brand logo

අගරදගුරු හිමිට ඉතාලියෙන් ලැබුණු කෘෂි තාක්ෂණ ආයතනය

21 September 2020

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (19දා) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපතිවරයා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල්, එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමි භාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මන්දිරයේ අධීක්ෂණය යටතේ ආයතනය පාලනය වෙයි. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමග ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය. මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳරක යෙදෙමින් මඳ වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය. මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය. මාර්ග දුෂ්කරතා සහ තවත් ජනතා ගැටලු කිහිපයකට සවන් දුන් ජනාධිපතිතුමා ඒවාට එසැණින් විසඳුම් දුන්නේය. මදුරන්කුලිය වාලච්චේන සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය. බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූනු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කළේය. දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න චාරිකාවට එක්ව සිටියහ. මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂට ප්‍රසාදය පළ කරන ලදී. ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයිද උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරති. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් හා අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 05කට පමණ පෙර ජනාධිපතිවරයා තීරණය කළේය. සෑම මසකම 03 වැනි සතියේ සිකුරාදා බෞද්ධ උපදේශක සභාව හමුවීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් එතුමා ඊට සහභාගී වන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය. පසුගියදා (18දා) සවස 06 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබීය. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩු පාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල්කර පූජා ඔප්පු දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමා විය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය, පරිසර සංරක්ෂණය, ශාසන කතිකාවතකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කරමින් ක්‍රියාත්මකවීම පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කළහ. ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ශක්තිමත් සහ ස්ථාවර අනාගත අඩිතාලමක් සැකසීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබීම උපදේශක සභාවේ ඇගයීමට ලක් විය. පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන පිළිබඳව දීර්ඝකාලීනව පැවති ගැටලු විසඳීම පිණිස පුරාවිද්‍යා පනතට සංශෝධන එක් කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දුන්හ. මසකට වරක් රැස්වෙන උපදේශක සභාවේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තමාට මෙන්ම නිලධාරීන්ට ද විවිධ ක්ෂේත්‍ර පිළිබඳව මනා අවබෝධයක් ගැනීමට එය ඉවහල් වූ බව කියා සිටියේය. පවතින අඩු පාඩු විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පැවසීය.  
 

More News..