විශේෂාංග

​සජිත් කුකුළු කූඩු ගෙවල් හදන්නෙක් විතරයි

පොහොට්ටුව සමග දීග යන ලෙසට ශ්‍රීලනිපයට බලපෑම් කළේ ඔහුය. එම දීගය සිදු නොවුණානම් මේ වනවිට ඔහු ශ්‍රීලනිපයේ නැත. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප​ සභාපති නිමල් සිරිපාල ද සිල්වා තමන්ගේ එම අප්‍රතිහත උත්සාහය ගැනත් වත්මන් දේශපාලන භූමිකාව ගැනත් දක්වන්නේ මෙවැනි අදහසකි.

ගෝඨාභයට සහයෝගය දිය යුතුයි යන ස්ථාවරයේ ඔබ තදින් සිටියා. අනෙක් පාර්ශ්වයේ ප්‍රබලයා වන සජිත්ට වඩා ගෝඨාභය හොඳයි කියන්න තිබෙන හේතුව මොකක්ද?

මේක පුද්ගලයන් අතර ප්‍රශ්නයක් නෙවේ. මනාලියන් දෙදෙනකු අතරින් කොයිකෙනා තෝරනවද වගේ. එහෙම තෝරපු එකක් නෙමෙයි. මේක ප්‍රතිපත්තිමය තීරණයක්.

ශ්‍රීලනිපයට ළංවෙන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන්නේ පොදුජන පෙරමුණේ. එජාපයේ ප්‍රතිපත්ති හෝ දේශපාලන ක්‍රියාමාර්ග එක්ක ළංවෙන්න පුළුවන්කමක් අපට නැහැ. අපට තිබෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති.

ඒ නිසා මගේ දේශපාලන විඥානයට දැනුණ දේ තමයි අපිට උදව් කරන්න පුළුවන් කෙනා ගෝඨාභය රාජපක්ෂ බව.

දෙවැනි කාරණය තමයි වඩා විශ්වාසය තැබිය හැකි පුද්ගලයා කවුද කියන එක. ඒ අනුව බලන කොටත් වඩා විශ්වාසය තැබිය හැක්කේ ගෝඨාභය ගැනයි.

ඇයි සජිත් අවිශ්වාස?

සජිත් ආවට එයාව මෙහෙයවන්නේ එක්සත් ජාතික පක්ෂයයි. රනිල් වික්‍රමසිංහයි. බොරුවට පිරුවට දාගෙන ආවට අවසානයේ අගමැති අපේක්ෂකයා වෙන්නේ රනිල් අපි ආණ්ඩුවෙන් එළියට බැස්සෙත් එජාපයත් එක්ක මේක කරන්න බැහැ කියලා. ජනාධිපති කිව්වෙත් එජාපයේ සංස්කෘතියා ප්‍රතිපත්ති අපට ගැළපෙන්නේ නැති බවයි. මගේ පෞද්ගලික මතය වුණෙත් ඒක. එය පක්ෂය තුළ ජයග්‍රහණය කරවීමට මා විශාල කැපකිරීමක් කළා. අවසානයේ එය ජයගත්තා.

ඔබේ පෞද්ගලික මතය පක්ෂය තුළ ජයග්‍රහණය නොවූවානම් ගන්න පියවර?

එහෙම වුණා නම් පක්ෂයට වඩා රට ඉදිරියට තියලා ගෝඨාභයට දිවි හිමියෙන් වැඩ කරනවා.

ඔබට ඔය තරම් විශ්වාස, ප්‍රතිපත්තිගරුක ගෝඨාභය අඩුතරමේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකුවත් නොවෙයි. නමුත් සජිත් කියන්නේ මන්ත්‍රීකම් ඇමැතිකම් දරපු පරිණත දේශපාලනඥයෙක්.

