විශේෂාංග

ෆ්ලෝටින් මාර්කට්ටුව මහලු වී ගෝල්ඩ් සෙන්ටර් හිඟන වී

කොළොම්තොට නැත මහලු වී, අවන්හල් නැත පැරණි වී කියා ගැයුවාට අපේ රටේ වාණිජ අගනුවර වූ කොළොම්පුරය බලා කියා ගනිමින් නඩත්තු නොකිරීම හේතුවෙන් දැන් බොහෝ මහලුය.

වැහැරී ගිය කොළොම්පුරේ නෂ්ටාවශේෂ අතරින් තවමත් එහි අතීත රූසිරියේ සිහිවටන ඇත්තේය. ඒවාද තිබෙන්නේ පණ අදිමිනි. වල් බිහිවෙමින් තිබෙන ව්‍යායාම් මංතීරු, කලක් නේක රටා මවමින් ඉදිවූ එහෙත් දැන් තැනින් තැන වළවල් ඇති පදික වේදිකා, කොටුවේ කළම්බු ගෝල්ඩ් සෙන්ටර් මෙන්ම බේරේ වැව මත ඉදිවූ පෙටා ෆ්ලෝටින් මාකට් එක නැතිනම් පාවෙන වෙළෙඳසල ඊට නිදසුන්ය.

පාවෙන වෙළෙඳසල ඇත්තේ පිටකොටුවේ බැස්ටියන් මාවත අද්දරින් ඇති බේරේ වැවේය. අක්කර 6.5ක භූමියක වසා පැතිරෙන මේ මාකට්ටුවේ වෙළෙඳසල් දහයක් හා කඩපේළි 92කින් සමන්විතය.

උපන් කාලයේ පාවෙන මාර්කට්ටුව, අලුත ගෙනා මනාලියක මෙන් සුන්දරය. එහෙත් එය දැන් බොහෝ අවලස්සනය. ලෙඩවී ඇත. එදා අතුරු සිදුරු නැතුව සෙනග පිරී සිටි පාවෙන මාර්කට්ටුවට අද තනි රකින්නට බල්ලෙක්වත් නැත. ප්‍රතිසංස්කරණයක් නැති වීමත් ජනයා ඒ වෙත ඇදී නොඒමත් නිසා මාර්කට්ටුවම දැන් තනි වී ඇත.

පාවෙන මාර්කට්ටුවට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඇත්තේ හූවක දුරකි. හදපු මුල් කාලයේ නම් කොළඹ ප්‍රධාන පෞද්ගලික බස්නැවතුම්පොළේ සිට පාවෙන මාර්කට්ටුවට යන්නට කරන්න තිබුණේ බැස්ටියන් මාවත පැන ගන්න එකය. එහෙත් දැන් එසේ කරන්නට බැරිය. ඊට හත් ගව්වක් දුරක් දුරකතර ගෙවාගෙන යා යුතුය. මෙසේ වීමට හේතුව පාවෙන මාර්කට්ටුවේ වෙළෙඳසලක සේවය කරන පුෂ්පකුමාර අපට කියා සිටියේය.

‘‘මේ මාකට් එක තියෙන්නේ බේරේ වැවේනෙ. වැව ළඟින් තමයි බැස්ටියන් මාවත යන්නෙ. බැස්ටියන් මාවතට ටිකක් එහා පැත්තෙ තමයි බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ. බැස්ටියන් මාවතත් බස් ස්ටෑන්ඩ් එකත් අතර ලොකු ඉඩක් තිබුණා. ගෝඨාභය මහත්තයා ඒ ඉඩේ ෆ්ලෝටින් මාර්කට් එන මිනිස්සුන්ගෙ වාහන පාර්ක් කරන්න පාර්ක් එකක් හදල දුන්නා. පහුගිය ආණ්ඩුව ආවට පස්සෙ ඒ වාහන පාර්ක් එක අයින් කරල එතන තවත් කඩ පේළියක් දැම්මා. ඒකෙන් මෙතනට වාහන පාර්ක් කරල එන්න තැනක් නැති වුණාම මිනිස්සු එන එක අඩු වුණා.

