කතුවැකි

ළමා දිනයට පෙරවදනක්

 

අවම ශ්‍රමික වයස ඉහළ නැංවීමටත්, ළමයින් වැඩිහිටි බන්ධනාගාර පද්ධතියට ඇතුළත් නොකිරීමටත් පියවර ගැනීම සම්බන්ධයෙන් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ශ්‍ර්‍රී ලංකාවට ප්‍රසාදය පළකර තිබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සංවිධාන අපේ රටට ප්‍රශංසා කරනවාට වඩා කරන්නේ චෝදනා එල්ල කිරීමය. එසේ තිබියදී යුනිසෙෆ් අරමුදල මෙලෙස අපට ප්‍රශංසා කිරීම සතුටට කරුණකි. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ තිස්වැනි සංවත්සරයට සමගාමීව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට කැපවන බව යළිත් තහවුරු කළ පළමු දකුණු ආසියාතික රට වන්නේද ශ්‍රී ලංකාවය. අපට ඒ ගැනද සතුටුය.

සතුටු විය නොහැක්කේ මෙවැනි නීති පැනවීමට හේතුවන තත්ත්වයන් රට තුළ පැවැති බව කල්පනා කරන විටය. මේ නිසා නීති පැනවීම වැදගත් වන්නා සේම එකී නීති පැනවීමට හේතුවන කාරණා නැති කිරීමට කල්පනා කිරීමද වැදගත්ය. නීති පැනවීමෙන් පමණක් සියල්ල සම්පූර්ණ නොවන නිසාය.

දරුවන් සම්බන්ධයෙන් අප මොන තරම් ප්‍රගතිශීලී තීන්දු තීරණ ගත්තද, අපේ සමාජයේ දරුවන්ට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය ගැන නම් කිසිසේත්ම සතුටු විය නොහැකිය. විගණන වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය වසර අටක කාලය තුළ ළමා අපචාර සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි හැත්තෑ නවදහස් දෙසිය පණස් නවයක් (79,259) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. මේ අනුව සාමාන්‍යයෙන් වසරකට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දස දහසකට ආසන්නය. අප මේ කතා කරන්නේ පැමිණිලි ලෙස වාර්තා වූ සිදුවීම් ගැන පමණය. ඇතැම් විටෙක මීට සමාන සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වී නොමැති වන්නටද පුළුවන.

වැදගත්ම කාරණාව වන්නේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන්ද අඩකටත් වැඩි ප්‍රමාණයක් විසඳා අවසන් නොවීමය. ලැබෙන පැමිණිලි විසඳා අවසන් නොවීම යනු වින්දිතයාට සාධාරණයක් ඉටු නොවීම හා චූදිතයන්ට දඬුවම් ප්‍රමාද වීමය. මේ ආකාරයට ළමා අපචාර පැමිණිලි විසඳා අවසන් නොවීම, එවැනි සිදුවීම් වාර්තා නොවීමටත්, එවැනි සිදුවීම් ඉහළ යෑමටත් හේතුවිය හැකිය. පැමිණිලි කිරීමෙන් ඵලක් නොමැති බව වින්දිතයාගේ පාර්ශවය කල්පනා කරන අතර, නීතියට ඇති බිය නොමැතිවීම නිසා ළමා අපචාර කරන්නන් කිසිදු බියකින් තොරව ඒ සඳහා පෙලඹෙන්නට ඉඩ ඇති බැවිනි.

මේ නිසා නීති පැනවීම කරන්නා සේම ඒ නීති රීති නිසියාකාරව ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීමද වැදගත්ය. අවම ශ්‍රමික වයස ඉහළ නැංවුවද, ඒ නීතියද ක්‍රියාත්මක වන බවට සහතිකයක් අවශ්‍යය. මෙහිදී පැමිණිලි ලැබෙන තෙක් නොසිට නීති කඩන අවස්ථා තිබේද යන්න සොයා බැලීම වැදගත්ය. අපේ රටේ බොහෝ නීති ක්‍රියාත්මක වන්නේ අසාධාරණයට හෝ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි කළහොත් පමණය. කොතරම් නීති පැනවුවද, නීතිය නොතකා දිගින් දිගටම වැරදි සිදුවන්නේ ඒ නිසාය.

