brand logo

අක්කා මාව හංගගෙන පරිස්සම් කළේ

29 March 2021

අද ‘පිනිපලස’ තුළින් අපි ඔබට සමීප කරන්නේ කලාවට එකතු වන අලුත් මුහුණක්. මේ මුහුණේ යම් යම් ඉරියව් හැඩතල අපිට හුරුයි. ඒ වගේම කතාබහ කරන විදිය හිනාව ඒ විතරක් නෙවෙයි නම ගත්තත් අපිට සමීප නාමයක් මේ නම තුළ තියෙනවා. ඇය නමින් නිශාදි හේමමාලි. නිශාදි හේමමාලි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නදීෂා හේමමාලිගේ නංගි. නිශාදිව අපිට මේ දවස්වල මුණගැහෙන්නේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත් සමග. මෙතෙක් කලාවට වැඩි කාලයක් නොයොදා පෞද්ගලික ජීවිතයට මුල් තැන දී කටයුතු කළ නිශාදි කියන්නේ අවුරුදු 8ක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. අක්කා කලාවට සම්බන්ධ වෙලා වසර ගණනාවක් වුණත් නිශාදි කලාවට එන්නේ දැන්, ඒ ගැන වගේම තව විස්තර බොහොමයක් අපි කතා කළා නිශාදි එක්ක. නිශාදි කොහොමද ඉතින්... මේ දවස්වල නම් විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙලා ඉන්න නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ. රඟපාන්න ආරාධනා නැද්ද... ආරාධනා බොහොමයක් ඇවිත් තියෙනවා. කාලයත් එක්ක හොඳ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මම උත්සහ කරනවා යම් හැදෑරීමක් එක්ක නිර්මාණ භාර ගන්න. කලාවට සම්බන්ධ වෙන්න මේ තරම් පරක්කු වුණේ ඇයි? මගේ ලොකු අක්කා නදීශා. ඉතින් මම එයා එක්ක රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් තුළින් තමා මුලින්ම කලාවට එන්නේ. නමුත් දිගටම කලා කටයුතුවල නියැළෙන්න ඒ තරම් මගේ කැමැත්තක් තිබ්බේ නැහැ. මම ටිකක් බයයි. අනිත් එක අක්කා කැමති වුණේ නැහැ මම ක්ෂේත්‍රයට එනවට. මොකද එයා මට පුදුම විදියට ආදරය කරනවා. ඒ නිසා එයා මාව ගොඩක් හංගගෙන පරිසම් කළා කිව්වොත් හරි. එතකොට අක්කා දැන් මොකද කියන්නේ... දැන් වුණත් කියන්නේ තෝරාබේරාගෙන කරන්න කියලා. නිර්මාණ භාර ගන්න අක්කගේ අවසරය ලැබෙන්න ඕනේ ද? මම අක්කාගෙන් අහනවා ඉතින්. මොකද මට වඩා දැනුමක් අක්කට තියෙන නිසා. දැන් ඉතින් මමත් විවාහ වෙලා. මගේ මහත්තයා මගේ හැම වැඩකදීම මා එක්ක ඉන්නවා. ඒ දේවල් එක්ක ඉතින් අක්කා කියන්නේ මහත්තයාගේ අවසරයත් ඇතුව පවුල් ජීවිතයට හානියක් නොවන විදියට ලැබෙන කලා නිර්මාණ භාර ගන්න කියලා. මහත්තයා කලාවට සම්බන්ධ කෙනෙක් ද? අපි කියමු එයා ගැනත් නැහැ. මගේ මහත්තයා ඩිලන් පලිහක්කාර. එයා වැඩ කරන්නේ ලෝක බැංකුවේ. මට තියෙන එකම ධෛර්යය එයා තමයි. නැත්නම් මේ වගේ තරගයකට