කඩ පේළිය ගහල නැවතුණේ නෑ. බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් මනුස්සයෙක්ට එන්න බැරි වෙන්න දැලක් ගැහුව. මේ නිසා මේ පැත්තට එන මනුස්සයෙක් ලොකු දුරක් ගිහින් තමයි එන්න ඕන.

අර අලුතෙන් ගහපු කඩ පේළියෙන් බස් ස්ටෑන්ඩ් එකට මූණ දාලා තියෙන කඩ ටිකට විතරයි බිස්නස් තියෙන්නේ. බැස්ටියෙන් මාවත පැත්තට මූණ දාලා තියෙන කඩ පේළියට බිස්නස් නෑ. ඒ

ප්‍රොජෙක් එකත් සීයට සීයක් අසාර්ථකයි.
ෆ්ලෝටින් මාර්කට් එක අහිමි වීම නිසා ජනතාවට අහිමිවූයේ නිදහසේ නිස්කලකේ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට, කටට රහට කන්න බොන්න තැනක් පමණක් නොවේ. ෆ්ලෝටින් මාර්කට්ටුවේ ආහාර නිෂ්පාදන නිතරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වෙයි. එපමණක් නොව ඊට ජල සැපයුමක් තිබිණි. ඒත් එහි ඉදිරිපස ගොඩනගා ඇති කඩ පේළියට ජල සැපයුමක් නැත. ඔවුන් ජලය මිලදී ගන්නේ එක් ජල ගැලුමකට රුපියල් හැටක් දීය.

කලකට පෙර ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ආරක්ෂිත වටපිටාවක් පාවෙන මාර්කට්ටුවට තිබුණේය. රාත්‍රී එහි ඇති ජලය මත පාවෙන බෝට්ටු අවන්හල් තුළ පවා ප්‍රියසාද, උපන්දින සාද පවා සංවිධානය විය.

නොනිදන නගරයේ අපූර්වත්වය විවිධ පාටින් පින්තාරු කරන්නට පාවෙන වෙළෙඳසලට හැකිවිය. එදා නිදහසේ සිටින්නට රාත්‍රිය බාධාවක් නොවීය. අද තත්ත්වය නම් එසේ නොවේ.’’ ඒ ගැන ජේ.එච්. ලාල් මෙසේ සඳහන් කළේය.

‘‘පටන් ගත්ත කාලෙ මෙතන මාර ෂේප්. ඕන වෙලාවක ඕන මනුස්සයෙක්ට ඇවිත් නිදහසේ ඉන්න පුළුවන්. ආමි එකෙන් ආරක්ෂාව බලා ගත්ත. නේවි එකේ අය මෙතන තිබෙන බෝට්ටු ටික බලාගත්ත. කවුරුවත් අනවශ්‍ය අය ආවෙ නෑ. කිසිම වැරදි වැඩක් වුණේ නෑ.

දැන් මෙතන කුඩ්​ඩොයි හිඟන්නොයි රෑට එනව. ගණිකාවොත් රෑට එනව මෙතනට. අහන් ඉන්න බැරි කුණුහරුප කියනව. එතකොට මිනිස්සු එන්නෙ නෑනෙ. ඉස්සර මෙතන එහෙම කරන්න බෑ. ආයෙත් ඒ වගේ හොඳ කාලයක් එයි කියල අපි බලාපොරොත්තු වෙනව. මොකද ගෝඨාභය මහත්තය හිටිය කාලෙ මෙතන කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. වෙන එකක් තියා අපි මේ කඩවල්වල දොරවල් පවා ඇරලා ගියේ. ඒ තරමටම මෙතන ආරක්ෂාව තිබ්බ.

බේරේ වැවේ සිට ෆ්ලෝටින් මාර්කට්ටුව සිය හංස ගීතය ගයද්දී කලම්බු ගෝල්ඩ් සෙන්ටර් එකෙත් වෙනසක් නැත. එයද ඇත්තේ අවසන් ගමන් යමිනි.

