විශේෂාංග

​කොරෝනාවෙන් කොළඹ අය වැඩියෙන් මැරෙන්නේ ඇයි?

මිනුවන්ගොඩින් ඇරඹි හතර වටේ රවුම් ගැසූ කොරෝනා දැන් නතර වී සිටින්නේ කොළඹ මහ නගර සභා සීමාවේය. කොළඹ එකේ සිට පහළොව දක්වා බෙදා ඇති නගරයේ කොරෝනා නැති ප්‍රදේශයක් නැති තරම්ය. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේ කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දැමීය යුතුබවයි. එසේ කිරීමට හේතුව ලෙස ඈ කීවේ, කොළඹ නගර සභා බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් කොවිඩ් නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළ යාමත් සැලකිල්ලට ගෙනය. ගිය සිකුරාදා වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදතයන් සංඛ්‍යාව පන්දහස් අටසිය අසූ නමයකි. එයින් කොළඹ නගර සභා සීමාවේ පමණක් කොවිඩ් ආසාදනය වුවන් හාරදහස් හයසීය හතරකි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් සියයට හැත්තෑ අටකට ආසන්නය.
ගිය සිකුරාදා වන විට ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හැට නමයකි. එයින් තිස් දෙනෙක් ජීවත් වී ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවේය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්විට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් සියයට හතළිස් හතරකට ආසන්න සංඛ්‍යාවකි. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ කොළඹ නගර සභා සීමාවේදී මියගිය සියලුදෙනාම වයස්ගත පුද්ගලයන් වීමයි. ඇතැම් දිනවල කොළඹ කොරෝනා රෝගීන් මැරෙන්නේ එක්කෙනා දෙන්නා නොව පස්දෙනා ගානේය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 වසරේ දත්තවලට අනුව ලංකාවේ වයස අවුරුදු හැට පහට වැඩි වයස්ගත ජනගහනය දාසය ලක්ෂ දෙදාස් හයසිය හැට තුනකි. එයින් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දෙලක්ෂ පන්දහස් හාරසිය හැට තුනක වැඩිහිටි ජනගහනයක් ජීවත් වෙති. එය ප්‍රතිශතයක් ලෙස සියයට දහතුනකි. එයිනුත් වැඩිම වැඩිහිටි ජනගහනයක් සිටින්නේ කොළඹ මහා නගර සභා සීමාවේ බව පුරපතිනිය කීවාය. ඒ නිසාම රජයෙන් ඉල්ලා සිටියේ කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වන වයස්ගත පුද්ගලයන් බේරා ගැනීමට නම් කොළඹ නගර සභා සීමාව ලෝක්ඩවුන් කරන ලෙසයි.
කොළඹ වැඩියෙන් රෝගීන් හමුවන්නේ කොළඹ දහය, කොළඹ දහතුන, කොළඹ දොළහ, කොළඹ එකොළහ, කොළඹ දෙක, කොළඹ දාහතර, කොළඹ පහළොව යන ප්‍රදේශවලින් බවය. මෝදර, මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල්, කොටහේන, මාලිගාවත්ත, මරදාන, බොරැල්ල, කෙසෙල්වත්ත, කොම්පඤ්ඤ වීදිය, පිටකොටුව, කොටුව යන ප්‍රදේශ මීට අයත්ය. ඒ ප්‍රදේශ වල කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉහළ අගයක් ගත්තේය.
සාමාන්‍යයෙන් ඉහත කී ප්‍රදේශ බොහොමයක් උතුරු කොළඹ, මැද කොළඹ යන මැතිවරණ ආසනවලට අයත් වන්නේය. කලක් ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් ගණනක් ජීවත් වූයේ මැද කොළඹය. අදටත් එහි ඡන්ද දායකයන් ගණන එක්ලක්ෂ පනස්දහස පනින්නේය. උතුරු කොළඹද එක් ලකෂ හතලිස් දහසක පමණ ජනතාවක් සිටිති. මේ ප්‍රදේශවල බහුතරයක් ජීවත් වන්නේ පැල්පත්වාසීන්ය. ඔවුන්ගේ මූලික ජීවන උපාය මාර්ගය වන්නේ එදා වේල සොයා ගැනීමට කරන සුළු රැකියාවන්ය. ඒ අතර නාට්ටාමිවරුන්, කාණු පවිත්‍ර කරන්නන්, අපවහන පද්ධති පිරිසුදු කරන්නන්, පොල් කඩන්නන්, ත්‍රීවීල් රියැදුරන්, කොන්දොස්තරවරුන්, බස් රියැදුරන් වැනි රැකියාවන්වල නිරතවන්නන් වැඩි වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම, කොවිඩ් වයිරසයේ ආසාදිතයන් බවට වැඩි වශයෙන්ම තහවුරු වුයේද ඔවුන්මය.
කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි කීවේ, මෙම ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් පෑලියගොඩ මාළු වෙළෙඳපොළ සමග ඍජු සබඳතා පවත්වන අය බවයි. ඒ සබැඳියාව අද ඊයේ සිට නොව මීට දශක ගණනකට පෙර සිටම ඇතිවුවක් බවත් ඔහු කීවේය.
”සුදු අධිරාජ්‍යයන්ගේ කාලේදී තමයි ශාන්ත ජෝන් මාළු මාකට් එක කියලා මාළුවලටම ආවේණික වෙච්ච වෙළෙඳපොළක් පටන් ගත්තේ. ඒ කාලේදී මේකේ ව්‍යාපාර කටයුතු කරන අයගේ ඉඳලා සුළු සේවකයා දක්වාම වැඩට ගත්තේ කොළඹ කොටුව, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශවල අයයි. අද වෙනකොට මේ මාළු මාකට් එක පෑලියගොඩට අරන් ගියාට වෙනස් වුණේ තැන විතරයි. තාත්තලාගෙන් පුතාලට, පුතාලගෙන් එයාලගේ දරුවන්ට වගේ පරම්පරාවෙන් පරම්පරාවට ගිය නිසා තවමත් මේකේ වැඩ කරන්නේ අර කලින් කියපු තැන්වල ජීවත්වන කට්ටියයි.”
එසේ බලන විට පෑලියගොඩ පොකුරට සම්බඳතා තිබුණු කොළඹ වැසියන්ගෙන්ම කොළඹට කොවිඩ් එන්නට ඇති බව සෞඛ්‍ය අංශවල තක්සේරුවයි.
කෙසේ වෙතත් දිනකට වැඩි වශයෙන් සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයන් නිසා කොළඹ නගර සභා සීමාව තුළ සිටින ‘කොවිඩ් 19‘ වයිරසය ආසාදනය වුවන් සොයා ගැනීමට එය පහසුවක් විය. ඒ නිසා දිනකට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹින් වාර්තාවීම එහි සිටින ජනගහනය සමග සසඳා බලන විට පුදුමයක් නොවේ.
‘‘අපි මුලින්ම මතක් කරන්න ඕනේ අප්‍රේල් තිස් වැනිදා වෙනකොට ලංකාවේ තිබුණු පළවෙනි කොරෝනා රැල්ල ඉවර වෙලයි තිබුණේ. ඒ දවසේ ඉඳලා ඔක්තෝබර් විසි එක් වැනිදා වෙනකල්ම කොළඹින් එකම එක කොවිඩ් ආසාදිතයෙක්වත් වාර්තා වුණේ නැහැ. එත් අපි දවසකට පී.සී.ආර්. පරීක්ෂණ සීයක් ගානේ සිදුකළා. එත් කිසිදු ආසාදිතයෙක්වත් අපට හමුවුණේ නැහැ. ඊට පස්සේ, පෑලියගොඩ මාළු මාකට් එකෙන් කොවිඩ් ආසාදිතයන් හොයා ගත්තම අපි අයෙත් වැඩි වැඩියෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මොකද කොළඹ කොටුව, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල කියන තැන්වල පෑලියගොඩ මාළු මාකට් එකත් එක්ක සබඳතා තිබුණු අය වැඩි වැඩියෙන් හිටිය නිසා.”
අහඹු ලෙස සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ නිසා සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් කොවිඩ් 19‘ වයිරසයේ ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වූ බව වෛද්‍යවරයා කිවේය.
මෙසේ සොයා ගන්නා ලද ආසාදිතයන්ගෙන් සියයට අනුවකටම කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බව ඔහු වැඩිදුරටත් කිවේය.
