විශේෂාංග

හෙළයේ නිළි රැජිණ ගොළුව ගිය ගී රැජිණ ගැන කියන කතාව

මෙරට ජනප්‍රිය සිනමා සංස්කෘතියේ සොඳුරුතම සිහිවටන පෙළ ගැසුණු 70 දශකය, සිංහල සිනමාවේ ස්වර්ණතම යුගය සේ හැඳින්වීම අතිශයින්ම සාධාරණය. නිවැරදිය.

එකී ස්වර්ණමය යුගය රනින් බබළවන්නට අපේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගෙන් ලැබුණේ සුවිසල් දායකත්වයකි. ඇගේ රංගන මහිමාලංකාරය රිදී තිරය මත වඩා උත්කර්ෂයට නැගුණේ ඇන්ජලීන් ගුණතිලක නම් වූ ගීත කෝකිලාවගේ ‘රන් ස්වරය’ නිසා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මාලිනියන් රංගාභිෂේකයට ජනප්‍රිය සිනමාව ඔස්සේ ඇන්ජලින් ගුණතිලකයන්ගෙන් ලැබුණේ ආත්මීය අත්වැලකි. එක්තරා කලෙක අපේ සිනමා කර්මාන්තයේ පැවැත්ම උදෙසා මාලිනී – ඇන්ජි සුසංයෝගය වෙස්වළාගත් ආශිර්වාදයක් බඳු විය.

ඒ සදාදරණීය ගායිකාවගේ මියුරු හඬ දැන් සදහටම නිහඬ වී අවසන්ය. එහෙත් ඇගේ ළෙන්ගතු ස්වරය සුවහසක් රසික හදවත්වලට පවන් සලමින් මේ ආකාශතලයේ නිබඳ සැරිසරනු නොඅනුමානය.
ඇන්ජලීන්ගේ වි‌යෝවෙන් මාලිනියගේ හද සසල වූ දුක්බර මොහොතක ඈ පැවසූ මෙවදන් අපි මෙසේ ඔබ වෙනුවෙන් සටහන් කරමු.

‘‘ඇන්ජලින් ගුණතිලක කියන විශිෂ්ට, ආදරණීය ගායිකාවට මම ආමන්ත්‍රණය කළේ ‘ඇන්ජි අක්කා’ කියලයි. සිනමා සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් ඇයට කතා කළේ ඒ විදිහට. ඇන්ජි අක්කා මගේ සිනමා ජීවිතයත් එක්ක ආත්මීයව බද්ධ වුණු එකට පෑහුණු දැවැන්ත ප්‍රතිරූපය කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදියි.

ඇය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ 1958 තිරගත වුණ ‘‘සොහොයුරෝ’’ චිත්‍රපටයෙන්. සිංහල චිත්‍රපට වැඩිම ප්‍රමාණයකට ගී ගැයූ ගායිකාව ඇයයි. ‘සරසවිය’ නියෝජ්‍ය කර්තෘ නුවන් නයනජිත් කුමාර කියන විදිහට ඒ චිත්‍රපට සංඛ්‍යාව 258 ක්. මා ඇතුළුව, පරම්පරා තුනක නිළියන් වෙනුවෙන් ඇය ගීත දහස් ගණනක් ගායනා කර තිබෙනවා. ඇන්ජි අක්කා මුලින්ම මම වෙනුවෙන් ගීතයක් ගායනා කළේ ‘‘හතර දෙනාම සූරයෝ’’ චිත්‍රපටයට. ඒ ඇය ජෝති අයියාත් එක්ක ගායනා කරපු ‘අහා, අහා ආදරණීය සිනා ඔබේ’ කියන ගීතයයි.

ඒ ගීතමය ජවනිකාවේ මා එක්ක රඟපෑවේ විජය. 70 දශකය ගැන කතා කරද්දී ගාමිණී මාලිනී යුගය විජය මාලිනී යුගය තවමත් අපේ ප්‍රේක්ෂකයන්ට හොඳින් මතකයි. අැත්තටම ගාමිණීගෙයි, විජයගෙයි ජනප්‍රියත්වයට ජෝතිගේ හඬ ඉවහල් වුණ තරමටම මගේ ජනප්‍රියත්වයට ඇන්ජි අක්කාගේ හඬත් ගායන ශෛලියත් ලොකු ශක්තියක්, ආශිර්වාදයක් වුණා. ඇයට ඕනෑම පරාසයක තමන්ගේ හඬ හසුරුවන්න පුළුවන් විස්මිත හැකියාවක් තිබුණා. ඒ හඬ හරියට රිදී සීනුවක් වගෙයි. ඉතාමත් උච්ච ස්වරවල කිසිම අපහසුවකින් තොරව සැරිසරන්න ඇයට තිබුණේ පුදුම හැකියාවක්.

