brand logo

අගමැති මහින්ද දිවයිනට

11 February 2020

සිව්දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමවා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද පස්වරු 12.45ට නැවතත් ලංකාවට පැමිණියහ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙම රාජ්‍ය සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජය ඉහළ පිළිගැනීමක් ලබා දී තිබිණි. ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපතිභවාන් හිදී රාජ්‍ය සංචාරයක නිරතවන නායකයෙකුට පිරිනමන සාම්ප්‍රදායික හමුදාමය උත්තමාචාර (ceremonial welcome) ලබාදීමට ඉන්දීය රජය කටයුතු කළේය. එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත, ඉන්දීය රජයේ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මෙන්ම පිළිගැනීමක්ද මෙම සංචාරය තුළ දී හිමිවිණි. පසුගිය 07 වැනිදා සිට 11 දා දක්වා ඉන්දීය රාජ්‍ය සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, ඉන්දීය කොංග්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දීය ඉහළ පෙළේ නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික හමු අවසන් වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නවදිල්ලි නුවර සිට වාරානාසි, සාරානාත්, බුද්ධගයාව හා තිරුපති හී සංචාරය කිරීමට සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් ලබාදීමට ද ඉන්දීය රජය කටයුතු කර තිබිණි. ඒ අනුව ඉන්දීය රජයෙන් ලබා දුන් එම විශේෂ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා අද කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණයේය.
 

More News..