කෙසේ නමුදු කොළඹ නාගරිකයන් දැන් මුහුණ පා සිටින ප්‍රශ්නය වන්නේ හිටිහැටියේ නිවෙස් තුළදී කොවිඩ්වලින් රෝගීන් මිය යාමය. ඔවුන් කොවිඩ් රෝගීන් බව ද හෙළිවන්නේ ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී වීම විශේෂත්වයකි. මේ බොහෝමයක් නිදන්ගත රෝගවලින් පෙළෙන්නෝ වෙති.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, ශ්වසන රෝග වැනි රෝග ඔවුන් අතර බහුලව පවතී. මෙවැනි රෝග ලක්ෂණයන් ඇති වයස්ගත පුද්ගලයකු සිටින නිවසට කොරෝනා වයිරසය ආසාදනය වුවෙක් හෝ ඔවුන්ගේ අශ්‍රිතයෙක් පැමිණියහොත් අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු එම වයස්ගත පුද්ගලයාට එය ආසාදනය වීමේ හැකියාව වැඩි බවත් වෛද්‍ය රුවන් විජයමුනි කීවේය.
‘‘ඇත්තටම මේ විදිහට මරණ සංඛ්‍යාව වැඩිවීම ගැන අපි පරීක්ෂණයක් පවත්වමින් තමයි ඉන්නේ. එත් අපිට කියන්න පුළුවන් මේකට මූලික හේතුව අපේ මිනිස්සුන්ගේ තියන නොසැලකිල්ල කියලා. අපි කියන දේවල් පැල්පත්වාසීන් තඹ සතයකටවත් ගණන් ගන්නේ නෑ. මෙයාලා වතුවල කට්ටිය නිසා අර පරණ පුරුද්දට ගෙවල්වලට ගිහිල්ලා ඒවායේ ඉන්න මිනිස්සුත් එක්ක කතා බහ කරලා, තේ බීලා තමයි එන්නේ. එහෙම එනවා නම් කමක් නැහැ ගෙදර මිනිසුන්ටත් කොරෝනා දීලයි එන්නේ. එතකොට ගෙදර ඉන්න ප්‍රතිශක්තිකරණය අඩුම පුද්ගලයට මේක ගිහිල්ලා ඒ මනුස්සයාත් මොකක් හරි ලෙඩක් තිබිලා ඒක උත්සන්න වෙලා මැරුණට පස්සේ තමයි දන්නේ එයාලට කොරෝනා කියලා. ”
මේ අතරේ සෞඛ්‍ය අංශ නිරීක්ෂණය කළ තවත් කාරණාවක් වන්නේ නිදන්ගත රෝග ඇති නගරවාසීන් වෙනදා මෙන් සායනවලට ගොස් නියමිත පරිදි ඖෂධ නොගන්නා බවය. ඊට එක් හේතුවක් වන්නේ මේ දිනවල රෝහල්වලට යාමට බොහෝ දෙනෙක් දක්වන බියය. එහෙත් සෞඛ්‍ය අංශ පවසන්නේ ඔබ නිදන්ගත රෝගයකට ඖෂධ ගන්නේ නම් එය නොනවත්වා ගන්නා ලෙසය. විශේෂයෙන් මේ දවස්වල වැස්සය, සීතලද වැඩිය. ඉදිරියට එන දෙසැම්බර් ජනවාරි කියන්නේ ශීත කාලයකි. ඒ කාලයට ලෙඩ වැඩිය. තම රෝගී තත්ත්වය උත්සන්න වන්නේ නම් වහාම රෝහල්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ නගර කේන්ද්‍ර කර හදිසි ගිලන් රථ සේවාවක්ද අරඹා ඇත.
මේ ආකාරයට කොළඹ වැසියන්ගේම නොසැලකිල්ල නිසා දිනෙන් දින කොළඹ නගරයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන්නේය. ඒ පිළිබඳව රජයට හෝ කොළඹ මහා නගර සභාව හෝ කිරීමට ඇත්තේ ඔබව ‘කෝවි 19‘ වයිරසයෙන් ආරක්ෂා වී සිටීමට උපදෙස් දීම පමණි. එසේ නොමැතිව ඔබව නිවසට කර තබා බලහත්කාරයෙන් නිරෝධායන කිරීමට නොහැකි බැවින් නිරෝධායන නීතින් සහ මාර්ගෝපදේශයන් නිසි පරිදි අනුගමනය කිරීමට වගබලා ගැනීමට කටයුතු කරන ලෙස කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

හර්ෂණී දිසානායක

ඡායාරූපය – ඒශාන් දසනායක