විශේෂාංග

ෆේස්බුක් සමාගම අප හැර යයි ද…?

අපේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා (28% ක් පමණ) වැඩි පිරිසකට ෆේස්බුක් ගිණුම් තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩුම තරමින් දවසකට පැයක් හමාරක් ගත කරන්නේ එහි ය. මිතුරු ඇසුරු පවත්වාගෙන යාමේ සිට, ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යාමටත්, දිනපතා රටේ තොටේ සිදුවන දේ දැනගැනීමටත්, දේශපාලන මතවාද ප්‍රචාරය කිරීමේ සිට යම් යම් අන්තවාදී මතවාද පැතිරවීමටත් බහුලව භාවිතා වන්නේ එයයි.

රට තුළ කුමක් හෝ ‘කලබැගෑනියක්’ වන විට ජනාධිපතිවරයා මුලින් ම ‘ෆේස්බුක්’ තහනම් කරන්නේ ඒ නිසා ය. ඒ ආකාරයෙන් මෙම වසර තුළ තුන් වතාවකුත්, පසුගිය අවුරුද්දේ එක් වතාවකුත්, අපේ රට තුළ ‘ෆේස්බුක්’ තහනම් කෙරුණි. ඒ නිසා වඩාත්ම අපහසුතාවට පත් වූයේ ‘නිල මට්ටමින්’ ෆේස්බුක් භාවිත කරන සංවිධාන සහ ව්‍යාපාර ය. මන්ද ඔවුන්ට පුද්ගලික මට්ටමින් ‘ෆේස්බුක්’ භාවිත කරන්නන් මෙන් ‘තහනම නොතකා’ වී.පී.එන්. හරහා සම්බන්ධවීමට නොහැකි වූ නිසා ය. එහෙයින් ‘ෆේස්බුක් තහනම’ නිසා ‘පරිප්පු කෑවේ’ අන්තවාදය හෝ ත්‍රස්තවාදය පතුරුවාහරින්නන් නොව කිසියම් නිෂ්පාදනයක්, සේවාවක් අලෙවි කරගන්නට සිටි නිෂ්පාදකයින් ය. ව්‍යවසායකයින් ය. තොරතුරු දැනුම්දීමේ මාධ්‍යමය ෆේස්බුක් පිටු පවත්වාගෙන ගිය කණ්ඩායම් ය.

එමෙන් ම කිසියම් මට්ටමක සාධනීය සමාජ මෙහෙවරක් කළ සිවිල් සංවිධාන ය.
2004 දී ආරම්භ කෙරුණු ෆේස්බුක් සමාජ ජාලය 2006 පමණ සිට ශ්‍රී ලාංකිකයින්ගේ ද ඇසුරට පත්වේ. එතැන් සිට එයට සම්බන්ධවන්නන්ට ඒ ඔස්සේ තමන්ගේ නිෂ්පාදනයක්, නිර්මාණයක් එකවර ම මේ රටේ මිලියන 6 කට පමණ ගෙන යා හැකි ව තිබිණි. කිසියම් තොරතුරක් පමණක් නොව කිසියම් දැනුමක් ද අසුරු සැණින්, මිලියන 6 කට පමණ එක වර මුදාහැරීමේ හැකියාවක් තිබිණි. එපමණක් ද නොවේ; ලංකාවේ සිටින එක් ග්‍රාහකයෙකුට තමන්ගේ පණිවිඩය ලොව පුරා මිලියන 2380 ක් වූ සමස්ත ෆේස්බුක් ග්‍රාහක පිරිසක් වෙත ද සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පසුබිම ද එමගින් නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් එදා මෙදාතුර කාලයේ පළමුවැනි වතාවට ශ්‍රී ලංකාව තුළ ‘ෆේස්බුක්’ සඳහා තහනමක් පැනවෙන්නේ 2018 මාර්තු මාසයේ දී ය. ඒ වන විට අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 91% ක් ම ‘ෆේස්බුක්’ භාවිතා කරන්නන් වූ අතර ක්‍රම ක්‍රමයෙන් 2018 වසර මැද වන විට එම සංඛ්‍යාව 86% දක්වා අඩු විය. ඉන් පසුව මේ අවුරුද්ද තුළ ද පිට පිට තුන් වතාවක් ම ‘ෆේස්බුක්’ තහනම් කෙරුණු බැවින්, එම අගය 73% දක්වා ම පහත වැටී තිබේ. 2018 – 2019 කාලය තුළ ‘ෆේස්බුක්’ හැර ගිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියනය (ලක්ෂ 10) ද ඉක්මවා ඇති බව ෆේස්බුක් දත්ත දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් වේ. මේ ආකාරයෙන් පසුගිය අවුරුද්ද තුළ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලය 20% කින් පමණ බිඳවැටී ඇති බව කිව හැකි ය.