වුණත් ඉදිරිපත් වෙන්න ලැබෙන්නේ නැහැ. අක්කා එපා කියපු දෙයක් කරලම නැද්ද? එයාගේ වචනෙට පිටින් යන්නේ නැහැ මම. ඒ නිසා තමා අද මට ලස්සන ජීවිතයක් ගත කරන්නේ. මම ඒ වගේ මවක් හා සමාන සහෝදරියක් ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් හැම මොහොතකම උත්සහ කරන්නේ ඒ බැඳීම් පවත්වා ගන්න. දෙන්න තරහ වෙලාම නැද්ද? නිතරම තරහ වෙනවා. මොකද එයා හරි මම හරි දවසකට සැරයක් හරි කෝල් එකක් දෙන්න ඕනේ. අපි පැය ගණන් කතා කරන වෙලාවල් තියෙනවා. කෝල් එක දෙන්න අමතක වුණොත් ඉතින් රණ්ඩු තමා. ඒ රණ්ඩු ඉතින් පොඩි වෙලාවයි තියෙන්නේ. නිශාදිට කොහොමද කලාව ගැන තියෙන අත්දැකීම... මම කුඩා කල සිටම අක්කා කලාවට සම්බන්ධ නිසා මට අත්දැකීම් තියෙනවා. අක්කා බින්දුවෙන් පටන්ගෙන ආව ගමන දිහා මම බලන් ඉඳලා තියෙනවා. එතකොට මට ඒ ගැන ලොකු වැටහීමක් තියෙන නිසා මට කලාව තුළ නියැළෙන්න ලේසි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මම කලාවට එන්නේ හොඳම කාලයේ කියලා. අක්කා එක්ක තියෙන බැඳීම කොහොමද? මගේ හොඳම යාළුවා අක්කා. අක්කට ඉන්න හොඳම යාළුවත් මම. අපි දෙන්නා අතරේ රහස් කියන දේවල් නැහැ. ඇඳුමක් ඇන්දත් අහනවා මේක හොඳ ද කියන එක. ඇත්තම කිව්වොත් මගේ අම්මත් එක්ක තියෙන බැඳීමටත් වඩා ලොකු බැඳීමක් තියෙනවා අක්කා එක්ක. ඇත්තටම මගේ අම්මා මගේ අක්කා. අද මේ තත්ත්වයේ මම ඉන්නේ අක්කා නිසා. මොකද අපේ තාත්තා නැති වුණාට පස්සේ දරුවෝ තුන්දෙනෙක් බලා ගත්තේ අක්කා. ඒක අම්මත් දන්නවා. පොඩි අක්කා කලාවට සම්බන්ධ නැද්ද.. එයා තමා අපි හැමෝටම වඩා දක්ෂ. ක්‍රීඩාවෙන් ගායනයෙන් එයා ගොඩක් දස්කම් පෑවා. රංගනයට දක්ෂ වුණත් ඒ පැත්තට නැඹුරු වුණේ නැහැ. නිශාදි ජීවිතය දකින්නේ කොහොමද? මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. අංක එක මගේ නිදහස. නිදහස නැතිවෙන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මම ආසයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මම මං ගැන සතුටු වෙනවා. පොළොවේ පයගහලා ජීවත් වෙන්න කැමති කෙනෙක්. මට ඕනේ මගේ පහසුව සහ සිතට සැනසුම. ඒ නිසා අනිත් අය මං ගැන හිතන්නේ කොහොමද කියන එක ගැන හිතන්නේ නැහැ. නමුත් අක්කා කැමති නැහැ එයාගේ ප්‍රතිරූපයට පොඩ්ඩක්වත් හානියක් වෙනවට. අනාගත බලාපොරොත්තු මොනවද? මම මගේ ජීවිතේ මුල් තැනක් දීලා තියෙනවා මගේ නිය අලංකරණ ව්‍යාපාරයට. ඒ නිසා මට ඕනේ කවදා හරි ලංකාවේ තියෙන ලොකුම නිය අලංකරණ ආයතනය පවතවාගෙන යන්න. ඒ වෙනුවෙන් මම කැපවෙලා වැඩ කරනවා. අනුෂා රණසිංහ
 

More News..