ගොසිප්

හොඳයි..හොඳායි…කවුද අගමැති…

“අර මොකක්ද සිරිසේන ජනාධිපතිවරයා හොඳ අගමැතිවරයෙක් ගැන කියන්නේ? රෝහිත ඇසුවේය.

“ඒ කියන්නේ ඉතින් දැන් ඉන්න අගමැති හොඳ නැහැ කියලනේ. හැබැයි වැඩේ කියන්නේ අපි ඕක කිව්වේ 2015 ඉඳලයි. ජනාධිපතිවරයට දැන් තමයි ඒක තේරිලත් තියෙන්නේ” විමල් පැවසීය.

“සමහර විට ජනාධිපතිවරයා මේ ටිකේ පත්තර එහෙම බැලුවද දන්නෙත් නැහැ” ප්‍රසන්න කීවේ සැවොම සිනාගස්වමිනි.

“නින්දෙන් නැගිට්ටා වගේ ප්‍රකාශ කරන එක එතුමාගේ පුරුද්දක්නේ. හැබැයි අද කියන දේ හෙට මතක නැහැ. මුලින් කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. ඒ ගැන දැන් කතාවක්වත් නැහැ. පස්සේ කියනවා පොදු දේපල හොරකම් කරන අයට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. කටින් බතල කොළ තමයි” රෝහිත කීවේය.

“තමන්ට බලය හම්බ වු‍ණ වෙලාවේ කම්බා හොරෙක් අගමැති කරලා ජනාධිපතිවරයා දැන් අපිට බණ කියන්න එනවා. ඒ අගමැතිකමත් දුන්නේ ව්‍යවස්ථාවටත් පයින් ගහලයි. හිටපු අගමැතිවරයා ඉවත් කරන්නෙවත් නැතුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිටපු කෙනාට අගමැතිකම දීලා රටම විනාශ කළා” ඩලස් පැවසීය.

“ඒ කතාව නම් හරියටම හරි. බලය වැරැදියට භාවිතා කරලා රටම නැති කරපු ජනාධිපතිවරයා අනාගත අගමැති ගැන කියන්න එක තරම් විහිලුවක් තවත් නැහැ” මහින්දානන්ද පැවසීය.

” ඊළඟ අගමැති ගැන තීන්දුව ගන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් කියන එක ජනාධිපතිවරයාට අමතක වෙලා වගෙයි” විමල් කීවේය.

“ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන වද වෙවී හිටිය එක්සත් ජාතික පක්ෂයට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ලොකු අර්බුදයකට. අපිට ආරංචි වෙලා තියෙන විදියට රාජිතලා, පාඨලීලා, සජිත්ලා, රනිල්ලා පොදු අපේක්ෂකකම ගන්න පෙරකනවලු” ප්‍රසන්න හෙළි කළේය.

“කවුරු ආවත් ඉතින් දිනන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ පාර දිනන්නේ මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා මිසක් වෙන කවුරුත් නෙමෙයි” මහින්දානන්ද පැවසීය.