සජිත් ප්‍රේමදාස ගැන ඔබ කියන දේ හරි කියා මා විශ්වාස කරන්නේ නැහැ. එයා හම්බන්තොටට සීමා වූ කුකුළු කූඩු වගේ ගෙවල් හදන දේශපාලකයෙක් පමණයි. එයා ළඟ තියෙන්නේ සිල්ලර දේශපාලනයක්.

ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටියට රට ගෙන යන්න ඕන මාවත පිළිබඳව ගෝඨාභයට අත්දැකීම් රාශියක් තිබෙනවා. අද අපට අවශ්‍ය ජාතික ආරක්ෂාව. ඒ ගැන සජිත්ට තිබෙන පළපුරුද්ද මොකක්ද? එයා කියන්නේ ‘‘මම මේක ​ෆොන්සේකාට භාර දෙනවා’‘ කියායි. ජනාධිපති වෙන්න ඉන්න කෙනකුට එහෙම ඇඟ බේරගන්න පුළුවන්ද?

ඔබ ජාතික ආරක්ෂාව ගැන රෙකමදාරු දෙන්නේ ගෝ‍ඨාභය යුද්ධයට දක්වන ලද දායකත්වය අරමුණු කරගෙනද?

අනිවාර්යයෙන්ම.

ඒ වුණාට ගෝඨාභය කියනවා යුද්ධය කළේ ආරක්ෂක අංශ මිසක් තමන් නොවන බව.

එතැන කාරණා දෙකක්නේ. යුදබිමේ ගිහිල්ලා වෙඩිතියලා හතුරන් විනාශ කිරීම එකක්. යුද්ධය සැලසුම් කිරීම සහ ජාතික ආරක්ෂාව කියන්නේ වෙනම දෙයක්.

ජාතික ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදය මැඬලීම සඳහා කරන යුද්ධය පමණක් නොවේ. ඉන් එහාට ගිය පුළුල් වැඩපිළිවෙළක්. ඒ අවබෝධය තිබෙන්නේ ගෝඨාභයටයි.

ඔය තරම් ගෝඨාභය උඩ දැම්මට ඔහුට චෝදනා ගණනාවක් තියෙනවා, හමුදා මූලස්ථානය විදේශ හෝටල්වලට දීම, ඇවන්ගාඩ් සිද්ධි, ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව හදන්න රජයේ මුදල් වියදම් කිරීම, පෝට්සිටිය සින්නක්කරව චීනයට දීම, මේවා බරපතළයි.

මේවා හුදෙක් චෝදනා පමණයි. දැන් සජිත්ට චෝදනා කීයක් තියෙනවද? සංස්කෘතික අරමුදලේ මුදල් බෙදපු හැටි. ඉදිරියේදී එයාව ඒ කොමිෂන් සභාවලටත් මුහුණ පාන්න සිදුවෙයි. ඒ විතරක් නොවේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, බඳවාගැනීමේ චක්‍රලේඛ ගැන තමා දැනුවත් නැති බව සජිත් පිළිගත්තා. ඒ වගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයන් හාරදහස් පන්සියයක් බඳවා ගත්තේ දේශපාලන බලපෑම් මත.

වගකීමෙන්ද මේ කියන්නේ ?

ඇත්තවශයෙන්ම. ඒ පිළිබඳ දැන් පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවනේ. එයා කොමිසම ඉදිරියෙත් කිව්වා හාරදහස් පන්සියයක් බඳවා ගැනීම ගැන කිසිවක් ඔහු දැනගෙන නොසිටි බව. මෙහෙම මූලික චක්‍රලේඛයක් පිළිබඳවත් නොදන්නා කෙනෙක්ද රටේ ජනාධිපති වෙන්න යන්නේ?

​ගෝඨාභයට තියෙන්නේ දේශපාලන පලිගැනීම් වශයෙන් කරන ලද චෝදනා පමණයි.

ඔය දිල්රුක්ෂි මහත්මිය, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා මොන විදිහේ දේශපාලන බලපෑම් යටතේද මේ නඩු පැවරුණේ කියා.