ළමා අපචාර සම්බන්ධයෙන් ගත් කලද නීති පැනවීම හා දඬුවම් කිරීමට වඩා වැදගත් වන්නේ එවැනි සිදුවීම් ඇතිවීමට තිබෙන අවස්ථා වළක්වාලීමය. කුඩා දරුවන් වැඩි වශයෙන්ම අපහරණයට ලක්වන්නේ ඔවුන්ට සමීප ඥාතීන් අතින් යැයි හඳුනාගෙන තිබේ. එසේ වන්නේ මව රැකියා සඳහා විදේශගත වීම, දෙමාපියන්ගේ අඬදබර, දෙමාපියන් වෙන්වීම ආදී කාරණා නිසා දරුවන් හුදෙකලාවීම හා ඥාතීන්ගේ රැකවරණයට යටත්වීම වැනි කාරණා නිසාය.

ළමා අපචාර වැළැක්වීමට කතා කරන හෝ ඒවාට එරෙහිව කතා කරන කිසිවකු ළමා අපචාර ඇතිවීමට හේතුවන කාරණාවන්ට පිළියම් යෙදීමට කතා කරන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ ළමා අපචාර වැළැක්වීමට කුමන නීති ගෙන ආවත් පලක් නොවනු ඇත. විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශ ගතවීම ළමා අපචාර පමණක් නොව තවත් බරපතළ සමාජ, සංස්කෘතික අර්බුදවලට හේතුවකි.

ළමා අපචාර ලෙස වාර්තා වන්නේ ලිංගික හිංසනයන් පමණක් වුවත්, ඒ තරම් බරපතළ ලෙසට කල්පනා කළ යුතු ළමුන්ට සිදුවන මානසික හා ශාරීරික පීඩා තිබේ. විශේෂයෙන්ම මව විදේශගතවූ පවුල්වල සේම එසේ නොමැති පවුල්වලත්, පියාගේ බීමත්කම නිසා මානසිකවත්, ශාරීරිකවත් හිංසනයට ලක්වන දරුවන් කොතරම් සිටිත්ද? මේ හිංසනයන් නිසා බිඳ වැටෙන දරුවන්ගේ පෞරුෂය ගොඩනංවන්නේ කෙසේද? බිඳ වැටුණු පෞරුෂයක් සහිතව වැඩිහිටියන් වන ඒ දරුවන් සමාජය සමග කෙසේ ප්‍රතික්‍රියා කරනු ඇත්ද?

ලිංගික හිංසනවලට ලක්වන දරුවන්ට ප්‍රමාද වී ​හෝ යුක්තිය ඉෂ්ට වන අතර, හිංසකයන්ටද ප්‍රමාද වී හෝ දඬුවම් ලැබේ යැයි කල්පනා කළ හැකිය. එහෙත් මේ ආකාරයට බේබදු පියවරුන් නිසා මානසික හිංසාවට ලක්වන දරුවන්ට ඉටුවන යුක්තියක් නැත. එසේම ඊට වගකිව යුතු බේබදු පියවරුන්ගේ ඒ වරදට දඬුවම්ද නැත. ඔවුන්ට දඬුවම් කරන්නට නීති තිබෙනවාදැයි අප දන්නේත් නැත.

පියවරුන්ගේ බීමත්කම නැතත්, අධ්‍යාපනය තරගය, නැති බැරිකම් නිසා දරුවන් කො​තෙක් නම් මානසික පීඩාවන්ට ලක්වේද? වර්තමානයේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇත්තේද, ඔවුන් පෙළෙන මේ මානසික ආතතිය නිසා යැයි මතයක් පවතී. එය තවදුරටත් සොයා බැලිය යුතු කරුණකි. එහෙත් එය පහසුවෙන් බැහැර කළ නොහැකි කාරණයකි. පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යන්නට හේතුවක් වුවත් නැතත් ඔවුන් අතර මානසික ආතතිය සුලභ බවට සැකයක් නැත.

කෙසේ වුවත් මානසික ආතතියද නීති මගින් නැති කළ නොහැකිය. කළ යුත්තේ ඊට හේතුවන කාරණා හඳුනාගෙන ඊට පිළියම් යෙදීමය. ලෝක ළමා දිනයට ඇත්තේ තව දින තුනකි. දින තුනකින් මේ සියල්ල වෙනස් කළ නොහැකි බව අපි දනිමු. එහෙත්, ඒ සඳහා පළමු පියවර හෝ තබන්නට දින තුනක් හොඳටම ප්‍රමාණවත්ය. එසේ වුවහොත් මෙවර ළමා දිනය ඇත්තෙන්ම ළමයින්ගේ දිනයක් වනු ඇත.