කතුවැකි

​ඩයනාගේ කටේ මසුරං දාමුද?

ඩොලර් මිලියන 1628 ක අයවැය හිඟය පියවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ආරම්භ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු විවාදයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය. එසේ නොගියහොත් ඉදිරියේදී කන්නවත් නැතිවන බව විපක්ෂය එහිදී කෑගසා කීවේය. එයට උත්තර දුන් වාසුදේව නානායක්කාර කීවේ අයි.එම්.එෆ්. එක අපිව කෑමට එනතුරු බලා ඉන්නා බවය. අයි.එම්.එෆ්. එකට යාම අලුත් වැඩක් නොව හම්ගැහුණු වැඩක් බව ආණ්ඩුවේ අදහස විය. අයවැය හිඟය පියවා ගැනීම ගැන කවදත් ඇහෙන හං ගැහුණු කතා අතරේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය අලුත් අදහසක් පළ කළාය. එය අලුත්ම අලුත් නොවුණත් ගැහැනියක් නිර්භීතව කී අලුත් අදහසක් ගණයට දමාගත හැකිය.

‘‘අයි.එම්.එෆ්. යන්න ඕනෙත් නෑ. ණය ඉල්ලගෙන රටවල් ගානේ යන්න ඕනෙත් නෑ. මේ රටේ ස්වභාවිකව හැදෙන කංසා පිටරට යවමු. මත්ද්‍රව්‍යයක් හැටියට වර්ග කරලා තියෙන නිසා කංසාවලින් හදන දත් බුරුසු, දත් බෙහෙත් මම මෙතන පෙන්වන්නේ නෑ.’’

සැබැවින්ම කංසා වවා රට යැවිය යුතුය යන අදහස කංසා පැළයක් මෙන් කලෙක සිට මේ රටේ වැඩෙන්නෙකි. එය ප්‍රසිද්ධියේ වවන්නේ නැත. වවන්නේ වෙනත් ශාක අතරේ තබාගෙන රහසේය.

අප නොකළත් ප්‍රසිද්ධියේ කංසා වවන, ඒවා අලෙවි කරන රටවල් හෝ ප්‍රාන්ත බොහෝය. නෙදර්ලන්තය කංසා කප්පිත්තා වන අතර ඊශ්‍රායලයේ කංසා සමුළුවක්ද වාර්ෂිකව පවත්වයි. ඒ රටවල්ද කංසා භාර ගන්නේ මත්ද්‍රව්‍යයක් වශයෙනි. එහෙත් මත්ද්‍රව්‍ය වර්ග කිරීමක් ඇතුව කටයුතු කිරීම සිරිතය. ඒ අනුව A කාණ්ඩයට හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ඇතුළත් වන අතර B කාණ්ඩයට කොකේන් වැනි දෑද, C කාණ්ඩයට කංසාද, එම රටවල් ඇතුළත් කර තිබේ. ඒ අනුවA B කාණ්ඩවල මත්ද්‍රව්‍ය ළඟ තිබීම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම් ලැබෙන වරදක් වුවත් C කාණ්ඩයට කරනුයේ අවවාද දීම පමණය.

එහෙත් ලංකාවේ තත්ත්වය මීට වෙනස්ය. හෙරොයින්, අයිස් තරම් බලවත් නොවූවත් කංසා වැවීමද, ඉරීමද දඬුවම් ලැබිය හැකි අපරාධයකි. කංසා හේන් සොයා ගොස් ගිනි තැබීම, ලංකා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ වික්‍රමාන්විත ක්‍රියාවකි. දැන් ඩ්‍රෝන කැමරා උඩින් කැලයට යවා පින්තූර ගන්නා බැවින් පොලිසියට කංසා හේන් සොයා කැලෑ පීරන්නට ඕනෑ වෙන්නේ නැත. එබැවින්ම තණමල්විල, වැල්ලවාය, හම්බෙගමුව, ඇඹිලිපිටිය, සියඹලාණ්ඩුව ආදී ප්‍රදේශවල කංසා හේන් වැවීම දැන් ඉතා අපහසු කාරියක් වී තිබේ.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය ගංජා හේන් ගිනි ලෑවත් මෙරටට ගංජාවලින් නම් අඩුවක් කොයින්ද?

