විශේෂාංග

​බෝරා ආවේ රට අල්ලන්නද?

බෝරා හා අයි.එස්.අයි.එස්.

කොළඹදී පැවැත්වුණු බෝරා ජාතිකයන්ගේ සමුළුව පිළිබඳ මුහුණු පොතේ සංසරණය වූ පෝස්ට් අතරින් මා මුලින් තෝරා ගත් පෝස්ටුවේ ‘තෝර ද බෝර ද කියන නෙමෙයි – ඔය ආපු 30,000 අතරෙ අයිඑස්ල කී දෙනෙක් ඇද්ද කියන එකයි ප්‍රශ්නෙ- රාජ්‍ය බුද්ධි අංශ 97 වතාවක් සහරාන් ගැන දැනුවත් කරලත්..අහක බලන් හිටපු ආණ්ඩුව…ඔතන අයි.එස්. එවුන් ආවත් හොයන්නෑ බං’’ යනුවෙන් සඳහන් කර තිබේ.

මේ පෝස්ටුවේ මතුකර තිබෙන ප්‍රධාන කාරණය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණි බෝරාවරුන් සමගින් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් පැමිණීමේ ඉඩක් පැවතිය හැකි බවය. එහෙත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ ඔවුන් සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පැමිණීමේ ඉඩ ඉතා විරල බවය. ඊට හේතුව බෝරාවරුන් හා අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පොදුවේ මුස්ලිම් වුවත්, ප්‍රතිවිරුද්ධ නිකායන් දෙකකට අයත් වීමයි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් අයත් වන්නේ ඉස්ලාමයේ සුන්නි නිකායටය. බෝරාවරුන් ඉස්ලාමයේ ෂියා නිකායට අයත්, එහෙත් එහිද කුඩා නිකායකි. ඉස්ලාමයේ නිර්මාතෘ මුහම්මද් නබි තුමාගේ මරණින් පසු ඇති වූ මේ සුන්නි_ෂියා භේදයේ ඉතිහාසය විමසා බැලුවහොත් එය එකිනෙකාගේ රුධිරය හැලීම පිණිස සිදුකළ අමානුෂික සටන් පිළිබඳ ඉතිහාසයකි.

මේ දෙපාර්ශ්වයම ‘‘ඉස්ලාමය සාමයේ ආගම’’ යැයි වර්ණනා කළද ඒ අාගමට සුන්නි ෂියා දෙපාර්ශ්වය අතර සාමදානයක් ඇති කිරීමට මේ දක්වා හැකිවී නැත.

එබැවින් සුන්නි පාර්ශ්වයට අයත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් ෂියා මුස්ලිම්වරුද සලකන්නේ සංහාරය කළ යුතු පරම සතුරන් ලෙසය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පසුගිය කාලයේ මැද පෙරදිග තම බලය පැතිරූ සෑම ප්‍රදේශයකදීම තමන්ට හමුවූ ෂියා මුස්ලිම්වරුන්ව ඝාතනය කළහ. විශේෂයෙන් ඉරාකයේදී මේ තත්ත්වය අති බිහිසුණු විය. එබැවින් මේ ෂියා සුන්නි පාර්ශ්ව දෙක අතර පවතින මාරාන්තික ඓතිහාසික කෝන්තරය හේතුවෙන් ෂියා නිකායට අයත් බෝරා මුස්ලිම්වරු සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පැමිණීමට කිසිදු ඉඩක් තිබිය නොහැකිය. මේ පෝස්ටුවේ සඳහන්වෙන රාජ්‍ය බුද්ධි අංශය සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳව 97 වතාවක් දැනුවත් කර තිබියදී රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම වෙනම කාරණයකි.

බෝරා ට්‍රැෆික් රාලහාමිලා

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ රුව ද ඇතුළත් මේ පෝස්ටුවද පසුගිය කාලයේ මුහුණු පොත පුරා සංසරණය වුවත් සමුළුව අවස්ථාවේ බෝරා ප්‍රජාව සිය පල්ලිය ආශ්‍රිත ප්‍රදේශයේ රථවාහන හැසිරවීම විවේචනය කරමින් මීට සමාන පෝස්ට් ගණනාවක් සංසරණය විය.