මෙසේ ‘ෆේස්බුක්’ වෙතින් ගැලවෙන ශ්‍රී ලංකාවේ ග්‍රාහකයින්ගෙන් එක්තරා පිරිසක් මේ වන විට පින්ටරස්ට්, ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත ආකර්ෂණය වෙමින් සිටින අතර එය ව්‍යාපාර ගණනාවකට ම අයහපත් ලෙස බලපාන විශාල පරිමාණයේ ‘පාරිභෝගික කණ්ඩනයක්’ වේ. මේ අතර මිලියන දෙකක් තුනක් වූ ඇතැම් ශ්‍රී ලාංකික ෆේස්බුක් මාධ්‍ය පිටු වල ග්‍රාහකයින්ගේ සංඛ්‍යාව ද, ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අතර, එබැවින් එය ශ්‍රී ලංකාවේ ‘සමාජ මාධ්‍ය අවකාශය’ ද එකවර හකුළා දැමී තිබේ.

මේ අතර ‘ෆේස්බුක්’ හැර යන තවත් පිරිසක් වෙනත් කිසිදු සමාජ මාධ්‍යයක ජාලගත නොවීම ද තවත් සුවිශේෂී තත්වයක් වී තිබේ.

රාජ්‍ය සේවයේ නියුක්ත සමාජ මාධ්‍ය ඇසුරු කරන්නන්ගෙන් 97% ක් පමණ පාවිච්චි කරන්නේ ෆේස්බුක් වන අතර ඔවුන්ගෙන් 3/4 ක් ම ෆේස්බුක් සමාජ ජාලයට පිවිසෙන්නේ ‘රාජකාරි කාලයේ’ දී ය. බොහෝ විට ඒ ‘නොමිලේ ලැබෙන වයිෆයි පහසුකම නිසා’ ය.

පිරිමි රාජ්‍ය සේවකයෙකු සාමාන්‍යයෙන් සිය රාජකාරි කාලයෙන් පැයක් පමණ ගත කරන්නේ ‘ෆේස්බුක්’ එකේ ය. එමෙන් ම කාන්තා රාජ්‍ය සේවිකාවක ‘ෆේස්බුක්’ එකේ ‘පැයකුත් විනාඩි 10 ක්’ පමණ ගතකරයි. මේ දත්ත හෙළිදරව් කෙරුණේ, 2016 වසරේ ‘සමාජ සංඛ්‍යාන’ ජර්නලය විසින් ප්‍රකාශයට පත් කළ පර් යේෂණ පත්‍රිකාවක් මඟිනි. මේ හේතුවෙන් ඇතැම් රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන ද සිය කාර්යාලවල ෆේස්බුක් අවහිර කරන ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පටන්ගත්තේ ය. ඇතැම්විට ඒවා ද මේ රටේ ෆේස්බුක් පරිශීලකයින්ගේ ප්‍රමාණය පහත වැටීමට හේතු වන්නට ඇත.

කෙසේවෙතත් 2018 වසරේ මාර්තු මාසයේ සිදුවූ ‘දිගන ගැටුම’ හේතුකොටගෙන මුල්ම වතාවට ‘ෆේස්බුක්’ තහනම පැණවූ අවස්ථාවේ දී, ෆේස්බුක් නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණ, ආණ්ඩුවේ වගකිවයුත්තන් හමුවී ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙන් ම සංස්කෘතියට ද අනන්‍ය ෆේස්බුක් ප්‍රතිපත්තියක්’ සකස් කරන්නට උපදෙස් දුන්නේ ය.

