විශේෂාංග

​කොළඹ කුණු සුදු වෑන් වලින් උස්සයි

නුගේගොඩ ජීවත් වන පුද්ගලයකු ගිය සතියේ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබුණි. ඊට හේතු වූයේ ප්‍ර‍දේශවාසීන් පොලිසියට කළ පැමිණිල්ලකි. ඔහුට එරෙහි චෝදනාව වූයේ තම සුනඛයා මහ පා​රේ හා අසල්වැසි නිවසක මල් පාත්තියකට මලමූත්‍රා කිරීමට සැලැස්වීමය.

සිය සුනඛයා ප්‍රසිද්ධ ස්ථානවලට රැගෙන ගොස් මල මූත්‍රා කිරීමට සැලැස්වීම නතර කරන ලෙස ඔහුට කීවත් එය තඹ දොයිතුවකටත් ගණන් ගෙන තිබුණේ නැත.

ඒ නිසා පොලිසියට සිදු වූයේ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටය. සුනඛයාව නිසි පරිදි හසුරුවනු නොලැබීමේ චෝදනාවට සැකකරුවකු වූ ඔහු උසාවියෙන් ඇප මත මුදා හැරුණේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් තැබීමෙන් පසුවය. මේ පුද්ගලයා සේම ලංකාවේ බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ මහ පාර තමන්ට කැත කුණු දමන්නට වෙන් කර ඇති බූදලයක් ලෙසය. මෙසේ හිතන නගරවැසියන් නිසා ලංකාවේ බොහෝ නගරවල වසර හතරක කාලයක් තුළ කැළිකසළවලින් පිරී ගියේය. පදික වේදිකාවක යාමට බැරිය. කොළඹ හතේ නෝනා හාමුලාගේ ගෙවල්වල සිටින බල්ලන්ගේ මල පහය.

නෝනා හාමුලා උදේ හවසට බල්ලන් සමග වෝකින් යන්නේ පදික වේදිකා බල්ලන්ගේ වැසිකිළි යනුවෙන් සිතාය. එහෙත් මීට වසර හතරකට පෙර ලංකාවේ වාණිජ අගනගරය වූ කොළඹ වැසියන්ගේ නාස්පුඩුවලට දැනුණේ ඉන්දීය සයුරු දියවරෙන් හමා එන ලුණු මිශ්‍ර සුළඟේ සුවඳ පමණි. එදා මුහුණට මුහුණ හමුවන අය සමග පවා කතා කිරීමට කාලයක් නොමැති කාර්යබහුල නගරවාසීන්ට සැනසීම වූයේද මේ හුස්ම පොදය. එමෙන්ම මේ ගස්මල්වලින් බර දැකුම්කලු පරිසරයයි. ඒත් එකවර ගලා ආ සුනාමියක් මෙන් කොළඹ ලස්සන සෝදාපාළු වී ගියේ වසර ගණනක මහන්සියද අපතේ යවමින්ය.

කෙසේ වෙතත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි එකල ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ එදා කළ කාර්යභාර නිසාම කොළඹ නගරය ඉන්න හිතෙන තැනක් විය. අද ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ ඔහු 2015 ජනවාරි අටවැනිදා අවසන් කළ තැනින්ම මෙදා ඒ වැඩ කටයුතු ආරම්භ කළේ නැවතත් කොළඹ නගරය ඉන්න හිතෙන තැනක් කිරීමේ අරමුණෙනි. ජනපති ධුරයේ දිව්රුම් දුන් ඔහු ගිය සති අන්තයේ පන්නිපිටිය රුක්මලේ බලා ගියේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමිපාණන් බැහැදකින්නටය.

ඒ යන අතරමගදී මහරගම නගරයේ කුණු කඳු ගොඩ ගසා ඇති අයුරු දුටු ඔහු ඒ මොහොතේම දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු නිලධාරීන්ට නියෝග කළේ මින් පසු පාරේ කුණු තිබෙන්නට බැරි බවය. එම කාර්යභාරය භාරදී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවටය. ඔවුන් ඉකුත් සඳුදාවේ මේ වෙනුවෙන් පළමු පියවර තබන්නට සිතුවේත් ර​ටේ ජනතාවට ආදර්ශයක් වීමේ අරමුණෙනි. ඒ සඳහා පොලිස් නිලධාරීන් හාරසියයකගෙන් යුතු පොලිස් බළ ඇණියක් සහභාගි වී තිබුණි. මෙම කණ්ඩායමට පොලිස් ක්‍රීඩා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එකතු වී තිබුණි. ඔවුන්ව කාණ්ඩ එකොළහකට බෙදා කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත වෙරළ තීරය දක්වාම පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරත විය.