බෝරා සමුළුව 2008 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු අවස්ථාවේදී එය සමීපව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මට හිමි විය. එහිදී මගේ හිතවත් ශ්‍රී ලාංකික බෝරා මිතුරකු සමුළුවේ පිරිසුදු කටයුතු කරමින් සිටි බෝරාවරයකු මට හඳුන්වා දුන්නේය. ඩුබායිහි සිට පැමිණි ඔහුට භාර වී තිබූ රාජකාරිය බෝරා පල්ලියේ වැසිකිළි ආශ්‍රිත පිරිසුදු කිරීම්ය. විශේෂත්වය වන්නේ ඔහු මැදපෙරදිග රටවල ව්‍යාප්ත වී තිබෙන බැංකුවක් ඇතුළු මූල්‍ය ආයතන ජාලයක් හිමි ප්‍රකෝටිපතියකු වීමය. ප්‍රකෝටිපතියකු වුවද ඔහු ඒ පිරිසුදු සිය ‘​මෝහය’ අතහැර දමා සිය විශ්වාසය, ඇදහිල්ල හා ජාතිය වෙනුවෙන් සිනා මුසුව පැවැරුණු රාජකාරියේ යෙදුණේය. එහෙත් සිංහල බහුතරය වීමේ මෝහයෙන් පෙළෙන මුහුණුපොතේ සටන් කරන්නන් සිය ජාතිය වෙනුවෙන් එවැනි කැපකිරීමකට සූදානම්ද?

ලෝකයේ බෝරාවරු මේ අයුරින් එක් තැනකදී හමු වන්නේ ආගමික අරමුණු වෙනුවෙන් මෙන්ම සිය සාමාජයීය අරමුණු ද ඉටුකර ගැනීමටය. සියලු බෝරාවරු ජාලයක් ලෙස බැඳී සිටිති. මේ ජාලයේ සියලු කටයුතු මෙහෙයවන්නේ ඔවුන්ගේ අාධ්‍යාත්මික නායකයාය. වසරකට වරක් සිදුකරන මේ හමුවේදී ප්‍රජාවගේ මංගල්‍ය කටයුතු තීරණය කිරීම අලුතෙන් ඉපදුණු දරුවන්ට නම් තැබීම වැනි කාරණා අාධ්‍යාත්මික නායකයා විසින් සිදුකරයි. මේ කටයුතු පහසු කරගැනීම සඳහා විශිෂ්ට සම්බන්ධතා ජාලයක් ඔවුන් විසින් ගොඩනංවාගෙන ඇත. ඔවුන් පවසන පරිදි ලෝකය පුරා වෙසෙන මිලියනක් පමණ වන සිය සමාජිකයන්ට ඕනෑම පණිවුඩයක් එක් මො​හොතකින් සන්නිවේදනය කළ හැකිය. වාර්ෂිකව පවත්වන සමුළුවේ කටයුතු පැවැත්වීම සඳහාද ඔවුන් ශූර ලෙස සංවිධානය වී සිටිති. වාහන හසුරුවන්නන් පමණක් නොව හදිසි අවස්ථාවකදී ගිනි නිවීම හා ප්‍රථමාධාර සැපයීමටද පුහුණු කළ තමන්ගේම පිරිස යොදවා තිබේ. කොටින්ම පෙර කී පරිදි වැසිකිළි පවිත්‍ර කිරීමේ සිට සමුළුවේ සියලු සංවිධාන කටයුතු විධිමත්ව පවත්වා ගැනීමට පුහුණු කළ පිරිස් ඔවුන් සතුය. මතක තබාගත යුත්තේ මොන රාජකාරිය කළත් ඔවුන් බහුතරය ධන කුවේරයන් බවය.

ලෝකයේ ජන වර්ග ගණන් කළ නොහැකි ප්‍රමාණයක් සිටිති. ඒ අතරින් බෝරා ප්‍රජාව සැලකෙන්නේ වඩාත්ම සංවිධානාත්මක ජන වර්ගයක් ලෙසය. එබැවින් සිංහල අප ජාතියක් ලෙස මේ අවස්ථාවේ කළ යුත්තේ බෝරාවරුන්ගේ සංවිධානාත්මක බව නිරීක්ෂණය කර එම ගුණාංග අප තුළද ඇති කර ගැනීමටය.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයත් සමග ජන මනස අවුල් වී තිබෙන මේ අවස්ථාවේ, සමුළුවේ කටයුතු නිසා ජනතාව අතරට සාවද්‍ය අදහස් යාම වැළැක්වීමට රජයත් පොලිසියත් මීට වඩා දූරදර්ශීව කටයුතු කළ යුතුව තිබූ බව පෙනේ. බෝරාවරු රටේත් ජනතාවගේත්, පොලිසියෙත් පහසුව පිණිස වාහන හැසිරවීමෙන්ද උදව් කිරීමට ගත් උත්සාහය පිළිබඳව වැරදි මත පැතිරුණේ එබැවිනි.