ඇන්ජි අක්කා මා වෙනුවෙන් ගායනා කළ ජනප්‍රිය ගීත කීපයක් මේ වෙලාවේ මට මතක් වෙනවා. ‘සුසුදු රැල්ල’ ගීතය ඇය ‘‘අභිරහස’’ චිත්‍රපටයට ගැයුවේ එච්. ආර්. ජෝතිපාල සමග. ඒ චිත්‍රපටයේ මා එක්ක රඟපෑවෙත් ජෝති අයියාමයි. එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයට ගායනා කරපු ‘සුදුපාට මීදුම් ගලාලා’’ ගීතය අදටත් ජනප්‍රියයි. ‘‘දෝතින් දෝතයි’’ ගීතය ඇන්ජි අක්කා මා වෙනුවෙන් ගායනා කළේ ‘‘සුහද පැතුම’’ චිත්‍රපටයට. තුෂාරා චිත්‍රපටයට ගායනා කරපු ‘‘කලක් තිස්සේ සිතක් පතුලේ’’, ‘‘ජීවනයේ මීවනයේ’’ ගීත තවම ප්‍රේක්ෂකයන්ට අමතක නෑ. ‘‘අමර පෙම් ලතාවේ’’ ඇන්ජි අක්කා ගයපු තවත් ලස්සනම ගීතයක්. ජෝති අයියත් එක්ක ඇය ඒ ගීතය ගායනා කළේ ‘‘සදහටම ඔබ මගේ’’ චිත්‍රපටයට.

මා එදා (හිතුවොත් හිතුවාමයි) ‘‘මල් වැහි සීතල මල් වැස්සේ’’ (හොඳට හොඳයි) ‘‘හද විමන්දොරින්’’, ‘‘පෙම්වතියන්නේ පෙම්වතියන්නේ’’, ‘‘පාට පොදක් තිලකලා’’ (කස්තුරි සුවඳ), ‘‘ඉරහඳ වැදලා’’, ‘‘මී පිරුණ සුවඳ මල් වනේ’’ (සංගීතා) ‘‘සඳ තනි වෙලා අහසේ’’ (අපේක්ෂා), ‘‘සාස්තරේ සාස්තරේ’’ (මිහිදුම් සිහින) වැනි අෑ ගැයූ ගීත අදටත් ජනප්‍රියයි. ඇන්ජි අක්කා මං වෙනුවෙන් චිත්‍රපට 37 කට ගී ගයා තිබෙනවා. ගීත සංඛ්‍යාව බැලුවොත් 90 කට ආසන්නයි. විවිධ ගී පද රචකයන්, සංගීතඥයන් නිර්මාණය කරපු ඒ ගීත අෑ වැඩිපුරම ගායනා කළේ ජෝති අයියා එක්ක. ඇන්ජි අක්කා අවසන් වරට මා වෙනුවෙන් ගීත ගායනය කළේ ‘‘සත්‍යා’’ චිත්‍රපටයට 1992 දී. හතර දෙනාම සූරයෝ තිරගත වුණේ 1997 දී. එතකොට අවුරුදු 31 ක් පුරාවට ඇය මා වෙනුවෙන් ගී ගයා තිබෙනවා.

නීල් රූපසිංහ, සරත් රූපසිංහ, යසපාලිත නානායක්කාර, ලෙනින් මොරායස් වගේ ජනප්‍රිය රැල්ලේ සිනමා අධ්‍යක්ෂවරු ඇන්ජලීන්ගේ හඬ තමන්ගේ චිත්‍රපටවලට නිතරම යොදා ගත්තා. ඒ වගේම එච්. ඩී. ප්‍රේමරත්න මැද මාවතේ සිනමාකරුවෙකුත් ඇයගේ හඬෙන් නියම ප්‍රයෝජනයක් ගත්තා කියලා මම හිතනවා.
අපේක්ෂා චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා අහසේ’  ගීතයට ඒකට හොඳම උදාහරණයක්.

