brand logo

අගමැති රනිල් සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක අතර හමුවක්

21 June 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto IZUMI) මහතා අතර අද (21 වන දා) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී සාකච්චාවක් පැවැතිණි. එහිදී ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම සඳහා ජපානය සැමවිටම සූදානමින් සිටින බව අවධාරණය කළ ඉසුමි මහතා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය, එල්එන්ජී විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලසුමක් සැකසීමේ වැදගත්කම සම්බන්ධව වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය. එසේම ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සඳහා කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා දරන ප්‍රයත්නය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. ඒ ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබා දෙන බව ඉසුමි මහතා ප්‍රකාශ කළේය.
 

More News..