පිනි පලස

ෆැලන් ඇන්ඩ්‍රියා හොඳටම ළංවෙන්නේ කාටද?

නවක ගායක, ගායිකාවන් අභිෂේක ගන්වන ගීත තරගාවලි යනු මෙරටට අලුත් අත්දැකීම් නොවේ. එය ‘මැලිබන් ගුවන් තොටිල්ල’, ‘පිබිදෙන ගායක පරපුර’ වැනි විශිෂ්ට අතීතයක් දක්වා දිව යයි. විශාරද එඩ්වඩ් ජයකොඩි මෙරට සංගීත ක්‍ෂේත්‍රයට දායාද වන්නේ එවැනි තරගයකිනි.

එතැන් සිට ගෙවී ගිය කාල වකවානුවේ ආධුනික ගායන තරගාවලි අතර නමක් දිනා ගත්තේ ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන ලද ‘තුරුණු ශක්ති’ වැඩ සටහනය. එහි ප්‍රථම ස්ථානය දිනාගත් ශෂිකා නිසංසලා යනු මෑත අවධියේ ආධුනික තරගාවලි අතර, අග්‍රස්ථානයකට පත් වන්නියකි. ශෂිකා නිසංසලා පැමිණි ජාතික ගමනක්, මෙරට පෞද්ගලික ටෙලිවිෂන් නාළිකා සංවිධානය කළ ‘රියලිටි’ තරගාවලින් ජයගන්නා ලද ආධුනික ගායක, ගායිකාවන්ට පැමිණීමට නොහැකි වීම, වෙනම සාකච්ඡා කළ යුත්තකි.

කලකට පෙර ජාතික රූපවාහිනිය ‘සප්ත ස්වර’ නමින් ආධුනික ගායනා තරගාවලියක් පවත්වන ලද අතර එයින් ජයගත්තේ අසංක ප්‍රියමන්ත පීරිස්ය. එවර විනිශ්චය මණ්ඩලයේ සිටියේ පණ්ඩිත් අමරදේව ප්‍රමුඛ අග්‍රගණ්‍යයන් කිහිප දෙනෙකි. නමුත් අසංක ප්‍රියමන්ත පීරිස්‌ගේ දක්ෂතා පසුකාලීනව ප්‍රසංග වේදිකාවලින් වැසී ගියේය.

මෙලෙස මෙරට වර්තමාන රියැලිටි ගායන තරගාවලි නියෝජනය කරන ආධුනික ගායක, ගායිකාවන් ජාතික ගායන තලයට එළැඹෙන විට ම ‘සුපිරි තරු’ බවට පත් කිරීම ම ඊට බාධාවක් වී තිබෙන බව පෙනේ. එහෙත් ශෂිකා නිසංසලා වැන්නියක් ජාතික තලයට අවතීර්ණ වූයේ, එතැන් සිට ජාතික මට්ටමේ ගමනක් යෑමේ අපේක්‍ෂාවෙන් සිහිනයක් හිස දරා සිටි නිසාය. එය පහසුවෙන් අවසන් කළ හැකි සිහිනයක් නොවේ.

මෙරට විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයේ රියැලිටි තරගාවලි අයාලේ යමින් තිබුණ සමයක ආරම්භ කරන ලද ‘දෙරණ – ඩ්‍රීම් ස්ටාර්’ තරගාවලිය ඊට වඩා වෙනස් චින්තනයකින් මෙහෙයවන ලද බව අද ප්‍රත්‍යක්‍ෂ වී තිබේ. එයින් ජයගන්නා ලද ආධුනික ගායක ගායිකාවන්, සමාජය තුළ නොහික්මුණු පිරිසක් ලෙස හැසිරෙන බවක් පෙනෙන්නට නැත. දෙරණ – ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ 9 වැනි අදියර අවසන් වූයේ පසුගිය සති අන්තයේය. එයින් ජයගන්නා ලද්දේ කලුතර, ෆැලන් ඇන්ඩ්‍රියාය.
ෆැලන් යනු දශක ගණනකට පසු අපේ රටට උරුම වුණු ශ්‍රී ලාංකිකත්වය ප්‍රකට කරන බටහිර පන්නයේ ගායිකාවකි. ඇයගේ ආර වඩාත් සමීප වන්නී 70 දශකයේ ප්‍රකට ව සිටි මිනෝන් රත්නම් ගායනවේදිනියට ය. ඇතැමුන් ඇය කොරින් අල්මේදා ගායිකාව ගේ ආරට සමීප කිරීමට වැර දරතත්, ෆැලන් යනු ඊට වඩා දියුණු ශක්‍යතාවක් තිබෙන ශ්‍යාමි ෆොන්සේකා, මරියසෙල් ගුණතිලක, චාන්දනී හෙට්ටිආරච්චි, මැණික් චන්ද්‍රිකා අතරින් ඉදිරියට එන්නියකි.

