කතුවැකි

හොරු ඇල්ලුවාදැයි හොරුම අසති

රටේ ජනතාවට විශාල හානියක් සිදු නොවන බවට වෛද්‍යවරුන් විශ්වාසය පළ කරන කොරෝනා වෛරසය නිසා ඇත්තෙන්ම රටට විනාශකාරී වූ දේ බොහෝමයක් දේ යටපත් වී ඇත. බැඳුම්කර වංචාව හා ඊට වගකිවයුතු චෞරයන් ඇල්ලීම ඉන් ප්‍රධාන කාරණයකි.

බැඳුම්කර වංචාවට වගකිවයුත්තන්ට දඬුවම් දීමට පියවර ගන්නැයි කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගිය දිනෙක ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබිණ. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම වංචාව සිදුව දැනටමත් වසර 5 ක් ගතව තිබෙන නිසා කෝප් කමිටු වාර්තාව පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යෑම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බවය.

මහබැංකු හොරකම යනු 2015 බලයට පත් වූ ආණ්ඩුව ගෙදර යෑම සහතික කළ පළමු පියවරය. 2015 බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට දේශපාලනික වශයෙන් ඔක්සිජන් දෙන්නට යහපාලන ආණ්ඩුව දියත් කළ ව්‍යාපෘතියක් වශයෙන් ද එය හැඳින්විය හැකිය. 2015 නව ජනාධිපතිවරයකු පත් වී දෙමසක් ඉක්මෙන්නට පෙර විපක්ෂයට වටිනා සටන් පාඨයක් ලබා දුන්නේ ඒ මගින් වන බැවිනි.

නව ආණ්ඩුවක් පත්වීමෙන් පසු පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගන්නේ සුළු පිරිසකි. ඇතැම් විට ආණ්ඩුව පත් කර ගන්නට දායක නොවූ අයද ඒ අතර සිටිති. නමුත් ආණ්ඩුවක් පත්කරගන්නට දායක වන බහුතර ජනතාව තමන්ගේ ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පෞද්ගලිකව ලබා ගන්නා ලාභ ප්‍රයෝජනයක් නැත. ඔවුන්ට ඇත්තේ පොදු අපේක්ෂාය. යහපාලන ආණ්ඩුව විසින් දැනුවත්ව සිදු කළ මහබැංකු මංකොල්ලයේ වගකිවයුත්තන්ට දඬුවම් කිරීම ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් ජනතාවගේ එක් පොදු අපේක්ෂාවකි.

නමුත් දැන් මතුව ඇත්තේ හොරු ඇල්ලුවාදැයි හොරුන්ම අසන තත්ත්වයකි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්වීමට තීරණය වූයේ එම වංචාව සාමාන්‍ය විගණනයකින් පාදා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ එකක් වූ නිසාය. එම වාර්තාවට අනුව යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ බැඳුම්කර වංචාවට වැඩි වංචාවක් ඊට පෙර ආණ්ඩු සමයේ සිදුව ඇති බව විපක්ෂයේ මතයයි. මේ නිසා පුළුවන් නම් අල්ලපන් යැයි ඔවුහු ආණ්ඩුවට අභියෝග කරති. එය මේ ආණ්ඩුව පත් කරන්නට ඡන්දය දුන් ජනතාවට කරන සමච්චලයක් බඳුය. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නැත. එහෙත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතීන් කරන කතාබහ අනුව පෙනී යන්නේ ඔවුන් මේ කාරණය වටේ යමින් සිටින බවය.

ආණ්ඩුවේ ඇතැමකු කියන්නේ වෝහාරික විගණනය යනු එජාප හා ජවිපෙ එක්ව නටන නාඩගමක් බවය. තවත් අයකු කියා තිබුණේ වෝහාරික විගණන වාර්තාව එළිදැක්වීම බැඳුම්කර හොරකම යටපත් කිරීමක් බවය. කුමන ආකාරයට කිව්වත් ඉන් අදහස් වන්නේ වැරැද්ද ඇත්තේ වෝහාරික විගණනයේ බවය. මේ අතර බැඳුම්කර වංචා කළ බවට එජාපයේ ඇඟිල්ල දිගුව ඇති හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ වෝහාරික විගණන වාර්තාවට අනුව තමන්ට චෝදනා කළ නොහැකි බවය.