අනිත් එක ගෝඨාභය අධිකරණයකින් වරදකරුවකු වෙලා නැහැ. ඔහුගේ පුරවැසිභාවයට එරෙහි නඩුව කිසිම තේරුමක්, නැති නඩුවක් බව අධිකරණය පවා පිළිගත්තා.

ශ්‍රීලනිපය පොහොට්ටුවත් සමග එකතුවීමට පෙර ලොකු කතාබහක් ඇති වුණා ඡන්ද ‘‘ලකුණ’’ සම්බන්ධයෙන්. ‘‘පොහොට්ටුව’’ ලකුණට කැමැත්තක් දැක්වූයේ නැහැ. පොදු ලකුණකට නාවොත් සන්ධානය ඇති නොවන බවත් කියවුණා. එහෙත් අන්තිමේ ශ්‍රීලනිප මතවාදය පැරදුණා.?

නැහැ. නැහැ. එහෙම නොවෙයි. අපි පක්ෂයක් ලෙස අපේ අනන්‍යතාව රැක ගැනීමට දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවුණා. පිරිසක් කිව්වා ‘‘පොහොට්ටුව’’ අයින් කළ යුතුයි කියා එහෙත් අවසානයේ මා කියා හිටියා අපි පොහොට්ටුව අමතක කොට ගෝඨාභයට සහාය දිය යුතු බව එහෙත් ඉදිරි මැතිවරණවලදී පොදු ලකුණකට යන්න යෝජනා කළා.

ඒකට පක්ෂය එකඟ වුණාද?

ඔව්. සියලුදෙනා එකඟ වුණා.

ජනාධිපතිවරයා ඒ ගැන දරපු ස්ථාවරය මොකක්ද?

අපි හදපු ගිවිසුම් අකුරෙන් අකුර කියවලා ජනාධිපතිවරයා එය අනුමත කළා. අනෙක් අයගේ අදහස් මත ඒ සියලු ගිවිසුම් කෙටුම්පත් කළේ මමයි.

ඔබට වැඩි විශ්වාසයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ගැනද? ​ගෝඨාභය රාජපක්ෂ ගැනද?

දෙදෙනා ගැනම විශ්වාසයි. එහෙත් අපි පිළිගන්න ඕන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ යම් යම් අඩුපාඩු සිදුවුණා. ඇතැම් අතපසුවීම් සිදුවුණා. නමුත් කෘතහස්ත දේශපාලකයකු වශයෙන් අපට විශ්වාසයි ඔහු එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරි රාජ්‍ය පාලනය කරයි කියා.

නමුත් මහින්දගේ ආණ්ඩුව කාලේ නාමල් රාජපක්ෂගෙනුත් අවසර ගන්න මට්ටමට ඔබ පත්වුණා කියා ආරංචි පැතිරුණා?

නැහැ. නැහැ. මම නම් කවදාවත් නාමල් රාජපක්ෂගෙන් අවසර අරගෙන නැහැ. ඔය එක එක්කෙනා අතිශයෝක්තියෙන් කියන කතා. එහෙත් දේශපාලන පක්ෂවල බලකේන්ද්‍රය මොකක්ද කියන එකත් හරිම වැදගත්. මම හිතනවා ගෝඨාභයගේ ආගමනයත් සමගම ඒ බලකේන්ද්‍රය තවත් තැනකට මාරුවෙයි කියා.

පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි අතර දැන් එක ගිවිසුමක් ගැහුවා. ගෝඨාභය එක්ක තවත් ගිවිසුමක් ගහන්න යනවා. මොකටද මෙච්චර ගිවිසුම් ගහන්නේ?

එකක් තියෙන්නේ පක්ෂයත් එක්ක. අනෙක් ගිවිසුම අපේක්ෂකයත් එක්ක. පක්ෂය සමග එළැඹෙන ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී අපේක්ෂකයන්ටත් විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා අපේක්ෂකයා සහතික වෙන්න ඕන ඇති කර ගත් ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට. අපේ ප්‍රතිපත්ති මාලාවට අපි ඇතුළත් කළා ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් අවශ්‍ය බව. ඒ සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අනිවාර් යෙන්ම ගේන්න ඕන කියා අවධාරණය කළා.