ඔවුන් පැවසුවේ, ෆේස්බුක් තහනමට හේතුව, ඒ ඔස්සේ අන්තවාදී සහ ත්‍රස්තවාදී මත පතුරුවා හැරීම නම්, ‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අනන්‍ය ෆේස්බුක් ප්‍රතිපත්තියක්’ හරහා ඉතා පහසුවෙන් ම එහි සංසරණය වන ‘පෝස්ට්’ සහ ‘කමෙන්ටු’ කළමනාකරණය කළ හැකි වන බවයි. එවිට වරින් වර ‘තහනම් කිරීමට’ ද අවශ්‍ය නොවන බවයි.
ෆේස්බුක් සමාගම පවසන ආකාරයට, එවැනි අන්තවාදී ප්‍රකාශ, දැන්වීම්, වීඩියෝ ආදිය ස්වයංක්‍රියව අවහිර වන ක්‍රමවේදයක් සකස් කළ හැකි ය. සමහර රටවල් තම තමන්ට ‘අනන්‍ය ප්‍රතිපත්ති’ අනුව ෆේස්බුක් භාවිත කරන අතර, ෆේස්බුක් සමාගම ද ඒවා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ බෙහෙවින් මිත්‍රශීලී ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ෆේස්බුක් සමාගම එවැන්නක සූදානමින් සිටියත්, ලංකාව පැත්තෙන් ඒ සඳහා වූ ‘අනුග්‍රහය’ තවමත් ලබා දී නැත. කෙසේවෙතත් මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ සාමූහික වගකීම පැවරී තිබෙන්නේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ආරක්ෂණ අංශයට සහ විදුලි සංදේශ නියාමන කොමිසමට ය. එහෙත් එය වසරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර, අවුරුද්දක් තිස්සේ ‘ශ්‍රී ලංකාව සඳහා අනන්‍ය වූ ෆේස්බුක් ප්‍රතිපත්තිය’ තවමත් සකස්වී නැත.

මේ සම්බන්ධයෙන් අප මෙකී ආයතන සියල්ලටම ඇමතුව ද, ‘ශ්‍රී ලංකාවට අනන්‍ය ෆේස්බුක් ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය’ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කිසිදු පිළිතුරක් නොලැබුණි. ලැබුණු පිළිතුරු අනුව නිගමනය කළ හැක්කේ, ඔවුන් ද බලධාරීන් කියන කියන වේලාවට ෆේස්බුක් තහනම් කරනවා හැර, පෙර කියන ලද ‘ප්‍රතිපත්තිය’ සකස්කිරීම සම්බන්ධයෙන් සිතා බලාවත් නැති බව ය. සමහරවිට ජනාධිපතිවරයා පවසන පරිද්දෙන් ඔවුන් ද ‘ෆේස්බුක් භාවිත කරන්නන් කිසිදු උගත්කමක් නැතියවුන්’ සේ සලකනවා විය හැකි ය.

වාසනාවට නවසීලන්තයේ අගමැතිවරිය සහ එරට බලධාරීන් නවසීලන්තයේ ෆේස්බුක් ග්‍රාහකයින් ගැන එසේ සිතුවේ නැත.

ඔවුන්ගේ රටේ ‘ක්‍රයිස්ට්චර්ච්’ ප්‍රහාරය සිදුවූයේ අපේ රටේ සිදුවූ පාස්කු ප්‍රහාරයටත් කලිනි. එම ප්‍රහාරය සිදුවන ආකාරය ‘ෆේස්බුක්’ හරහා සජීවීව ප්‍රචාරය වී තිබුණු නමුත්, ප්‍රහාරයෙන් පසු කාලයේ දී එරට රජය ‘ෆේස්බුක්’ තහනම් කළේ නැත. ඒ වෙනුවට නවසීලන්තය සිය අගමැතිනිය මාර්ගයෙන් ‘ෆේස්බුක් සජීවී ප්‍රචාරණය’ වාරණය කළ හැකි ක්‍රමවේදයක් ‘ෆේස්බුක්’ වෙත යෝජනා කළේ ය. ‘ෆේස්බුක් සමාගම’ එය ඉතා කැමැත්තෙන් භාරගත්තා පමණක් නොව, ඒ අනුව යමින්, පසුගිය සතිය වන විට මුළු ලොවටම බලපාන පරිද්දෙන් ‘ෆේස්බුක් සජීවී ප්‍රචාරණය’ සම්බන්ධයෙන් සමාගමේ පොදු ප්‍රතිපත්තියක් ද සම්පාදනය කිරීමට ද පියවර ගත්තේ ය.