කොරීන් අල්මේදා යනු මෙරට එළිමහන් සංදර්ශන දෙවනත් කරන්නියකි. ෆැලන් එවන් තැනකට වැටිය යුතු නැත. ඇයට ඊට වඩා දීප්තිමත් අනාගතයක් තිබෙන බව පෙනී යයි.

මෙරට රියලිටි ගායන තරගාවලි සේවරි (savoury) රසයට ගොදුරු වුණු අවධියක ආරම්භ වූ දෙරණ-ඩ්‍රීම් ස්ටාර් මේ අවසන් තරගයත් සමග පරිපාකයට පත්වුණු බව මාගේ අදහසය. දෙරණ – ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ආරම්භ වූ වකවානුවේ දෙරණ – ටීවී ජ්‍යෙෂ්ඨ පිටපත් රචකයා ලෙස කටයුතු කරන ලද්දේ මා විසිනි. ඒ වන විට මා රියැලිටි වැඩසටහන්වලට එරෙහි ව විවිධ පුවත්පත්වලට ද විද්‍යුත් මාධ්‍යයේ ද අදහස් පළකර තිබිණි. ඒ නිසා දෙරණ  ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය සඳහා පිටපත් රචනා කිරීමෙන් වැළකී සිටින බව දෙරණ කළමනාකාරිත්වයට මම දන්වා සිටියෙමි. ඊට හේතුව ඒ වන විට පැවැති රියැලිටි වැඩසටහන් සම්ප්‍රදායයට මාගේ දැඩි විරෝධතාවක් තිබුණු නිසාය. අනෙක් අතට වෙනත් නාළිකාවල විකාශය කෙරුණු රියැලිටි වැඩසටහන් විවේචනය කරමින් සිට සමාජයට හොරෙන් තවත් රියැලිටි වැඩසටහනකට පිටපත් ලිවීම වරදක් බව මාගේ හෘද සාක්ෂියට දැනුණු නිසාය. මාගේ අදහසට සාවධානව සවන් දුන් දෙරණ කළමනාකාරිත්වය රියැලිටි වැඩසටහන් සඳහා වෙනත් පිටපත් රචකයකු අලුතෙන් බඳවා ගැනීමට තරම් ඉහළ මානුෂික වෘත්තීයභාවයක් පළ කළ බව දෙරණට ගෞරවයක් වශයෙන් මෙහිලා සටහන් කරමි. එවැනි උසස් වගකීම්සහගත හැසිරීමක් මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනවල ද නැත.

මේ අනුව මා එතෙක් මෙතෙක් වැඩසටහන්වලට එරෙහි වූයේ තාර්කික යථාර්ථයක් අනුවය ඒ පිළිබඳව මම ඇති පමණට අදහස් දක්වා ඇත්තෙමි. මේ විවිධ රියැලිටි වැඩසටහන් පසුබිමේ විවිධ දූෂණ ද ලිංගික හිරිහැර ද තිබුණු බව මම දනිමි. එය එක් හේතුවකි. එහෙත් දෙරණ ආයතනයම දූෂණවලින් සහ ලිංගික හිරිහැර අපවාදයෙන් තොර ටෙලිවිෂන් නාළිකාවක් බව කියනු මනාය. පසුගිය 15 වසර මුළුල්ලේ ම දෙරණට එවැනි ආකාරයේ චෝදනා අපවාද කිසිවක් එල්ල වී නැත. එය ගෞරවනීය සේවා පරිසරයක් සහිත ආයතනයකි.