70 දශකය හින්දි සිනමාව ලංකාවේ හුඟක් ජනප්‍රිය වී තිබුණු යුගයක්. ඒකත් එක්ක තරග කරන්න අපේ සිනමාවට ප්‍රබල කටහඬක් ඕන වෙලා තිබුණා. ඉතින් ගොඩක් චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරු ඒකට තෝරා ගත්තේ ඇන්ජලින් ගුණතිලකගේ හඬ. අනෙක් පැත්තෙන් ජෝතිපාලගේ හඬ. මේ දෙන්නා වැඩිපුර ගායනා කළේ හින්දි අනුකරණ ගීත වුණාට ඔවුන්ගේ හැකියාවන් ඉතාමත් විශිෂ්ටයි. ජෝති අයියා වගේම ඇන්ජි අක්කාත් ස්වතන්ත්‍ර ගීත ගායනාවේදී තම හැකියාවන් අපට ඔප්පු කර තියෙනවා. රුක්මණී දේවියගෙන් පස්සේ අපේ චිත්‍රපටවලින් වැඩිපුරම චිත්‍රපට ගීත ගායනා කළේ දමිළ ගායිකාවන්. ඒ සියලු දෙනා අබිබවමින් ඊළඟට ඒ තැන ගත්තේ අපේ ගී රැජින ලතා වල්පොළ. රුක්මණී දේවි, ලතා වල්පොළ ඇන්ජලින් තුන්දෙනාම කතෝලික ආගමේ අය. මම හිතන්නේ මේ තුන්දෙනාගෙම හඬ ඉතාම සුවිශේෂය. මම හිතන්නේ පල්ලියේ ගීතිකා ගායනා කිරීමෙන් තමයි ඒ වගේ පැහැදිලි තියුණු රිදී සීනු හඬවල් එයාලට ලැබී තිබුණේ.

ඒ වගේම සුජාතා අත්තනායක, විශාරද නන්දා මාලිනිය වගේ ගායිකාවනුත් මට පසුබිම් ගායනා කර තිබෙනවා. ඒ අයගේ ගායන හැකියාවනුත් ඉතා විශිෂ්ටයි. හැබැයි මේ සියලු දෙනාගේ හඬවල් එකිනෙකට වෙනස්. ඒ හැමෝටම අනන්‍යතාවක් තිබුණා. ඇත්තටම එදා අද වගේ තාක්ෂණික පහසුකම් තිබුණේ නෑනේ. වාදක මණ්ඩලයත් එක්ක එක පාර ගීතය ගායනා කරන්න ඕනෑ. කටහඬ වැරදුණොත් ආයේ මුල ඉඳන් ගීතය පටිගත කරන්න වෙනවා. ඒ වගේ යුගයක තමයි ඇන්ජලීන් ගුණතිලක තමන්ගේ ගායනයේ මේ විශ්මිත පෙලහර පැවේ.

අද නම් පුළුවන්නේ පිච් එක පවා වෙනස් කරන්න. ඕනෑ තරම් වාරයක් ගීතය නැවත පටිගත කරන්න. යන්තම් ගීතයක් මුමුනන්න පුළුවන් අයට පවා අද තාක්ෂණයේ පිහිටෙන් මුළු ලෝකෙටම ඇහෙන්න සින්දු කිව්වහැකි. ඒත් ඇන්ජි අක්කා වගේ ප්‍රබල හඬක් තිබෙන ගායිකාවක් ආයේ අපේ රටේ බිහිවෙයි කියලා මම හිතන්නේ නෑ.
ඇගේ හඬ වෙනම ආරක එකක්.

මම හැමතිස්සේම කියන දෙයක් තමයි ඇන්ජලින් ගුණතිලක කියන්නේ අපේ සිනමාවේ පෙම්වතියන්ගේ හඬ. සිනමාවේ ඕනෑම පෙම්වතියකට ඇයගේ හඬ ගැළපුණා. ආදරය වෑහෙන ස්වරයක් දැන් ‘‘පෙම්වතියන්නේ පෙම්වතියන්ගේ’’ වගේ ගීතයක තියෙන්නේ විරහ වේදනාවෙන් පෙළෙන පෙම්වතියකගේ ශෝකාලාපයනේ. බලන්න ඇය කොයිතරම් ඒ ගීතයේ අරුතට, එහි තනුවට අනුගත වෙනවද කියලා. ඒ දර්ශනය රඟපාද්දී ඇත්තටම මගේ දෑසින් නිරායාසයෙන්ම කඳුළු කඩා හැලුණා. මගේ රඟපෑම සාර්ථක වෙන්න හැම වෙලාවෙම ඇන්ජි අක්කාගෙන් ලැබුණේ ඒ වගේ ලොකු පිටුබලයක්.