නමුත් එදා යුද හමුදාව කොළඹ නගරය ලස්සන නුවරක් කරද්දී එය වැළැක්වීමට කඩාකප්පල්කාරීන් විසින් එල්ල කරනු ලැබූ ගල් මුල් හා මඩ ප්‍රහාරය මෙදා එල්ල වී ඇත්තේ පොලිසිය දෙසටය. අද ඔවුන් මහජන ආරක්ෂාව පැත්තකින් තබා නගර සභාවේ කාර්යය කරනවා යැයි බොහෝ දෙනා චෝදනා එල්ල කරමින් සිටින්නේ එබැවිණි.

ඒත් බොහෝ දෙනා දන්නා ඒත් නොදන්නා සේ සිටිනා කතාවක් තිබේ. එනම්, නගර පවිත්‍ර කිරීම අධීක්ෂණය කිරීම පැවරී ඇත්තේ පොලිසිය යටතේ ඇති පරිසර ආරක්ෂණ කොට්ඨාසය වෙත බවය. එමෙන්ම ඔවුන්ට ඇති රාජකාරිය වන්නේත් කොළඹ නගරය පමණක් නොව රටේ හැමතැනක්ම පිරිසිදුව තබා ගැනීමය. ඔවුන්ගේ මේ ක්‍රියාන්විතය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ ‘‘පරිසරය සුරැකීමේ මෙහෙයුම ආරම්භ වීම’’ යනුවෙනි.

‘‘ජනාධිපතිතුමාගේ සංකල්පයක් තමයි සුරක්ෂිත රටක් කියන්නේ. ඒක විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම තෝර ගත්තේ සුරක්ෂිත රටක් බිහි කිරීමට නම් අපි ජීවත් වන පරිසරය සුරක්ෂිත කරලා ඉන්න ඕනේ. අනික අපි ජීවත් වන පරිසරය සුරක්ෂිත නැත්තම් හැමතැනම කැළිකසළ පිරිලා නම්, මැසි මදුරුවෝ බෝවෙලා නම්, ඒ නිසා මහජනතාව ලෙඩ වෙනවා නම් ඒ වගේම හැම තැනම අවලස්සන නම් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සුරක්ෂිත රටක් බිහි කරන්න නම් අපි කල්පනා කළා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් අංගයක් කියලා.’’
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව මින්මතුවට මහ දවාලේ කොළඹ නගරයේ කුණු ඉවත් කිරීම නතර කර තිබේ. අලුයම 5.30 වනවිට කුණු ඉවත් කිරීමට මුලින් තීරණය කෙරිණි. එනමුත් නගරවැසියන්ගේ ප්‍රායෝගික ප්‍රශ්න හේතුවෙන් එය පසුව උදේ 6.30 දක්වා වෙනස් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ උදේ 6.30 වන විට ඔබේ නිවස අසලට කුණු රැගෙන යාමට නගර සභාවේ කසළ ප්‍රවාහන රථය පැමිණෙනු ඇත. මිනිසුන් ඉස්සීමට සුදු වෑන් එතැයි නගරවාසීන් බිය කළවුන්ට දැන් කදිම උත්තරයක් ලැබී තිබේ. දැන් එන්නේ කුණු උස්සන්නට නගර සභාවේ වාහනය’ මේ නගර පිරිසුදු කිරීමේ ක්‍රියාදාමය දිගටම ගියොත් කුණු ගෙනියන්නට සුදු වෑන් වලින් ආවද වරදක් නැත. තවමත් අපේ රටේ බීපු වතුර බෝතල් වාහනයෙන් එළියට විසි කරන මිනිසුන් ඕනෑතරම් සිටිති. එවැනි පුද්ගලයන්ට ගත හැකි ක්‍රියාමාර්ගයන් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‘‘පරිසරය ආරක්ෂා කිරීමට නීතිරීති රැසක් තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, ඉඩම් ගොඩ කිරීමේ පනත, ජාතික මං මාවත් පනත, පොලිස් ආඥා පනත, වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත, ගොවිජන සංවර්ධන පනත වගේම මහ නගර සභා ආඥාපනත වැනි අණ පනත් රාශියක්ම තියෙනවා. මේ අණ පනත්වලට අනුව ජල පෝෂක ප්‍රදේශයකට කැළිකසළ දැමීම හෝ අපවිත්‍ර ජලය ගලා යාමට කවුරුන් හෝ උත්සාහ කළොත් ඔවුන්ව අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා ලක්ෂ පහක දඩයක් ගහන්නත් පුළුවන්. ඒත් අපි හිතන්නේ දඩ ගහන්න, නඩු දාන්න යනවට වඩා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න.’’