රියැලිටි වැඩසටහන්වලට මා විරුද්ධ වූ අනෙක් හේතුව නම් රියැලිටි වැඩසටහන්වලින් සමාජයට එන තරගකරුවන් ගෙන් මෙරට ගීත ක්ෂේත්‍රයේ මහා කලා සම්ප්‍රදායට සිදු වූ දෙයක් නැතිවීම ය. බහුතරයක් තරගකරුවන් අවසන් තරගාවලියෙන් පසු හැසිරෙන්නේ උන්මත්තකයන් සේය. අනෙක් අතට ඔවුන් ගේ නිර්මාණ මෙරට සංගීත සහ ගීත ක්ෂේත්‍රයේ නූතනත්වය නියෝජනය කරන්නේ නැත. නූතනත්වය යනුවෙන් මා අදහස් කරන්නේ 70 දශකයෙන් පසු එළැඹෙන සම්ප්‍රදායය. එය කිසිවකු විසින් තත්ත්වාකාරයෙන් විචාරය කරනු ලැබ තිබෙන බවක් මා දැක නැත. මාගේ කියවීම තිබෙන්නේ භාෂාවට අදාළව ය.

එහෙත් කිසියම් රියැලිටි වැඩසටහනකින් රටට දායාද වන්නේ පසුගිය සති අන්තයේ දෙරණ-ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනින් බිහිවුණු ප්‍රවර්ගයේ ෆැලන් ඇන්ඩ්‍රියා, නුවන්ධිකා සේනාරත්න, ගිහාන් බණ්ඩාර වැනි නවක ගායක ගායිකාවන් නම්, ඊට විරෝධය දැක්වීමට අපට අයිතියක් නැත. ඔවුහු ශාස්ත්‍රීය අධ්‍යයනයෙන් අනූන වෙති.
එසේ ම ඔවුහු ක්ෂේත්‍රයේ මහා සම්ප්‍රදායට ගරු කිරීමට දන්නා නිහතමානී ගුණයෙන් ද යුක්ත වෙති. අවසන් තරගය මට වැදගත් වන්නේ ෆැලන් ඇන්ඩ්‍රියා නිසාය.

ඇය ගායන ශාස්ත්‍රයේ විධිමත් ගායන කුසලතාවෙන් පිරිපුන් ගායිකාවක වන අතරේ ම බටහිර ආරේ ගීත ගායනා කළ ද, සිංහල උච්චාරණයෙන් විශිෂ්ටත්වයක් පළ කරන බව සංගීතවේදී නදීක ගුරුගේ ප්‍රකාශ කළේ ය.

මේ සඳහා මට 70 යුගය උද්ධෘත කිරීමට සිදු වේ. 70 දශකයේ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘වින්ස්ලෝ සික්ස්’ සඳහා සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන විසින් ගීත දෙකක් නිර්මාණ කරන ලදී. ‘මුතුයවාගේ බබළනවා’ සහ ’රන්මොනරුන් රඟදෙනු දුටුවා’ යනු ඒ ගීත දෙකය. එහෙත් ගීත පුහුණුවේදී අදාළ ගායක කණ්ඩායම පළ කළ වැරැදි සිංහල උච්චාරණය නිසා ක්ලැරන්ස් විජේවර්ධන උක්ත ගීත දෙක ලබා දීම මුලින් ප්‍රතිකේෂ්ප කර තිබේ. සැබැවින්ම එය ඔවුන් ගේ වරදක් නොවේ. ඔවුන් ගේ පවුල් සංස්කෘතියේ වරදකින් සිදු වූවක් බව කිවමනාය. බටහිර පන්නයට හැඩගැසුණු ඔවුන්ට සිංහල උච්චාරණය කිරීමේ පුහුණුවක් ලැබී තිබුණේ නැත.

ඒ අනුව ‘වින්ස්ලෝ සික්ස්’ කණ්ඩායමට මාස 6ක් තිස්සේ නිවැරැදි සිංහලය උච්චාරණය කරමින් අදාළ ගීත දෙක පුහුණුවීමට සිදු වී තිබිණි. ‘වින්ස්ලෝ සික්ස්’ ගායක කණ්ඩායමට ගීත ගායනා කිරීමේ අවසරය සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන ලබා දී තිබුණේ එලෙස සිංහල උච්චාරණය යථා තත්ත්වයට පත් වූ
පසුව ය.

