවතින අනාරක්ෂිත බව සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු නොකළ අතර පී.සී.ආර්. පරීක්ෂණය සඳහා සිරුර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට රථයක් සොයා ගැනීමට නොහැකිව බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය අසීරුවට පත්වූහ. කෙසේ හෝ අවමංගල රථයක් රෝහල් භූමියට පැමිණෙන විට සවස 2.30 පමණ විය. ඒ වන විට සිරුරෙන් දුර්ගන්දයක්ද නිකුත් විය. මළ සිරුර රෝහල් භූමියෙන් රැගෙන යෑමෙන් අනතුරුව බාහිර ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය කරනු ලැබීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහල් සේවකයන් පැවසුවේ මාස 06ක පමණ සිට රෝහලේ මෘත ශරීරාගාරය භාවිතයට ගත නොහැකි ලෙස අබලන් වී ඇති බවයි. වැසි කාලවලදී මෘත ශරීරාගාරය ජලයෙන් යටවන බවද ඔවුහු පැවසූහ. අපි කියන්න ඕන හැම තැනකටම දැනුම් දීල තිබෙනවා. නමුත් ප්‍රශ්නයට උත්තරයක් ලැබුණේ නෑ. බාහිර රෝගී අංශයේ මෙම මළ සිරුර තැන්පත් කොට තැබීමට අපිට සිදුවුණේ ඒ නිසයි. මෙය ඉතාමත් අනාරක්ෂිත දෙයක්. නමුත් අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැතැයි රෝහල් සේවකයෝ පැවසූහ. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී එසේ මියගොස් තිබුණේ හලාවත පල්ලම පොලිස් බල ප්‍රදේශයේ කුමාරකට්ටුවේ පදිංචිව සිටි 28 වැනි වියේ පසුවූ කේ. රෝහිත නම් රැඳවූවෙකි. චන්ද්‍රසේන ගමගේ - හුංගම
 

More News..