brand logo

අගමැතිකම හැර යන බවට රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

20 November 2019

හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කර සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්. පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් ලද එක් ප්‍රතිඵලයක්. අප කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි. මම 19 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා. මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමනවා. මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා. Hon-Prime-Ministers-Special-Statement-20th-November-2019
 

More News..