ෆේස්බුක් සමාගම මේ වන විට තමන් ව ස්ථිරව සහ තාවකාලිකව තහනම් කරන රටවල් 24 ක ලැයිස්තුවක් එළි දක්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ද එම රටවල් 24 න් එකක් බව දක්වා ඇත. එමෙන් ම තාවකාලිකව ෆේස්බුක් තහනම් කළ රටවල් අතරින් ‘හතර වතාවක් ම’ එය කර තිබෙන්නේ ‘ශ්‍රී ලංකාව’ පමණක් වීම ද විශේෂත්වයකි. තාවකාලිකව ෆේස්බුක් තහනම් කරන අනෙකුත් රටවල් අතරින්, පාකිස්තානය දෙවතාවකුත්, රුසියාව – සුඩානය – සිරියාව – ටජිකිස්ථානය – තායිලන්තය – මොරොක්කෝව – තුර්කිය වැනි රටවල් එක්වතාව බැගිනුත් ‘ෆේස්බුක්’ තහනම් කර ඇත.
මේ අතර ෆේස්බුක් සමාගම ‘සයිබර් ආරක්ෂණය’ සම්බන්ධයෙන් මෑතක දී අලුතින්ම 8000 ක් පමණ සේවයට බඳවාගෙන තිබෙන අතර ඔවුන් බඳවාගනිද්දී විවිධ රටවල විවිධ භාෂා දැනුම ඇති අයවළුන් ද ඊට එකතු කරගනු ලැබිය. ඒ ‘ඉංග්‍රීසි නොවන භාෂා’ වලින් වන ‘අන්තවාදී සහ වෛරී ප්‍රකාශන’ තේරුම්ගැනීම සඳහා ය.

ඒ අනුව එම පිරිසට ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ද අයත් විය. විශේෂයෙන් ම ඒ ‘සිංහල භාෂාවෙන්’ ෆේස්බුක් වෙත මුදාහරින ‘වෛරී සහ අන්තවාදී ප්‍රකාශන’ කියවා බලා තේරුම්ගැනීමට ය. ශ්‍රී ලංකාවෙන් බඳවාගත් මෙම පිරිස දැනටමත් ආසියානු කලාපයේ ෆේස්බුක් මධ්‍යස්ථාන දෙක වන ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ෆේස්බුක් සමාගමේ කලාප කාර්යයාලවලට අනුබද්ධව වැඩ කරයි. ඔවුනුත්, ෆේස්බුක් සමාගමත් තවමත් මග බලමින් සිටින්නේ, ‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අනන්‍ය ෆේස්බුක් ප්‍රතිපත්තිය’ නිල වශයෙන් ඔවුන් වෙත භාර දෙන තුරු ය.

වගකිවයුත්තන් ‘එම ප්‍රතිපත්තිය’ පිළියෙල කිරීම අවුරුදු ගණන් පමා කරද්දී, ජනාධිපතිවරයා විසින් නිරන්තරයෙන් ෆේස්බුක් තහනම් කරන ‘ශ්‍රී ලංකාව’ මේ වන විට ෆේස්බුක් සමාගමට ද ‘හිසරදයක්’ වී තිබේ. ඒ නිතර නිතර අකර්මණ්‍ය වන්නාවූ ද, ශීඝ්‍රයෙන් හැකිළෙමින් යන්නාවූ ද වෙළඳපොළකට සපයන සේවාව ආර්ථිකමය වශයෙන් පාඩුදායක වන බැවිනි. විශේෂයෙන් ම ආණ්ඩුව වරින් වර කරන තහනම් කිරීම් හමුවේ වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකිකයින් මිලියනයක් පමණ ‘ෆේස්බුක්’ හැරයාම සම්බන්ධයෙන් ද ‘ෆේස්බුක් සමාගමේ’ අවධානය යොමු වී ඇත.

ඇතැම්විට ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාව හැර යාමට ද ඉඩ ඇති බව තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පවසන්නේ මේ නිසාය.