brand logo

අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

25 November 2020

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'අංගොඩ ලොක්කා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා දැක බලාගැනීමට මහජනතාවට අවස්ථාව හිමි වන බව වාර්තා වේ. මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ සිරකර සිටියදී අතුරුගිරිය පොලිසිය මෙම උකුස්සා සොයා ගනු ලැබූ අතර පසුව එම උකුස්සා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන ලෙස පවසා තිබූ නමුත් මහජන ප්‍රදර්ශනය සඳහා නොතබන ලෙස නියෝගයක් කර තිබුණි. තවදුරටත් මෙම උකුස්සා වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන අතර මෙම උකුස්සා අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩු කටයුත්තේ නඩු භාණ්ඩයක් ලෙස ද පවතිනු ඇත. 'කුස ඇලි මුහුදු උකුස්සා' නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාවක් ඇතැයි සැළකෙන අතර මෙම වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි
 

More News..