මුල් කාලයේ ඇන්ජි අක්කාගේ හඬ වැඩිපුරම යොදා ගත්තේ සමාජශාලාවලට ගැයෙන ගීතවලටයි. ඒත් ලෙනින් මොරායස් ඔහුගේ චිත්‍රපටවල දී ඒ සුපුරුදු රටාව බැහැර කරවලා ඇන්ජි අක්කට විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගී ගයන්න අවස්ථාවන් උදාකරලා දුන්නා. ඇයත් ඒ හැම නිර්මාණයකටම උපරිම සාධාරණයක් ඉටුකළා. ඇය මගේ සිනමා රංගන දිවියට කොයිතරම් බද්ධ වෙලා හිටියත් අපි අතරේ සමීප ඇසුරක් තිබුණේ නෑ. සමහර විට ඇය ගීත ගයන විට පටිගත කිරීමකට එන විට මම ඉන්නේ රූගත කිරීමක. දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා අපට හමුවීමේ අවස්ථාවක් මගහැරෙන්න ඇති. ඒත් අපි අතරේ හොඳ අවබෝධයක් තිබුණා. අපි එකිනෙකාට ගරු කළා. ‘‘මම වැඩිපුරම ගීත ගායනා කළේ නිළි රැජින මාලිනී ෆොන්සේකාට’’ කියා ඇය නොයෙක් වර ප්‍රකාශ කර තිබුණා. මම හිතන්නේ මට වගේම සියුම් ආඩම්බරයක් ඇයටත් තියෙන්න ඇති.

ඇන්ජලින් ගුණතිලක ආඩම්බරකාර චරිතයක් කියලා සමහරු කිව්වා. මම හිතන්නේ ඒ වගේ මතයක් ගොඩනැගෙන්න ඇත්තේ ඇය තුළ තිබුණ වෘත්තීය අභිමානය නිසා වෙන්න ඇති. ඇන්ජි අක්කා ගීත ගායනා කරන්න ලොකු මුදලක් අය කළා. ඇය ආවාට ගියාට ගීත ගායනා කළෙත් නැහැ. හැබැයි ඇය අය කළේ දක්ෂතාවට සරිලන සාධාරණ මුදලක්. මුල් කාලෙදි ප්‍රසංග වේදිකාවලට ගී ගයන්න ගියත් පස්සෙ කාලෙක එයා ඒකත් නතර කර දැම්මා. මොකද මහ රෑ නිදිවරාගෙන පෝලිම්වල ඉඳලා ගීත කියන්න එයා කැමැති වුණේම නෑ. ඒක ඇන්ජලින් ගුණතිලකගේ ආඩම්බරකම කියලයි සමහරු හිතුවේ.

මම හිතන්නේ නම් ඇන්ජි අක්කගෙ හැකියාවට නිසි ඇගයීමක් ලැබුණේ නෑ. සාධාරණයක් ඉෂ්ට වුණෙත් නෑ. සමහර අවස්ථාවල ඇයට ලැබිය යුතුව තිබූ සම්මාන පවා නොලැබී ගියා. නමුත් ඇය ඊට එරෙහිව කොතැනකවත් තම විරෝධය පළ කළේ නෑ. ඇය තමන්ගේ පාඩුවේ තමන්ගේ කාර්යයේ දිගටම නිරතව සිටියා.

ඇන්ජි අක්කාගේ ගීතවලින් සතුටු වුණු රසික රසිකාවියන් මෙතෙකැයි කියා කියන්න බැහැ. ඒ හැමෝම ඇගේ ගීතවලින් ප්‍රීති ප්‍රබෝධයට පත් වුණා. කලාවෙන් කෙනෙක් සුවපත් කරනවා කියන්නේ පින් අයිති වෙන දෙයක්. ඉතින් ඒ පිනම ඇති ඇන්ජි අක්කට ඇය ප්‍රාර්ථනා කරපු ලෝකයට යන්න. ඇයගේ වියෝව අපේ සංගීත ක්ෂේත්‍රයට කිසිදා පිරවිය නොහැකි පාඩුවක්. අවසන් වශයෙන් ඇයට මම මොක්සුව ප්‍රාර්ථනා කරනවා.