අද කලම්බු ​ගෝල්ඩ් සේනටර් එක යනු එදා මැද කොළඹ වෙළෙඳ සංකීර්ණයයි. එය හැඳින් වූයේ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසල නමිනි. එසේ හැඳින්වූයේ යටත්විජිත සමයේ එනම් 1894 වසරේදී ශාන්ත ජෝන් වෙළෙඳසල එහි පවත්වාගෙන ගිය බැවිනි. ඉනික්බිතිව මැද කොළඹ වෙළෙඳ සංකීර්ණය නිර්මාණය වූයේ 1983 වසරේ දෙසැම්බර් මස අට වනදිනය. එහි පහළ මහල හා පහළ මැද මහල වෙන් වූයේ මස් මාළු කරවල වෙළෙඳසල්වලටය. 2011 වසරේ අප්‍රේල් මස පළවැනිදා එම මාළු වෙළෙඳසල් සියල්ල පෑලියගොඩ ඉදි කළ නව මාළු වෙළෙඳසලට ගෙන යන ලදී.

කොළඹ නගරයේ පැවැති අධික වාහන තදබදයට පිළියම් ලෙසත් ඉතා ජරා ජීර්ණව ගිය වෙළෙඳසල වෙනුවට ජනතාවටත් ව්‍යාපාරිකයන්ටත් නවීන පහසුකම් සහිත වෙළෙඳසලක් නිර්මාණය කරදීමත් එහි අරමුණ විය.

එවක රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයට අනුව එම ස්ථානයේ මැණික් හා රන් ආභරණ වෙළෙඳසලක් ඉදි කිරීමට සැලසුම් කරන ලදී. ඊට අවශ්‍ය ගෘහ නිර්මාණශිල්පී දායකත්වය දුන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. ඉදිකිරීම්වල උපදේශකත්වය දැරුවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශය විසින්ය. ඉදිකිරීම් කටයුතු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හතර වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවයි. එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂ විසින් දෙදහස් දාහතරේ සැප්තැම්බර් වසි හත් වැනිදා එය විවෘත කරන ලදී.
අතිශය ඉහළ ආරක්ෂාවකින් යුතුව ඉදිවුණ මේ රන් අලෙවිසල් සංකීර්ණයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයක්ද, බැංකු හා ආපනශාලාද තිබුණේය.

එහි සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විහිදුණ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්, ගිනි උෂ්ණත්ව ,සංවේදී හදිසි ගිනි නිවීම් උපකරණද සවිකර තිබිණි. වාහන නැවතුම්පොළද එහි විය.

එදා ආණ්ඩු මාරුවත් සමග කණකොකා හැඬූ ස්ථාන අතර මේ කලම්බූ ගෝල්ඩ් සෙන්ටර් එකද ඉහළින්ම ඇති යැයි ඊට ඇතුළුවෙන ඕනෑම අයකුට සිතෙනු නොඅනුමානය.
එහි එදා ගිනිරාමෙට වැජඹුණ වෙළෙඳසල්වලින් බොහොමයක් අද වැසී ගොස්ය. එදා සෙනග ආ ගිය කොළඹ ගෝල්ඩ් සෙන්ටර් අද පාළුවට ගොස්ය. කැඩී බිඳී අබලන්ව මහලුවට නොගිය ගොඩනැගිල්ලක් පමණක් අද ඉතිරිවී ඇත.

කොළඹ ගෝල්ඩ් සෙන්ටර් වෙත ගිය අප හා කතා කළේ එහි වෙළෙඳසලක් පවත්වාගෙන යන ඉස්තිරාක් මුබාරක්ය.

ගෝඨාභය මහත්තය ගෙනාපු අලුත් කන්සෙප්ට් එකක් තමයි මේ ගෝල්ඩ් සෙන්ටර් එක. පටන් ගත්ත අලුත මේකෙ ගොඩක් ෆැසිලිටීස් තියෙනව. බැංකු තියෙනව. පාර්කින් තියෙනවා, හොඳ වොෂ්රූම් තියෙනව. මේක පටන් ගත්තෙ ලෝකල් මාර්කට් එකයි ටුවරිසම් එකයි ටාගට් කරගෙන. මුල් දවස්වල හොඳට තිබ්බ. ගවමන්ට් චේන්ජ් වුණා. බිස්නස්නම් ටික ටික අඩු වුණා. ගෝඨාභය මහත්තය අදහස් කරගෙන හිටියේ වරායේ ඉඳන් මෙතෙන්ට පාලමක් දාන්න. උඩ තට්ටුවේ රෙස්ටුරන්ට් එකක් දාන්න. ඒව වුණේ නෑ. දෙදාහස් පහළොවේ දාසයේ වගේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇවිත් බැලුව. ඒත් මුකුත් වුණේ නෑ. දැන් මේක සුදු අලියෙක් තාත්ත නැති දරුවෙක් වගේ’’

