කතුවැකි

හොරු සමග හෙලුවෙන්ද?

කුකුල් හොරුන් වැනි සිල්ලර හොරුන් අල්ලා ගැනීමේ පොලිසියේ ජනප්‍රිය උපක්‍රමය වන්නේ පොලිසියට ගෙන්වාගෙන අල්ලා කූඩුවට දැමීමය. එසේ අල්ලාගත නොහැකි අයකු වේ නම්, සැකකරුගේ ගෙදරටම ගොස් කුදලාගෙන එන්නට පොලිසිය පසුබට වන්නේ නැත.

පසුගිය කාලයේ මැති ඇමැතිවරුන් පවා අත්අඩංගුවට ගත්තේ මේ ආකාරයටය. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙන්වන අයකුට රාත්‍රිය ගත කරන්නට සිදු වූයේ වැලිකඩය. සැකකරු ගෙන එන තෙක් උසාවිය පවා මහ රාත්‍රියේත් විවෘතව තිබුණේය.

පොඩි පොඩි හොරුන් අල්ලා ගැනීමේ ක්‍රමය වෙනස් වී නැතත් ලොකු හොරුන් අල්ලා ගැනීමේ ක්‍රමයේ ලොකු වෙනසක් සිදුව තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ක්‍රමය වෙනස් වුවත් හොරුන් අල්ලන්නට නොහැකි වීමය. මේ අලුත් ක්‍රමයෙන් පළමුව සිදුවන්නේ හොරා අල්ලන්නට සූදානම් බව ප්‍රසිද්ධ කිරීමය. මේ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට දැනුම් දීම සිදු වේ.

පළමු ප්‍රවෘත්තිය වන්නේ එයයි. ඉන්පසු පොලිසිය අධිකරණයකට ගොස් වරෙන්තු ලබා ගැනීමද ප්‍රවෘත්තියකි. ඒ අතරතුර සැකකරුට අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට කරන දෙයක් කළ හැකිය. රටෙන් පිටව යන්නට වුවද අවස්ථාව තිබේ. තමන් නිර්දෝෂී බව කියමින් මාධ්‍යයට ප්‍රකාශයක් වුවද ලබා දිය හැකිය.

මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යයට ප්‍රවෘත්ති ආකාරයකි. එහෙත් ඉන් ප්‍රවෘත්ති මැවෙනවා මිස, හොරු ඇල්ලීමක් නම් සිදු නොවේ. දැන් මේ නව ක්‍රමයට හොරු අල්ලන්නට යන්නේ බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙනි.

බැඳුම්කර කොල්ලය යනු එතෙක් මෙතෙක් මේ රටේ සිදුව තිබෙන දැවැන්තම මුදල් මංකොල්ලය බව නොපිළිගන්නා කෙනෙක් නැත. ඩිව් ගුණසේකර කෝප් කමිටුව මෙන්ම, සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවද මේ ගැන විමර්ශන කළේය. ජනාධිපති කොමිසමක්ද පත් කෙරිණ.

අවසානයේ වෝහාරික විගණනයක්ද සිදු කළත් අසු වූ හොරෙක් නැත. මේ වංචාව සිදු වූයේ 2015 වසරේදීය.​ මේ ගෙවෙන්නේ 2020 වසරය. වංචාව සිදුව වසර 05 ක් ගත වී ඇතත් ඊට දඬුවම් ලැබූ එකෙකු නැත.

කාටත් අමතකව ගිය මේ බැඳුම්කර මංකොල්ලය යළිත් ප්‍රවෘත්තියක් බවට පත් කරන්නට නීතිපතිවරයා පියවර ගෙන තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පසුගිය අඟහරුවාදා (03 වැනිදා) වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ඒ සඳහා පොලිසිය ඊයේ අධිකරණය වෙත ගියත් එම තීන්දුව හෙටට කල්ගොස් තිබේ. එය තවත් ප්‍රවෘත්තියකි.

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වූයේ මහ බැංකු බැඳුම්කර වංචාවය. යහපාලන ආණ්ඩුවේ පදනම දෙදරා යන්නට මූලිකම හේතුව වූයේද මෙම වංචාවය. මේ නිසා නව ආණ්ඩුව යටතේ බැඳුම්කර හොරුන්ට දඬුවම් ලැබෙනු ඇතැයි රටම අපේක්ෂා කළේය.

එහෙත් දැන් නීතිපතිවරයාගේ ක්‍රියා පිළිවෙළ අනුව පෙනී යන්නේ, මේ ආණ්ඩුව යටතේද බැඳුම්කර හොරුන් ඇල්ලීම මාධ්‍ය සංදර්ශනයක් පමණක් වීමට ඉඩ තිබෙන බවය. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට කර ඇති දැනුම්දීම අනුව අත්අඩංගුවට ගැනීමට නම් කර ඇති දොළොස් දෙනාගෙන් කිහිප දෙනකුම දැනටමත් මෙම චෝදනාවේ විත්තිකරුවන් ලෙස නම් කෙරුණු අයය.

එලෙස චූදිතයකු ලෙස නම් නොකර සිටි එක් පුද්ගලයකු වන්නේ එවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකය. ඔහුත් සමග අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා කියන්නේ චූදිතයන් ලෙස නම් කර ඇති දැනට ඇප මත සිටින පිරිසකි.

මන්ත්‍රීවරයා සහ තවත් කිහිප දෙනකුට හැර දැනටමත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතී. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන ලෙස එම අධිකරණය උපදෙස් දී ඇතත් එම විගණනය මෙතෙක් සිදුව නැත. මේ නිසා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් එම කටයුතු කඩිනම් කළ හැකිය.

මෙම චෝදනාවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක නව සැකකරුවකු ලෙස නම් කරන නීතිපතිවරයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සැකකරුවකු ලෙස නම් නොකරන්නේ කුමක් නිසාද? හිටපු අගමැතිවරයා මෙම බැඳුම්කර ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වූ බවට අවශ්‍ය තරම් සාක්ෂි ඉදිරිපත්ව තිබේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුව නැතැයි පාර්ලිමේන්තුවට සහතික වූයේද වික්‍රමසිංහ මහතාය. එසේම ඒ ගැන සොයන්නට ඔහු විසින් තම හිතවත් නීතිඥයන් කිහිප දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එම කමිටුව රනිල්ගේ මතය තහවුරු කළේය.

මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේ මහ මොළකරුවා වන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අර්ජුන මහේන්ද්‍රන්ය. හිටපු අගමැතිවරයාගේ ගජමිතුරකු වූ මේ සිංගප්පූරු ජාතිකයා රටින් පලා ගියේ කලෙකට පෙරය. ඔහුට දඩුවම් කිරීම කෙසේ වෙතත් ඔහුව උසාවියකට ගෙන එන්නේ හෝ කෙසේ දැයි කියන්නට දන්නා කෙනෙක් නැත. කවුරුන් අත්අඩංගුවට ගත්තද අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගත්තේ නම් ඉන් පලක් නොවනු ඇත. මහ බැංකු හොරුන් සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන මැවෙන්නේ ඒ නිසාද විය හැකිය.