ෆැලන්ට මාගේ ගෞරවය හිමි වන්නේ මේ නිසාය. ඈ විසින් ගායනා කරන ලද ගීත ත්‍රිත්වය ම (’මල් පිබිදෙන එක වසන්ත සමයක’, ‘ඔබගෙ හද මාගේමයි’, ‘පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ’ හැත්තෑව ගායන සම්ප්‍රදායට අයත් ය. ඒ අතර නුවන්ධිකා සේනාරත්න විසින් ගායනා කරන ලද මුල් ගීත දෙක අයත් වූයේ 70 සම්ප්‍රදායට පෙර යුගයට ය. ගිහාන් බණ්ඩාර ගේ මුල් ගීත දෙක අයත් වූයේ නූතන අවධියට ය. ඔවුන් දෙදෙනා ගේ ම තුන්වැනි ගීත දෙක අයත් වූයේ නූතන අවධියට ය. එහෙත් ඒ ගීත දෙක කමකට නැත. මේ පූර්ව සැලසුමක් ද නැත්නම් අහම්බයක් දැයි නො දනිමි.

එසේ ම, තවත් වැදගත් කරුණක් නම් ගිහින් බණ්ඩාර ගේ ගීත (‘ආචාරියා රවටා’, ‘එක් වරක් දෙවරක්’) නිර්මාණකරණයෙන් නූතන වූවාට සන්දර්භයෙන් (Context) අයත් වන්නේ 50, 60 දශකවලට ය. එය නුවන්ධිකා සේනාරත්න ගේ (‘සිරිදැරු හෙළ බිම’ සහ ‘සුකොමල බඳ ලෙලවා’) ගීතවලට සමපාත ය.
නමුත් ෆැලන් ගේ ගීත ත්‍රිත්වය ම පශ්චාත් කොවිඩ් 19 නව සාමාන්‍යය – සමාජය ඉල්ලා සිටින ප්‍රහර්ෂය මැනවින් නිරූපිත ගීත බව පෙනේ. සමාජය අද ඉල්ලා සිටින්නේ එවැනි බලාපොරොත්තු සහගත ගීත (‘පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ’ ) රැල්ලකි. එය 71 කැරැල්ලෙන් පසු සමාජය ඉල්ලා සිටි ප්‍රහර්ෂයට බෙහෙවින් සමාන ය.

කෙසේ වෙතත් ෆැලන් ගේ ගීත අතර තිබුණු ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියාණන් විසින් ගී පද සහ සංගීත නිර්මාණ සිදු කරන ’මල් පිබිදෙන එක වසන්ත සමයක’ ගීතයත් අන්තර්ගත වූ නිසා සිංහල භාෂාවේ උච්චාරණයට වැඩි වගකීමක් තිබිණි. එය යථා පරිද්දෙන් ම ඈ ඉටු කළාය. ෆැලන් ගේ අරමුණ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රය බව ඈ වරක් කීවා ය. ඒ අර්ථයෙන් ගත් කල අශාන්ති සහ උමාරියා වැනි නූතන බටහිර පන්නයේ ගායිකාවන් ද අභිභවා සිටිින බව මාගේ පෞද්ගලික අදහස ය. ඊට හේතුව ෆැලන් ඇන්ඩ්‍රියා වැනි නමින් පෙනී සිටිය ද ඈ සැබැවින් ම ශ්‍රී ලාංකික කටහඬක් සහ උච්චාරණයක් සහිත සංස්කෘතික පසුබිම්ක් නියෝජනය කරන නිසාය.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික සංගීතයට අවතීර්ණ විය යුත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවෙන් නිසා BNS පන්නයේ ව්‍යාජ ශ්‍රී ලාංකිකත්වයෙන්  (Quasi national) නොවේ. ඒ අනුව ෆැලන් ඇන්ඩ්‍රියා 70 දශකයේ නිවැරැදි පදනම ඔස්සේ හැදී වැඩෙමින් ශ්‍රී ලාංකික තරුණ පරපුරට අලුත් සලකුණක් සහ ආදර්ශයක් දී තිබෙන බව පෙනී යයි.

අනෙක් අතට,
‘අපේ දේ රැකගෙන
අලුත් දේ අරගෙන’ දෙරණ තේමා පාඨයට ද ඇය කදිම ආභරණයක් වූ බව කිය හැකිය.

මේ අනුව පෙනී යන්නේ එක් අතකින් 70 දශකයේ පර්‌යේෂණවල තිබෙන නූතනවාදී බවය. ඒවා පරණය. එමෙන් ම අලුත්ම අලුත්ය. ෆැලන් ඇන්ඩ්‍රියා හෙට දිනයේ අන්තර්ජාතික තලයේ ගායිකාවක් වන්නී නම්, ඊට මම ද සුබපැතුම් එක් කරමි.

කුමාර ලියනගේ

ඡායාරූප-සමන් අබේසිරිවර්ධන