ආරක්ෂක අංශ පිළිබඳ විශ්වාසය පාස්කු ප්‍රහාරයෙන් පසු යම් තාක් දුරට බිඳ වැටීමද ජනතාව අතරින් මෙවැනි ප්‍රතිවිරෝධතා මතුවීමට හේතු වී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ඉතා අපකීර්තිමත් යුගයක ජනතාවට නව රසය සපයන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ රූපයද එයට ගාවාගෙන ඇත්තේ එබැවිනි.

සුළු ජාතිය – මහ ජාතිය

මෙහි සඳහන් වන්නේ ‘‘උන් අපිට බෝම්බත් ගහලා මාස පහක් යන්නත් කලින් සමුළුවකුත් තිබ්බා..එතකොට අපි ද මේ රටේ සුළු ජාතිය බොලව්’’ යනුවෙනි. මේ පෝස්ටුව නිර්මාණය කළ මෝඩයාට මේ ලිපිය කියවීමට අවස්ථාවක් ලැබේ නම් ‘බෝරා’වරුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බව වටහා ගනු ඇත.

කෙසේ නමුත් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මාස පහක් ගත වෙන්නට පෙර මෙම බෝරා ප්‍රජාව තමන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලාංකික ජාතිය ලෙස මෙන්ම සිංහලයන් ලෙසද අප ඔවුන්ට ස්තුති කළ යුතුය. ඒ ආණ්ඩුව කියන පරිදි මේ සමුළුව නිසා රටට ලැබෙන ආර්ථික වාසිය නිසා නම් නොවේ.

ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුවද ශ්‍රී ලංකාවේ මෙවැනි අතිවිශාල සමුළුවක් පැවැත්වීමට වුවද සුදුසු වාතාවරණයක් පවතින බව ලෝකයට පෙන්නුම් කිරීමට අවස්ථාවක් ඔවුන් ලබාදී ඇති හෙයිනි. ශ්‍රී ලංකාවට හැමදාම ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනාවක් වන්නේ සුළු ජාතීන්ට හිරිහැර කරන බවය. එහෙත් ශ්‍රී ලංකාවත් එහි ජීවත් වන බහුතර සිංහල බෞද්ධ ජනතාවත් සුළු ජාතීන්ට හොඳින් සලකන, සුළු ජාතීන්ට ඔවුන්ගේ කටයුතු හිරිහැරයකින් සිදු කිරීමට ඉඩ ලබාදෙන පිරිසක් බවට ජාත්‍යන්තරයට පෙන්නුම් කිරීමට මෙය හොඳ අවස්ථාවකි. බෝරා ජාතිකයන් පාස්කු ප්‍රහාරයේ ලේ සලකුණු මැකෙන්නටත් පෙර සිය සමුළුව ලංකාවේ පැවැත්වීමෙන් මේ පෙන්වා ඇත්තේ ඔවුන් තවමත් බහුතර සිංහලයා පිළිබඳව විශ්වාසය තබන බවය.

ඇත්තෙන්ම ඔවුන් මේ සමුළුව ලංකාවේ පැවැත්වීම නිසා බෝරාවරු සමග වෛර බැඳගන්නේ ලංකාව තුළ සිටිනවානම් සහරාන් අනුගමනය කරන සුන්නි මුස්ලිම්වරුන්ය. ඒ ඔවුන්ගේ ෂියා මුස්ලිම්වරු පිළිබඳ පවතින පාරම්පරික බද්ධ වෛරයයි. දෙවැන්න සහරාන්ලාගේ ප්‍රධාන අරමුණ වන ශ්‍රී ලංකාව අරාජික කර ඒ හරහා ඔවුන්ගේ ආගම්වාදී අරමුණු ඉටුකර ගැනීමට මේ සමුළුව බාධාවක් වන හෙයිනි. මේ සමුළුවෙන් වන්නේ රට ස්ථාවර වීමට සුළු හෝ සහායක් ලැබීමය.