ඒ කියන්නේ කේවල ක්‍රමයට. මැතිවරණ පැවැත්විය යුතු බවයි.

ඔව්. එහෙම ආවොත් ඔය රිෂාඩ් බදියුද්දීන්ලට, රාවුෆ් හකීම්ලට, දිගම්බරම්ලට ප්‍රධාන දේශපාලන පක්ෂ නටවන්න බැරි වෙනවා.

පොදුජන පෙරමුණ ඒකට එකඟ වුණාද?

අනිවාර්යයෙන්ම එකඟ වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ඒකට එකඟ වුණා. අනෙක් කාරණය තමයි ඇමැති මණ්ඩලය විද්‍යාත්මක පදනමකට සකස් කිරීම. ඒ කියන්නේ මහාමාර්ගයි, උසස් අධ්‍යාපනයයි එකට දාන්නේ නැති ආකාරයේ කැබිනට්ටුවක්.

ඔවැනි ගිවිසුම් ඉතිහාසයෙත් ඕන තරම් ඇතිවී නැතිවී ගියා. මේ ගහන ගිවිසුම්වල නෛතිකභාවය කෙබඳුද?

සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ අතර ඇති කරගන්නා ගිවිසුම් උසාවියට ගිහිල්ලා විසඳගන්න බැහැ. නමුත් මේ ගිවිසුම් අප දෙපක්ෂය අතර විශ්වාසය මත පදනම් වූ ඒවා. අවසානයේ අපට ජනතාවට කියන්න පුළුවන් අපි එකඟ වුණේ මේ කරුණු මත. එහෙත් ඒ කරුණු ඉටු වෙන්නේ නැහැ කියා. එතකොට ජනතාවගෙන් තමයි විරෝධය එල්ලවෙන්නේ.

ඒ වුණාට මේ ගිවිසුම් ගැන ජනතාව දන්නේ නැහැනේ. ඔබ දෙපාර්ශ්වයේම වගකීමක් තමයි එළැඹෙන ගිවිසුම් මොනවද යන්න ජනතාවට ප්‍රකාශ කිරීම.

මම දැන් ඒ ගැන ජනතාවට කෙටියෙන් කියන්නම්. පොදුජන පෙරමුණත් අපත් අතර ඇති වූ ගිවිසුමේ මූලික වගන්තිය තමයි ඉදිරියේ මැතිවරණවලට පුටුව ලකුණින් තරග වැදීම. ඒ සඳහා දෙපාර්ශ්වයම එක්ව ශ්‍රී ලංකා පොදුජන එක්සත් සන්ධානය නමැති සන්ධානය බිහිවෙනවා. එහි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අප දෙපාර්ශ්වය එකඟ වූ ප්‍රතිපත්තිමය කාරණා 27ක් ගැන. එම සන්ධානයේදී ශ්‍රීලනිපයට සියයට තිස් එකක (31%) ප්‍රතිශතයක් විධායක සභාවේ හිමිවෙනවා. මහින්ද රාජපක්ෂත් මෛත්‍රීපාල සිරිසේනත් සම නායකයන් ලෙස කටයුතු කරනවා. අනෙකුත් නිලතල බෙදාගැනීම ගැනත් සඳහන් කරලා තියෙනවා.

ඉදිරි සෑම මැතිවරණවලදීම අප ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයට සමානුපාතිකව (ඒ කියන්නේ 1/3 පමණ) නියෝජනයක් ශ්‍රීලනිපයට ලැබෙනවා.

