brand logo

අකිලගේ දුවට නම දැම්මේ මෙහෙමයි

15 June 2020

අකිල මොකද වෙන්නේ ඉතින්? වැඩි කාලයක් ගෙදරටම වෙලා හිටියා. ගොඩක් වැඩ කටයුතු කෙරුණේ ෆෝන් එකෙන්. කොරෝනා ලංකාවට ආපු පළවෙනි දවසෙ ඉඳන් අපි ගෙදරට වෙලා පරිස්සමෙන් හිටියා. අප්පච්චි වුණත් වැඩිය වැඩ බාරගත්තෙ නැහැ ඒ කාලෙදිත්. අපි දන්නෙ නෑනේ මේක මොන වගේ වසංගතයක්ද කියලා. ඒ නිසා බබා වෙනුවෙන්ම පරිස්සම් වෙලා ගෙදරට වෙලා හිටියා. පසුගිය දවස් දෙක තුනේ ඉඳලනම් සුපුරැදු විදිහට වැඩකටයුතු නැවත පටන්ගත්තා. මේ දවස්වල මුළු ජැක්සන් පවුලම එකට නේද? අනේ ඔව්. මමයි එමීයි කොහොමත් අම්මයි අප්පච්චියි එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. නමුත් මේ වසංගත තත්ත්වයත් එක්ක ගෙදරටම කොටු වුණාම තනියම ඉන්න හරි අමාරුයි. අප්පච්චිලට මට ඒක හොඳට තේරුණා. ඒ නිසා අපි අක්කවයි මිලාන්වයි ගෙදරට ගෙන්නගත්තා. එහෙම ඉන්නකොට අපිට චූටි මල්ලි නැති අඩුවත් දැනුණා. ඊටපස්සෙ මල්ලිලාවත් ගෙදරට ගෙන්නගත්තා. එදා ඉඳන් ඉතින් කට්ටියම ගෙදරට වෙලා බබාව හුරතල් කර කර ලස්සනට ඉන්නවා. නමුත් කට්ටියගෙම හිතට අමාරුයි එළියෙ ලෝකෙ වෙන දේවල් ගැන. රටේ ප්‍රසිද්ධ අප්පච්චි කෙනෙක් වුණ අකිලත් අප්පච්චි ‍කෙනෙක් වුණ ඒ හැඟීම මොන වගේද? දැන් තමයි මගේ අප්පච්චි ගැන මට හොඳටම තේරෙන්නේ. අපි ජීවත් වුණ ජීවන රටාවේ අපිට ලැබුණ දේවල්, සිද්ධ වුණ දේවල් අපිට හොඳටම මතකයිනේ. නමුත්, අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් වුණහම තමයි තේරෙන්නේ ඒ දේවල් අපිට දෙන්න අම්මලා කොච්චර මහන්සි වුණාද කියලා. ළමයෙක් හදනකොටයි තේරෙන්නේ එයාලා රස්සාවටත් ගිහිල්ලා හැමදේම කරලා අපිටත් අඩුවක් නොවෙන්න අපි ගැනත් හිතලා අවවාදයට වඩා ආදර්ශය උතුම් විදිහට ජීවත් වුණේ කොහොමද කියන්න. ඒ වගකීම කරට ගත්තා කියන්නේ මගේ අප්පච්චිගේ ප්‍රතිරූපය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්. මගේ අප්පච්චි මට හොඳ අප්පච්චි කෙනෙක් වුණා වගේ මම මගේ දරුවට හොඳ අප්පච්චි කෙනෙක් වෙන්නේ කොහොමද කියන දේ කල්පනා වෙනවනේ. ඒක ලේසිපහසු කටයුත්තක් නෙවෙයි. ලොකු වගකීමක්. චූටි දුවගේ නම තිබ්බෙ සීයා නේද? ඔව්. අපි තුන්දෙනාටමත් නම් දැම්මේ අප්පච්චි. ඒ වගේම අපේ දරුවන්ටත් නම් දාන්නේ අප්පච්චිම තමයි. ඒක නියමයක් නෙවෙයි. නමුත් ඒ විදිහටත් හැඩගැහිලා තියෙන්නේ. අපි නම් දාන්න කල්පනා කරනකොට රෝමානු කතෝලික ආගමේ නමක් අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන නිසා මිකෙලා කියන කෑල්ල හිතාගෙනම හිටියා. අනිත් නම් දෙකම දැම්මේ අප්පච්චි. දුවගේ නම සකී අරන්‍යා මිකෙලා. අන්තිමේදී නම දාලා බලනකොට අකිල, මාධවී, සජිත