අතන මෙතන

හොරකමේ ගිය තරුණයා ගුටි කා මිය ගිහින්

පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ විසි හැවිරිදි තරුණයකු මියයෑම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සොරකමකට ගොස් ගම්වාසීන්ගෙන් පහර කෑමට ලක් වූ බව කියන පුද්ගලයකු පූගොඩ පොලිසිය භාරයට ගෙන රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මෙම සිද්ධිය පෙරේදා (12 වැනිදා) සිදුවී ඇත.

ගෙවල් බිඳුම් හා සොරකම්වලට සම්බන්ධ චෝදනා ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයකු මෙලෙස පහර කෑමට ලක් වී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ පූගොඩ, මණ්ඩාවල, කන්දපාර ප්‍රදේශයේ පදිංචි ගයාන් පුෂ්පකුමාර නමැති විසි හැවිරිදි තරුණයෙකි.

මෙම මිය ගිය තරුණයාට පොලිස් නිලධාරීන් ඉදිරියේම ගමේ අය පහර දුන් බව තරුණයාගේ ඥාතීහු චෝදනා කරති.

පහර දීමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනකු ඊයේ (13 වැනිදා) පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.

ප්‍රසංග පාවුළුහේවා – කටුනායක

හේමන්ත ලියනපතිරණ, ආරියපාල වීදාගම – දොම්පේ