ඔබ එලෙස ගණන් හිලව් කිව්වට පසුගිය මහ මැතිවරණයේදී මෛත්‍රිට සහාය දක්වපු අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකිවන ලෙස වැඩ සිද්ධ වුණා. උදාහරණයක් කියනවා නම් කුරුණෑගල ශාන්ත බණ්ඩාරට වුණ දේ. ජනාධිපති ධුරයට පත්වුණාට පසුව ඔය ගිවිසුම් ආරක්ෂා වෙයිද?

ඒ විශ්වාසය අපට තිබෙනවා. එහෙත් මම එකක් කියන්න ඕන. මේ මනාප ක්‍රමය තියෙනකල් පක්ෂ ඇතුළේ කැපිලි කෙටිලි නැතිවෙන්නේ නැහැ. ඒ නිසයි අපි කිව්වේ ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් අවශ්‍ය බව.

මේ ගිවිසුම් අතරේ ජනාධිපතිවරයා අත පිහිදාගෙන පැත්තකට වුණා. එයා දැන් ස්වාධීනයි.

මම විශ්වාස කරනවා එතුමා පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට ඉල්ලයි කියා. එහෙම ඉල්ලලා පත්වුණාට පස්සේ එතුමාට ඉතා හොඳ අමාත්‍යාංශයක් ලැබෙයි.

දැනට කතා කරගෙන තියෙනවද ලැබෙන අමාත්‍යාංශ ගැන?

ඒ පිළිබඳව කතා කරලා නැහැ. කේක් ගෙඩිය බෙදා ගන්න ඉස්සෙල්ලා ඒක හදාගන්න එපැයි. දැන් අපි කරන්න ඕන කේක් ගෙඩිය හදන එක මිසක් ඒක කපාගන්න යන එක නෙවෙයි.

මේ දීගයට ඔබ මෙතරම් මහන්සි වෙන්නේ ලොකු තනතුරක් අත ළඟ තියාගෙන වගේ?

මම අවංකවමයි මේ කටයුත්තට බැස්සේ. එන ආණ්ඩුවෙන් මට තනතුරු ලැබුණත් නැතත් ඒ රජයේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස සිට හෝ රට ගොඩනගන්න වැඩ කරනවා.

2015දී ශ්‍රීලනිපයේ 53ක පමණ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ අතහැරලා මෛත්‍රි සමග හිටගන්නවා. එලෙස පැමිණි බොහෝ දෙදෙනකුට මහින්ද රාජපක්ෂ පාලනය ගැන ප්‍රබල විවේචනයක් තිබුණා. පසුව ඒ අයට ශ්‍රීලනිප සංවිධායකකම් ආදීයත් ලබා දුන්නා. දැන් මේ ගත්ත තීරණත් එක්ක රාජපක්ෂ කඳවුරට යන්න බැරි පිරිසක් විශාල ගැටලුවකට මුහුණ පාලා ?

නෑ. රාජපක්ෂ කඳවුරට යා යුතු නැහැ. අපේ පක්ෂයේ අනන්‍යතාව තියාගෙනයි මේ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ශ්‍රීලනිප විසුරුවා හැරලා පොහොට්ටුවට එකතු වුණා නෙමෙයිනේ. ශ්‍රීලනිපය සංවිධායකවරුන්ට මන්ත්‍රීවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ පදවි ඒ විදියටම තියාගන්න පුළුවන්. දැන් ඔය තොණ්ඩමන්ලා උදව් කරන්නේ පක්ෂය විසිරුවා හැරලද නැහැනේ. ඒ විදිහට අපිත් මේකට උදව් කරනවා. ඊළඟ මැතිවරණවලදී අපි අපේ පක්ෂයේ ‘‘කෝටා එක’‘ අරගෙන වැඩ කරනවා.

ශ්‍රීලනිප සංවිධායකවරුන් එක්ක මේ ගැන කතා කළාද ?

සංවිධායකවරුන්ට මේ ගිවිසුම් ගැන පැහැදිලි කරලා දීලයි තියෙන්නේ.

එහෙත් ශ්‍රීලනිප සංවිධායකවරුන් 37 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එජාප අපේක්ෂකයා සමග සාකච්ඡා කරනවා?

