brand logo

අගමැති යටතට රාජ්‍යායතන 88ක්

12 December 2019

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන් අමාත්‍යාංශවලට රාජ්‍ය ආයතන 88ක් සහ විෂයය පථයන් පවරමින් අමාත්‍යවරුන්ට අදාළ විෂයය පථයන් බෙදීමේ ගැසට් නිවේදනය ඊයේ (11 වැනිදා) අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර ඇත. අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 48ක්ද, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයට ආයතන 23ක්ද, නාගරික සංවර්ධන හා ජල සම්පාදන, නිවාස පහසුකම් අමාත්‍යාංශයට ආයතන 17ක්ද ගැසට් නිවේදනයට අනුව පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ආයතන 31ක් පාලනය වෙයි. පසුගිය රජයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයද ආරක්ෂක අමාත්‍යාංශයට පවරා තිබේ. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ඊට අනුබද්ධ ආයතන, රක්නා ලංකා ආරක්ෂක සමාගමද ගැසට් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තොරතුරු, සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයට පවරා ඇත. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයට මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඇතුළු ආයතන 48ක් ගැසට් කර ඇත. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධුරය හොබන චමල් රාජපක්ෂට මෙම අමාත්‍යාංශය යටතේ ආයතන 26ක් සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර, සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය යටතේ ආයතන 11ක් ද පවරා ඇත. අමාත්‍යාංශ විෂය පථ ගැසට් නිවේදනයට අනුව අඩුම ආයතන සංඛ්‍යාවක් හිමිව ඇත්තේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුටය. එම ඇමැතිවරයාට අයත් මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයට හිමිව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ මාර්ග නඩත්තු භාර අරමුදල පමණයි. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ආශ්‍රිත සමාගම්, සීමාසහිත ලංකා නැව් සංස්ථාව, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පමණක් ඇතුළත් කර ඇත. උදයජීව ඒකනායක
 

More News..