කතුවැකි

ළමා අපයෝජන ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නව යෝජනාව

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. දැනට මෙවැනි ඒකකයක් ඇත්තේ කොළඹ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පමණකි. එය ස්ථාපිත කර ඇත්තේ 2001 වසරේදීය. මෙම සාක්ෂි පටිගත කිරීමේ ඒකකය මගින් ළමා අපචාර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කෙරේ.

මෙලෙස වින්දිත දරුවන්ගේ සාක්ෂි අපරාධය වූ සැණින්ම වාගේ පටිගත කිරීම නිසා සිදුවන වැදගත්ම කාර්යභාරය වන්නේ කුඩා දරුවන්ට සිදුවීම කල්ගතවන විට අමතක වීම නිසා ඇතිවිය හැකි දෝෂ වළක්වාගත හැකි වීමය. සිදුවීමෙන් වසර 25 කට පසු අපයෝජන නඩුවක තීන්දුවක් ලැබුණු පුවතක් වාර්තා වූයේ මේ ඊයේ පෙරේදාය.

එසේම දරුවන් අධිකරණය වෙත ගෙන්වා සාක්ෂි විභාග කිරීම එම දරුවන් ද්වීතීය අපයෝජනයකට ලක්වීම හා සමානය. එවැනි අවස්ථා ඔවුන්ගේ මනසට ඇතිකරන්නේ අහිතකර බලපෑමකි. එහෙත් සාක්ෂි පටිගත කිරීමෙන් වින්දිත දරුවන්ට සිදුවිය හැකි එම අගතීන්ද වළක්වාගත හැකිය.

එසේ වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියන ආකාරයට වින්දිත දරුවන්ගේ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් කොළඹ පමණක් තිබීම නිසා මෙම ක්‍රමවේදයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වන්නේ නැත. දැනට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්ථාපිත කොට ඇති සාක්ෂි පටිගත කිරීමේ ඒකකයට වසරකට පටිගත කිරීමට හැකියාව ඇත්තේ සාක්ෂි 170 ක තරම් සුළු ප්‍රමාණයක් පමණය. වර්තමානයේ වාර්තාවන ළමා අපචාර ප්‍රමාණය මත මෙම ධාරිතාව ගෑවෙන්නටත් මදි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේම දත්තයන්ට අනුව මේ වසරේ මුල් මාස හය තුළ පමණක් ළමා අපයෝජන, හිංසා කිරීම් ඇතුළු පැමිණිලි හාරදහසක පමණ ප්‍රමාණයක් සටහන් කරගෙන තිබේ. එවැනි තත්ත්වයක් තුළ ළමා අපයෝජන නඩුවක් වසර 25 කින් හෝ විභාග කොට අවසන් කර තීන්දුවක් දීමද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් තිබෙන්නේ කොළඹ පමණක් වීම නිසා දිවයිනේ කොතැනක හෝ ළමා අපයෝජනයක් සිදු වූ විට අදාළ වින්දිතයා කොළඹට ගෙන ඒමට සිදුවීමද දරුවන් විවිධ අපහසුතාවන්ට ලක් කරන කාරණයක් මෙන්ම පරීක්ෂණ ආයතනවලට අනවශ්‍ය වගකීමක් හා වියදමක් දරන්නට සිදුවන කාරණයකි.

පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක ස්ථාපිත කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර ඇත්තේ මෙම කරුණු පදනම් කර ගනිමිනි. අප කල්පනා කරන අන්දමට නම් අධ්‍යාපන අමාත්‍යාංශය කර ඇත්තේ ඉතාමත් කාලෝචිත යෝජනාවකි. රටේ දැන් දැන් වාර්තාවන ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව අනුව බලන විට පළාත් මට්ටමින් නොව දිස්ත්‍රික් මට්ටමින් වුවත් සාක්ෂි පටිගත කිරීමේ ඒකක ස්ථාපිත කිරීමේ වරදක් නැතැයි කිව හැකිය. මේ නිසා අප යෝජනා කරන්නේ ඉතා ඉක්මනින්ම පළාත් මට්ටමින් සාක්ෂි පටිගත කිරීමේ ඒකක ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම යෝජනාව සමග අප රටේ නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් ඉස්මතු වී තිබේ. නඩු ප්‍රමාදයට විවිධ වාර්තා ප්‍රමාදය ප්‍රධාන හේතුවක් බව අපි මීට පෙරද මෙම තීරයෙන් පෙන්වා දී ඇත්තෙමු. වීඩියෝ සාක්ෂි පටිගත කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම ඒ සඳහා බලපා ඇතැයි සිතිය හැකි තවත් කාරණයකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව යෝජනාව සමග මතු කෙරෙන තවත් වැදගත් කාරණයක් තිබේ. රටේ සමාජ පරිසරය වෙනස් වී අපරාධවල ස්වභාවයන් වෙනස් වී, අපරාධ සංඛ්‍යාව කොයිතරම් ඉහළ ගියත් අප තවමත් අපරාධ මර්දනය කිරීමට, නඩු විභාග කිරීමට හා යුක්තිය පසිඳලීමට මෙන්ම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමටත් අනුගමනය කරමින් සිටින්නේ පරණ පුරුදු අචීර්ණ කල්පික ක්‍රමවේදයන්ම බවය. නැතහොත් නූතන හා වඩා ඵලදායී ක්‍රමවේදයන් අනුගමනය කරන්නට තරමක් ප්‍රමාද වන බවය. පළමු වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය ස්ථාපිත කොට වසර 20 ක් යන තෙක් එහි ධාරිතාව වර්ධනය කිරීමට හෝ තවත් එවැනි ඒකක ඇති කිරීමට හෝ පියවර නොගැනීමෙන් පෙනී යන්නේ එය නොවේද?

ඇත්තෙන්ම වර්තමානයේ උදා වී ඇත්තේ, ළමා අපයෝජන සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා තව තවත් නවීන ක්‍රම හඳුනාගත යුතු තත්ත්වයකි. ළමා අපයෝජන ඒ තරමට සමාජ උවදුරක් බවට පත්ව තිබේ. මේවා සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට නීති ශක්තිමත් කිරීම, නව ආයතන ඇති කිරීම, නවීන ක්‍රමවේදයක් හඳුනාගැනීම හා භාවිතය යන මේ සියල්ල වැදගත් නමුත් වඩා වැදගත් වන්නේ ළමා අපයෝජන සිදු නොවන හෝ ඒවා අවම කෙරෙන සමාජ තත්ත්වයක් නිර්මාණය කර ගැනීමය.

එසේ නොවුණහොත් අපට සිදුවනු ඇත්තේ දවසින් දවස ළමා අපයෝජන සම්බන්ධ නීති සම්පාදනය කරමින්, නීති දැඩි කරමින්, ආයතන වැඩි කරමින්, නව ක්‍රමවේද සොයමින් ඉන්නටය. කුමන හෝ අපරාධයක් සම්බන්ධයෙන් විධිමත් නෛතික ක්‍රියාමාර්ග ප්‍රමාණවත් තරමින්, කඩිනමින් ඉටු කෙරෙන සමාජයක් නීතිගරුක, සාධාරණ සමාජයක් ලෙස සැලකිය හැකි නමුත් ඒ පමණින් එය දියුණු සමාජයක් ලෙස සැලකිය නොහැකිය.