ඒ වගේම අපල යැයි කියා තැන තැන බලු කපුටු දාන, පෙරේත ගොටු පාරේ දමනවා නම් දැමූ සේම ඒවා රැගෙන යාමටත් සිදුවනු ඇත. එයට හේතුව වන්නේ බලු කපුටු දාන කියා දෙන දානය හංදියක් හංදියක් ගානේ පාරක් පාරක් ගානේ කිසිදු වගවිභාගයකින් තොරව දමා යෑමය. එසේ කිරීමෙන් සිදුවන්නේ ඔවුන් කෑම දමා ගිය තැනට තවත් අයෙක් පැමිණ කැළිකසළ දැමීමය. එයින් නොනැවතී අවසානයේ එම ස්ථානයත් කුණු ගොඩක් බවට පත්වීමය. මේ නිසා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ බලු කපුටු දානයක් දුන්නේ නම් එය අවසන් වූ පසුව අඩුම කුඩුම දානය දුන් පුද්ගලයාම ඉවත් කර ගත යුතු බවය.

එමෙන්ම නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අලවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන ලෙසත් දැනුම් දී තිබුණි. මෙය ක්‍රියාත්මක කරන ආකාරය පසුගිය දිනවලදී නම් පාරතොටේ ගමන් ගන්නා මහජනතාවට තම දෑසින්ම දැක ගැනීමට හැකියාව ලැබුණි. එපමණක් නොව සුරක්ෂිත පරිසරයක් යන සංකල්පය නිසාම දැන් මුළු ලංකාවම වෙනස් වෙමින් පවතී. එනම්,

කොල්ලුපිටියෙන් ආරම්භ කළ සුරක්ෂිත පරිසරයක් නම් මෙහෙයුම අද වන විට ලංකාවේ හතර දිග්භාගය පුරාම පැතිරෙමින් පවතී. සියල්ලන්ම තමන්ගේ ගම, නගරය පිරිසිදුව පිළිවෙළට තබා ගැනීමට ගන්නා මේ උත්සාහය අප සියල්ලන්ම අගය කළ යුතුය. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියත් මේ කටයුත්තට සම්බන්ධ වී ඇත්තේය.

එහිදී ඔවුන්ගේ මේ පරිසර ආරක්ෂණ කටයුතු සඳහා ධීවරයන්ගේ ද නොමඳ සහායක් ලැබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසා තිබුණි. මෑතක් වන තුරුම ධීවරයන් මුහුදු ගමන්වලදී භාවිතයට ගන්නා පානීය ජල බෝතල් නැවතත් ඔවුන් ගොඩ බිමට එන විට ගෙන එන්නේ නැත. එමෙන්ම බොහෝ බහුදින යාත්‍රාවල ගෙන යනු ලබන්නේ ලීටරයේ පානීය ජල බෝතල්ය. වරකට එසේ ගෙන යන බෝතල් ප්‍රමාණය හාරසියයක් හෝ පන්සියයක් පමණ වේ. මේ සියලුම බෝතල් ගොඩ බිමට රැගෙන එන්නේ නැතිව සියල්ල මහ මුහුදට හෙළන බව ප්‍රසිද්ධ කරුණකි.

මේ නිසාම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සමුද්‍ර දූෂණය වළක්වා ගැනීමට අලුත් ක්‍රියාමාර්ගයන් ගෙන තිබේ. එහිදී ධීවරයන් විසින් මුහුදු ගමනට රැගෙන යන පානීය ජල බෝතල් නැවත රැගෙන එනවාද නැද්ද සොයා බැලීම ඔවුන්ගේ ප්‍රමුඛතම කටයුත්තකි. එය මේ දිනවල නොකඩවා සිදුවන කටයුත්තක් බවත් මේ සඳහා සියලු ධීවරයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙන බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසා තිබුණි.

හර්ෂණී දිසානායක