කියන තුන්දෙනාගෙම නම්වල මුල් අකුරුවලින් අපේ දුවට නම හැදිලා තියෙන්නේ. ඒක හිතලා කළ දෙයක් නෙවෙයි. අපිත් ඒ ගැන දැනගත්තේ සාමාජ මාධ්‍යයේ පිරිසකගෙන්. එයාලා තමයි මේක ගලපලා තියෙන්නේ මේ විදිහයි නේද කියලා. පුංචි දුවගෙත් හාහාපුරා කියලා මියුසික් වීඩියෝවක් නිකුත් වුණා නේද? ඔව්. ඒක චූටි මල්ලිගෙම සංකල්පයක්. එයාගෙනේ සින්දුවත්. මේ වීඩියෝ එකට යොදවපු මහන්සියෙනුත් 95% ක්ම අයිති චූටි මල්ලිට. ඉතින් එයාගේ මහන්සියෙන් අපිත් වැඩේ ලස්සනට කළා. ඒ වගේම ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඔක්කොටම වැඩිය සින්දුව ඉවරවෙද්දි ඇහෙන බබාගේ හිනාවට තමයි වැඩියෙන්ම කට්ටිය ආස වුණේ. ගෙදරමයි අපි වීඩියෝ කළෙත්. ඒ වගේ මුළු පවුලම එකතු වෙලා තව අලුත් අලුත් ලස්සන දේවල් කරයිද? තාම මේක අලුත් නිසා දැන්මම වෙන එකක් නැහැ. එහෙම විශේෂයෙන් හිතාගෙන නෑ මේ දේ කරන්න ඕන කියලා. අදහස්නම් සෑහෙන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙ අදහස් තමයි වැඩියෙන්ම තියෙන්නේ. වෙලාවට වෙන්න ඕන දේවල් ලස්සනට සිද්ධ වෙයිනේ. එකපාරටම ඉතින් මේ වගේම වැඩක් සෙට් වෙයි. එතකොට ඉතින් කට්ටියටම බලන්න පුළුවන් මේ වගේම. ඇත්තටම මේ නිර්මාණය හිත හිත කල් අරන් කරපු දේවල් නෙවෙයි. ක්ෂණික අදහස්. කොරෝනා නිසා අකිලගේ මග නැවතුණු වැඩ රාජකාරි මොනවද? චිත්‍රපට හතරක් මගබලාගෙන හිටියා. එක ගෙයි සොකරි පෙන්නන්න හිටියේ සුනාමි චිත්‍රපටය තිරගත වෙලා ඉවරවෙනවත් සමගම. සිනමා කර්මාන්තයම මග ඇනහිටලනේ තියෙන්නේ. ඒ වගේම දඩඉම, ශ්‍රී වික්‍රම රාජසිංහ, ගුත්තිල කාව්‍ය චිත්‍රපට කිහිපයේම වැඩ මග නැවතුණා. ඒ වගේම පොළොන්නරුවේ පොඩි විජේගේ චරිතයටත් පණ පොවන්න හිටියා. ඒ වගේ කරන්න බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබුණා. මුහුරත් උළෙලවල් පවා ලෑස්ති කරලා තියෙද්දි තමයි සියල්ල මග නැවතුණේ. එහෙම තමයි ඉතින් හොඳ කාල එනවා. නරක කාල එනවා. සියල්ල හොඳ විදිහට විසඳෙයි. අකිලගේ ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවද? බලාපොරොත්තුනම් සෑහෙන්න තියෙනවා. මේ මේ දේ කියලා කියන්නත් අමාරුයි. දැන් මේ කාල වකවානුවත් එක්ක බලාපොරොත්තු සියල්ල වෙනස් වෙලා. ඒ කියන්නේ මූලික තැන දුවට? අනිවාර්යයෙන්ම. ඇය හමුවේ මම කරන දේවල්වලට ඇයගේ ප්‍රතිචාර දැක්වීම සීයට සීයක්ම හරිම පිරිසුදුයි. ඕනම කිරි දරුවෙක් එසේයි. ඇය තමයි මට මේ ලෝකෙ තේරුම්ගැනීමට පහසුම කෙනා. මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝම ඇයට ආදරේ කර කර ඇය දක්වන ප්‍රතිචාර දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා. කෞශල්‍යා පතිරණ
 

More News..