බැඳුම්කර සොරකම නිසා රටට සිදු වූ මූල්‍ය අලාභය ඉදිරි වසර 30 ක කාලයක් බලපැවැත්වෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. දැනට ගණන් බලා ඇති අන්දමට මේ දක්වා සිදුව තිබෙන අලාභය රුපියල් කෝටි 5000 ටද වැඩි යැයි කියැවේ. මෙම ජාවාරමට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම 2016 මාර්තු මාසයේ අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ උපයා ඇති ලාභය රුපියල් බිලියන 5.1 කි. ඒ අනුව මෙම ජාවාරම නිසා රටට කොතරම් පාඩුවක් වෙන්නට ඇත්දැයි තේරුම් ගත හැකිය.

එපමණක් නොව රටේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම දිවියට ශක්තියක් වන සේවක අර්ථසාධක අරමුදල පවා මෙම ජාවාරම නිසා අවදානමකට ලක්ව තිබේ. ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට රටේ දේශපාලනය තහනම් කළ යහපාලන ආණ්ඩුව විදේශිකයකු මහබැංකුවේ අධිපතිවරයා කිරීම, ඔහු රටේ මුදල් නෝට්ටුවල අත්සන යෙදීම, මේ නිසා එම මුදල් නෝට්ටු වලංගු නොවීම වැනි කාරණාද මහ බැංකු මුදල් වංචාව සමග බැඳී ඇති වෙනත් කාරණාය. මේවා බොහෝ දෙනා දන්නා කාරණා වුවත් මෙහි සටහන් කරන්නට කල්පනා කළේ ආණ්ඩුවට එම කරුණු අමතකව ඇතැයි සිතෙන බැවිනි. ආණ්ඩුවට අමතකව ගියත්, ජනතාවට අමතක නොවන බැවිනි.

ආණ්ඩුව හෝ ආණ්ඩුවේ කිසිවකු කියන ආකාරයට වෝහාරික විගණන වාර්තාව එජාප – ජවිපෙ හවුලක් නම් මෙම වාර්තාව එළිදැක්වීම නිසා හොරු යට ගියේ නම් කළ හැකි දෙයක් තිබේ. වෝහාරික විගණන වාර්තාව පමණක් නොව, ජනාධිපති කොමිසමේ වාර්තාව, කෝප් කමිටු වාර්තාව ආදී මෙම වංචාව ගැන සොයා බැලූ සියලු වාර්තා කුණු කූඩයට දමා පිළිගත හැකි පරීක්ෂණයක් අලුතෙන්ම කිරීමය. විගණන කමිටුව වාර්තාව සකස් කිරීම සඳහා පමණක් රුපියල් මිලියන තුනසියයක පමණ මුදලක් වැය වී තිබේ. තවත් පරීක්ෂණයක් පැවැත්වුවහොත් තවත් එවැනිම මහජන මුදල් කන්දරාවක් වැයවනු ඇත. එහෙත් රටේ යහපත වෙනුවෙන් ඒ මිල වැඩි යැයි ජනතාව කිසි විටෙක නොසිතනු ඇත.

මහ බැංකු කොල්ලයට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම කිසිසේත්ම පෞද්ගලික පළිගැනීමක් නොව දේශපාලනමය තීන්දුවකි. ආණ්ඩුව ඒ තීන්දුව ගත යුත්තේ රටට සිදු වූ මූල්‍ය පාඩුව පියවා ගැනීමට පමණක් නොව එසේ නොකර සිටීම වැරැද්දක් සාමාන්‍යකරණයට පත් කර සමාජගත වීමට මග සැලසීමක් වන බැවිනි.

කෙසේ වුවත් කෙසෙල් කැනක් හොරෙන් කපා අතටම අසුවන ගොලෑ හොරකුට දඬුවම් කිරීමටද විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ඊටද යම් කිසි කාලයක් ගතවේ. මේ නිසා මහ බැංකු හොරුන් හඳුනාගෙන ඇතත් එක රැයින් ඔවුන්ව කුදලා සිරගත කිරීමට හැකියාවක් නැති බව ජනතාවද නොදන්නවා නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුව මහ බැංකු හොරුන්ට දඬුවම් කිරීම අනිවාර්යය බවට සහතිකයක් පමණකි. මේ නිශ්චිත මොහොතේ ආණ්ඩුවේ පළමු වගකීම වන්නේ ජනතාව තුළ ඒ විශ්වාසය ඇති කිරීමය.