ඒක දේශපාලනයේ ස්වභාවය. විවිධ බලවේගයන් ක්‍රියාත්මක වෙනවා. ඔය සංවිධායකවරුන් අතරින් එක්කෙනෙක් පෙන්නන්න පුළුවන්නම් ඡන්ද පන්දාහක් ගන්න පුළුවන් කෙනෙක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තමයි තමන්ට වෙච්ච අසාධාරණකම් ගැන මේ කතා කරන්නේ. ඒ අය යූ.ඇන්.පී. කාරයෝ නොවෙයි.

එක එක බෝඩ් ලෑලි එළියට දාගෙන මැතිවරණවලදී මෙවැනි අය එනවා. තනතුරු වරප්‍රසාද දීලා වේදිකාවට නග්ගනවා. එහෙත් ඒ අයට ඡන්ද නැහැ.

ජී.එච්. බුද්ධදාසලා එදා ඉඳන් හිටපු ශ්‍රී ලංකාකාරයෝ?

ඔව්. ඔව්. එදා ඉඳන් හිටපු අය තමයි. ඉතින් ඔය චන්ද්‍රිකා කුමාරතුංගත් එදා ඉඳන් හිටපු කෙනෙක්නේ. දැන් එතුමියගේ මතවාදය බලන්නකෝ.

ඇය කියනවා දැන් ශ්‍රීලනිපය විනාශ වෙනවා කඩාවැටෙනවා කියලා?

එතුමියට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවනේ. මම එතුමිය ගැන කනගාටුවෙනවා. ඇය මේ රට වෙනුවෙන් බොහෝ වැඩ කළ කෙනෙක්. බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය නමුත් එතුමිගේ මෙම දේශපාලන ස්ථාවරය සමග මම එකඟ නැහැ. රාජපක්ෂවරුන්ට එරෙහිව වෛරයක් ඇයට තිබෙනවා. එවැනි දේශපාලනයක් අපට අවශ්‍ය නැහැ.

ඔබට හිතෙන්නේ නැද්ද මේ වැඩවලින් වෙන්නේ පරණ ශ්‍රී ලංකාකාරයෝ නිකම්ම යූඑන්පීයට තල්ලුවීමක් කියා?

නැහැ යූඑන්පීයට තල්ලුවෙන්නේ නැහැ. ඔන්න ශ්‍රීලනිපයේ අපේක්ෂකයෙක් හිටියා නම් තුන්කොන් සටනක් තිබුණා නම් පක්ෂයේ නාමයෙන් අපේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඉතාම ප්‍රඥාගෝචර තීන්දුවක් ගත්තා තමන් තුන්වැනි අපේක්ෂකයකු ලෙස නොඑන බවට. එහෙම ආවොත් ඒකෙ වාසිය එජාපයටයි. ඒ විඥානය අපේ නායකයාට තිබුණා.

ඔබ මුලිනුත් කිව්වා ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කඩලා එජාප අපේක්ෂකයාට සහයෝගය දෙන්න බැහැ කියලා. දයාසිරි ජයසේකරත් ඒ ටිකම කියනවා. එහෙත් 2015දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන කොට ඔය ප්‍රතිපත්ති කොහෙද තිබුණේ?

මැතිවරණයේදී එජාප අපේක්ෂකයකුට සහයෝගය දෙන එකයි. ආණ්ඩුවකට එකතු වෙන එකයි අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවට අපි එකතු වුණේ ශ්‍රීලනිප අනන්‍යතාව තබාගෙන ජනපතිවරයාට ශක්තියක් ලෙසයි. එමගින් අපට ලැබුණ වාසි ගොඩක් තියෙනවා. ලොකුම වාසිය අපේ පාක්ෂිකයන් හිරිහැරවලට ලක් නොවී බේරුණු එක.

පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වීම පිළිබඳ පවත්වන්නට සිටි මාධ්‍ය සාකච්ඡාවට ජනාධිපතිවරයාත් එක්වීමට සිටියා. නමුත් ඒ කටයුතු ඔබ කණ්ඩායමට භාරදී ජනාධිපතිවරයා ගැලවිලා ගියා.?

එතුමා පක්ෂයෙන් අයින් වුණේ නැහැනේ. එතුමා පක්ෂයට භාර දුන්නා ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය දිනවන්න වැඩ කටයුතු කරන්න කියලා. ඔහු ජනාධිපතිවරයා විදියට ස්වාධීනව ඉන්න තීරණය කළා.

එජාප අපේක්ෂකයා දිනු​වොත් ඒ පැත්ත අල්ල ගන්නත් බලාගෙන වෙන්න ඇති ඔය ස්වාධීන වීම?

එතුමා කරන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශපාලනයක්. එය පැහැදිලිවම කියලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බව පැහැදිලිවම කිව්වා.

2015 ගත්ත තීරණය නිසා ශ්‍රීලනිපය දියවුණු බව ඔබට හැඟෙන්නේ නැද්ද?

ඒක නිසාම නොවේ. මතවාදයකට අනුව කට්ටියකට විපක්ෂයේ ඉන්න අපි ඉඩ දුන්නා. කට්ටියක් යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණා. එතැනදී ශ්‍රීලනිපයට යම් බලපෑමක් වුණු එක ඇත්ත. දැන් මේ හදන්නේ ඒ වළෙන් ගොඩ එන්නයි.

ඒ වුණාට මිනිස්සු කියන්නේ මේක ජාම බේරගන්න ගහපු ගේමක් කියලා. ඊළඟ මහ මැතිවරණෙයේදී පාර්ලිමේන්තුවට එන්න නම් පොහොට්ටුවත් එක්ක එකතු නොවී බැහැ.

නැහැ. එහෙම කියන්න එපා. අපිට තිබෙන ඡන්ද සංඛ්‍යාව අනුව ආසන තිහක් ලේසියෙන්ම දිනාගන්න පුළුවන්. එතකොට තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රීලනිපයයි. ඒ නිසා කවුරුත් අධිතක්සේරු තියාගන්න එපා. ඒක දේශපාලනික වශයෙන් යහපත් දෙයක් නෙවෙයි. අපි සමගියෙන් වැඩකර එජාපය පන්නා ගෝඨාභය දිනවමු. ඊට පසු කුලල් කා නොගෙන මහ මැතිවරණය එකට ජයගෙන මහින්ද රාජපක්ෂ අගමැති කරමු කියලා මම ඉල්ලා සිටිනවා.

ඔය මොනවා කතා කළත් මේ වන විට රටේ ණය ඇමරිකානු ඩොලර් බිලියන නවයත් පැනලා මේවට දෙන විසඳුමක් කා ළඟවත් නැහැ?

කර්මාන්ත, අධ්‍යාපනය මේ සියල්ල නූතන ලෝකයට ගැළපෙන ආකාරයට සකස් විය යුතුයි.

ලෝක බැංකු සංඛ්‍යා ලේඛන අරගෙන බැලූ විට පේනවා අග්නිදිග ආසියාවේ ඇෆ්ගනිස්තානයට පොඩ්ඩක් ඉහළින් තමයි අපේ ආර්ථික සංවර්ධනය තිබෙන්නේ කියා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. නිෂ්පාදන ආර්ථිකය දියුණු කළ යුතුයි.

ආර්ථිකය මෙච්චර කඩාවැටිලා තියෙන අවස්ථාවක ජනාධිපතිවරයාට ගෙන්වන ආරක්ෂක රියකට දස කොටි දස ලක්ෂයක් දෙන්න පාර්ලිමේන්තුව අනුමැතිය දෙනවා?

ඔව්. ඒක ඉතින් රජයේ ප්‍රතිපත්තියනේ.

තුෂාර උඩවත්ත