හැම සතියකටම දෙකකටම වතාවක් මිලියන ගණනක කේරළ ගංජා අසු වෙන්නේය. වසරකට තලෙයිමන්නාරමෙන්, බේරුවලින් ලංකා පොළොවට ගෙනත් අලෙවි වන කංසා ප්‍රමාණයේ වටිනාකම මිලියන 3000 ක් ඉක්මවා යන බව පෙනේ. ඉන්දියාවේ කේරළයෙන් ධීවරයන් ගෙනෙන කේරළ ගංජා නිස්සාරණය කෙරුණ හෙවත් ගංජා පැළෑටියේ තෙල් මිරිකා ඉවත් කළ රොඩ්ඩය. ඒ ගංජා තෙල් මැද පෙරදිගට වැඩි මිලට යවනු ලබයි. කේරළේ සහ ගෝවේ සංචාරක ආකර්ෂණයේ රහස ගංජාය. ඒ රොඩ්ඩ ලංකාවට ගෙනැවිත් ඊට මදුරු නාශක, කෘමිනාශක කළවං කර කට්ටයක් රුපියල් 500 ට විකිණීම ජාවාරමුන්ගේ සිරිතය. ස්වදේශිකයාට රුපියල් 500 ට විකුණන කට්ටයක් විදේශිකයාට විකුණන්නේ රුපියල් 3000කටය. මිරිස්ස, උණවටුන ආදී සංචාරක කලාපවලින් වසරකට අහසට නගින ගංජා දුම ගංජා හේනක් ගිනි තැබීමෙන් නගින දුමට වඩා වැඩිය. සියඹලාණ්ඩුවේ හේන්වල උපදින අපේ විදේශ විනිමය කන්දට ගිනි දාන අපි ලංකා රුපියල කේරළ ගංජා හරහා කේරළයට යැවීම ගංජා ප්‍රතිපත්තිය නිසාම සිදු වන්නකි. එම නිසාම දැන් ගංජා ගැන මතවාදය වෙනස් වෙමින් යයි. ඒ මතවාද අතරේ ගංජා උත්කර්ෂයට ලක් කෙරෙන කතාද බොහෝය.

ලංකාවේ සිංහල තරුණයෝ සුද්දන්ට එරෙහිව දරුණු ලෙස සටන් කළේ කංසා බී මත් වී ලද සවි ශක්තිය නිසා බැවින් සුද්දෝ කංසා තහනම් කළ බව වියත්තු කියති. කංසා තහනම් කෙරුණේ 1818 කැරැල්ලේ හෝ 1848 කැරැල්ලේ ප්‍රතිඵලයක් නිසා නොවේ. කංසා තහනම ක්‍රියාවට නැගුණේ 1860 ගණන්වල ලංකාවේ රේන්ද ව්‍යාපාරයේ නැගීම සමගය. හේන්වල වැවෙන කංසා උරන සිංහලයා අරක්කු බීම මග හැරීමෙන් බ්‍රිතාන්‍යය රජයට බදු මුදල් අහිමි වීම කංසා තහනමට සැබෑ හේතුව විය. පරංගියා හඳුන්වා දුන් දා සිට පහත රට ගමේ පෙරෙන හැළි අරක්කුද තහනම් කෙරුණේ රේන්දවලින් ලැබෙන බදු ආදායම සීමා වීම නිසාමය.

වටිනාම කංසා හදන්නේ කංසා ගහේ මල්වලිනි. එහෙත් හොර රහසේ වවන පැළෑටියක් බැවින් ලංකාවේ වියළි කලාපයේ වැවෙන කංසාවල මල් හිඟය. විදේශවලට අලෙවි කිරීමට නම් කංසා උද්භිද විද්‍යාත්මකව පර් යේෂණ කර ගහ පුරා මල්උපද්දවන පැළෑටියක් බවට පත් කර ගත යුතුය. එසේ කිරීමට නොහැකි වී ඇත්තේ කංසා ගැන ප්‍රතිපත්තිය නිසාය. මත්පැන්, දුම්වැටි ආනයනය කරන, කෘෂි රසායන ගෙන්වන රජයක් මේ ගැන සලකා බැලීමේ වරදක් නැත.