brand logo

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න ඉදිරිපත් කළ පෙත්සම් විභාගය කල්යයි

12 February 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අද (12) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කෙරුණා. මෙම පෙත්සම අද ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව හා මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මෙම මූලික විරෝධතාවක් මතු කරනු ලැබුවා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් මහත කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 3 ට අනුව පෙත්සමක් ගොනු කිරීමේදී එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ ලේඛන වල මුල් ලේඛන හෝ සහතික කළ ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව දක්වා ඇති බවයි. එහෙත් මෙම නඩුවට අදාළව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලේඛණ බොහොමයක් මුල් ලේඛන හෝ නිසි පරිදි විධිමත්ව සහතික කළ ලේඛන නොවන බවයි ජනාධිපති නීතිඥ කනග ඊශ්වරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. එබැවින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනිව ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කළ යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම මූලික විරෝධතාව තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කර නොතිබීම ඌනතාවක් ලෙසයි එම නීතිඥවරුන් අධිකරනය හමුවේ පෙන්වා දුන්නා. එම නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ද එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළා. මෙම මූලික විරෝධතා පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබා දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා. ඒ අනුව ඊට අදාළව ලබන 26 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නියම කළා. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කාරිය කියා සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බවයි. ඒ බව එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ 2014 සහ 2018 වසර වලට අදාල වාර්ෂික වාර්තා වල සඳහන් වන බව පෙන්වාදෙන පෙත්සම්කාරිය රනිල් වික්‍රමසිංහ මහතා කොටස් කාරීත්වය දරන අදාළ සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතවී එම බැංකු වලට අදාල චෙක්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමේ ව්‍යාපාරයේ නිරත වන බවද සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමග ගිවිසුම් ගතවී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දුන්නේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බැවින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය භාවිත කිරීම වැළැක්වීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඇය අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
 

More News..