ගෝල්ඩ් සෙන්ටර් එකේ දැන් බොහොමයක් වෙළෙඳසල් වැසී ඇත. ඒ වෙත ගනුදෙනුකරුවන් ඇදී නොඒම නිසාය. ඒ වෙත ලැබී ඇති කුඩම්මාගේ සැලකිල්ල නිසාය. එය කොතරම්දැයි මේ රටේ ඇති එකම ගෝල්ඩ් සෙන්ටර් එකේ තිබූ රජයේ ප්‍රධාන ආයතනය වෙන ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ ශාඛාවවත් දැන් එතන නැත.

මේ ගැන කතාබහට අපි හා එක්වූ පාලිත ඇළපාත මෙසේ කියා සිටියේය.

පටන් ගත්ත කාලෙ මෙතන හොඳට තිබ්බ. ඩාන්සින් ෂෝ එහෙම තියල, ටුවරිස් බස් ගෙනල්ල හොඳට තිබ්බා. ඒත් දැන් බිස්නස් හොඳ නෑ. එක කඩේකට දවස් පහකට සැරයක්වත් කස්ටමර් කෙනෙක් එන්නෙ නෑ. පහුගිය ආණ්ඩුවෙන් මේ නාගරික සංවර්ධනයට ඇමැතිවරු දෙන්නෙක් පත්වුණා. එක්කෙනෙක් රවුෆ් හකීම් අනෙක් කෙනා පාඨලී චම්පික රණවක. කිසිම කෙනෙක් මේක දැකල නෑ. කවුරුවත් අපිත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලා නෑ. මේවා දියුණු කරන්න හරිහමන් නිර්මාණශීලී නිලධාරියෙක් නෑ. ඒක තමයි මේක කඩා වැටෙන්න හේතුව. ඇත්තටම ඒගොල්ලෝ මේක හිතාමතාම විනාශ කළා.

ලංකාවේ අයට රත්තරං කියූ සැණින් මතක් වෙන්නේ හෙට්ටිවීදිය. හෙට්ටිවීදියට ඒ ගැන ඇත්තේ දිගු ඉතිහාසයකි. නමුත් ඒ බිමේ ගැටලු රාශියක් ඇත්තේය. එහි වාහනයක් නවත්තන්නට තැනක් නැත.

ඒත් මිනිස්සු යන්නෙ හෙට්ටිවීදිය පැත්තට. මෙහෙ කස්ටමස්ලා ඒකට අඩුයි. මිනිස්සු ඒකට පුරුදු වෙලා. එතන පේළියට කඩ තියෙන්නෙ. මිනිස්සු ඒකෙ නැත්නම් මේකෙ. මේකේ නැත්නම් ඒකේ. ඒ විදියට පුරුදුවෙලා. ඒත් මෙහෙ ආරක්ෂාව හුඟක් හොඳයි.

එහෙ වාහනයක් පාර්ක් කරන්න බෑ. නිදහසේ හිතල බඩු ගන්න බෑ. මෙතෙන්ට ආවම ඒ ප්‍රශ්න මුකුත් නෑ. ආණ්ඩු මාරුවත් එක්ක වෙච්ච මේ දේ මහජනතාවට ලොකු පාඩුවක්’’ රන්බඩු වෙළෙඳසලක කටයුතු කරන ලෙස්ලි ජයවර්ධන එසේ කියන්නේය.

මධුෂාණි කොඩිතුවක්කු
ජයාරුප සමන් අබේසිරිවර්ධන