බෝරා සහ දේශපාලනය

බෝරා සමුළුව සම්බන්ධයෙන් මුහුණුපොතේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ සාමාජිකයන් අතර පැවැති ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස හුවමාරුවූ, පෝස්ට් අතර මෙයද දක්නට ලැබිණි. මුලින් කිව යුත්තේ මෙම සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන නායකයන් නිහඬව සිටීම අගය කළ යුතු බවය. ඔවුන් නිහඬව සිටියේ මේ සමුළුව රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන බව හා එයින් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයෙන් විය යුතුය. වි​ශේෂයෙන් සිංහල හා බෞද්ධ බලවේග වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින දේශපාලන නායකයන්ද නිශ්ශබ්දව සිටීම ප්‍රශංසා කටයුතුය. එහෙත් පහළ මට්ටමේ ඇතැම් මන්දඅවබෝධිත දේශපාලන සාමාජිකයන් අනවශ්‍ය ප්‍රශ්න මතුකිරීමට උත්සාහ ගනු පෙනුණි. ඇතැම් දේශපාලන පක්ෂවල නමින් යුත් සමාජ ජාලාවල මේ ​වෛරය හා අනවබෝධය පතුරුවන පෝස්ට් ප්‍රචාරය කිරීම ඉතා කනගාටුදායකය. මේ පිළිබඳව දේශපාලන පක්ෂ හා නායකයන් අවධානය යොමු කර තමන්ගේ සමාජ ජාලාවල මෝඩ වර්ගවාදය පැතිරවීම වළක්වාලිය යුතුය.

ශ්‍රී ලංකාවේ බෝරාවරු අප රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ එක් දෙයක් මා මෙහිදී මතක් කළ යුතුය. මේ දෙය ඇතැම් විට ජන මාධ්‍යයක පළවෙන්නේ මුල්වරට විය හැකිය. ඊළාම් යුද්ධය අවසාන සමයේදී අප රට පිළිබඳව ලෝකයේ සෙසු රටවලවල පැතිර තිබුණේ හොඳ ආකල්ප නොවේ. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ බෝරාවරු රැස්වී ලෝකයේ ජීවත්වන සිය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ඒ තම තමන් ජීවත්වන රටවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කිරීමට ක්‍රියාකරන ලෙසය. මෙය සිදුකරන්නේ කෙසේදැයි මම ලංකාවේ බෝරා ප්‍රජාවගේ වගකිව යුත්තෙකුගෙන් ඒ දිනවලදී විමසුවෙමි.

ලංකාවේ වගේ තමයි ලෝකයේ අනිත් රටවලත් අපි පුංචිම පුංචි ප්‍රජාවක්. හැබැයි හැම රටකම අපේ අය ලොකු බිස්නස් කරනවා. අපි බිස්නස්කාරයෝ විදිහට ලංකාවේදී වගේම ලෝකයේ අනිත් රටවලත් ආශ්‍රය කරන්නේ ඒ රටවල ඉහළම දේශපාලනඥයෝ ඉහළම බිස්නස්කාරයෝ වගේ අය. ඉතින් අපට ඒ රටවලත් හොඳ බලපෑම් ශක්තියක් තියෙනවා. අපේ අයට පුළුවන් ඒ ඒ රටවල වගකිවයුත්තන්ට ශ්‍රී ලංකාව ගැන කතා කරන්න. ඔහු පිළිතුරු දුන්නේය.

එපමණක් නොව මා දන්නා තරමින් ඔවුන් යුද සමයේදී විවිධ ආකාරයෙන් ප්‍රජාවක් ලෙස සහය දී තිබේ.
සුනාමියට වසරක් පිරුණු අවස්ථාවේදී මා ලැබූ අත්දැකීමක් අවසන් වශයෙන් සඳහන් කළ යුතුය. එකල මා සේවය කළේ ලක්බිම පුවත්පතේය. කොළඹ ජනතාව සුනාමිය සමරන ආකාරය පිළිබඳව ලිපියක් සකස් කිරීම මට පැවැරුණේය. ඒ සඳහා සංවත්සරය දා හවස් වරුවේ මම කොළඹ නිදහස් චතුරශ්‍රයට ගොස් වෙන්නේ මොනවාදැයි බලා සිටියෙමි. යන්තම් ඇඳිරි වැටෙද්දී බෝරා ජාතික තරුණ යුවළක් දරුවන් දෙදෙනකුද සමග පැමිණ මුලින්ම පහන් පත්තු කළේ මා විස්මයට පත් කරමිනි. රෑ බෝ වෙද්දී එහි පහන් පත්තු කළ පිරිස අතරින් හඳුනාගත හැකි සාතිශ්‍ය බහුතරයක් වූයේ බෝරා ජාතිකයන්ය.

මා කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත ප්‍රදේශවල රාත්‍රියේ ගමන් කළෙමි. ඒ තැන් තැන්වලද බෝරාවරු කුඩා සමූහ ලෙස එක්ව පහන් පත්තු කරනු දැකිය හැකි විය. එසේම අද විවේචනයට ලක්වන බම්බලපිටිය බෝරා පල්ලිය අසලද සුනාමියෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සැමරීම සඳහා පහන් ආලෝකයෙන් ආලෝකමත් කර තිබිණි.

නුවන් ගන්කන්ද