විශේෂාංග

හෙල්ලෙන පොළොවෙන් වික්ටෝරියාවට තර්ජන

මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය පිහිටා තිබෙන භූමි ප්‍රදේශය අද වෙද්දී අවදානම් තත්ත්වයට ලක්ව ඇති බවට භූ විද්‍යාඥයන් අනතුරු හඟවති. ඊට හේතුවී ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මේ වසරේදී සිදුවූ භූ චලන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යෑමය. එම ප්‍රදේශයේ මේ වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී භූ චලන හතරක් වාර්තා වී ඇත. වික්ටෝරියා වේල්ලට යම් අවදානම් තත්ත්වයක් උද්ගත වීමට පෙර මෙම භූ චලන පිළිබදව පුළුල් අවධානයක් යොමුකළ යුතුව ඇතැයිද භූ විද්‍යාඥයෝ පවසති.

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හාරගම, අනුරගම, දිගන, පල්ලේකැලේ, අඹකොටේ, අලුත්වත්ත ආදී ප්‍රදේශවලින් මේ වසරේ මුල් වරට භූ චලනයක් වාර්තා වූයේ ඉකුත් අගෝස්තු මස 29 වැනිදාය. ඊට පසුව යළි සැප්තැම්බර් මස 02 වැනිදා ද භූ චලනයක් වාර්තා විය. අනතුරුව භූ චලනයක් වාර්තා වූයේ ඉකුත් නොවැම්බර් මස 18 වැනිදාය. ඊට දින 11 කට පසුව එනම්, නොවැම්බර් මස 29 වැනිදා රාත්‍රි 8.45 ට යළි භූ චලනයක් වාර්තා විය. එය රිච්ටර් පරිමාණ දෙකකට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල සඳහන් කරයි.

ඉකුත් 29 වැනිදා සිදුවූ භූ චලනය වාර්තා වූයේද වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හාරගම, අනුරගම ආදී ප්‍රදේශවලින්. මෙම භූ චලනය පල්ලේකැලේ සහ මහකනදරාව භූ කම්පන මානවලද සටහන්ව තිබිණි. මේ සියලු භූ චලන රිච්ටර් පරිමාණ ඒකක එකත්, තුනත් අතර අගයක් ගනී.

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත කලාපයේ දිගින් දිගටම සිදුවන භූ චලනවල බලපෑම මත ජලාශයේ වේල්ලට අවදානමක් තිබෙන බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

මේ සම්බන්ධව සතියක්, දෙකක් තුළදී පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත්, මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහාය ලබාදීමට සූදානම් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත්, මේ වෙද්දී තත්ත්වය බරපතළ අඩියකට පත්ව තිබේ. වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණයෙන් සිදු කෙරෙන හුනුගල් කැඩීමේ කටයුතු ද මෙම භූ චලන තත්ත්වයන්ට බලපාන බව භූ විද්‍යාඥයෝ පවසති.

හුනුගල් පාෂාණය අභ්‍යන්තරයේ තිබෙන කුහරවල සිදුවන ක්‍රියාවලීන්ගේ බලපෑම මතද මෙවැනි භූ චලන ඇතිවන බව භූ විද්‍යාඥයෝ පවසති.

මෙම භූ චලන තත්ත්වයන් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් භූ විද්‍යාඥයන් කණ්ඩායමක් යොදවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පරිසර ඇමැති මහින්ද අමරවීරට වාර්තාවක් භාර දුන්නේය. වහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ කීපයක් එම වාර්තාව මගින් දක්වා ඇත.

කෙටි කාලයක් තුළ භූ කම්පන කීපයක් සිදුවීම නිසා දිගු කාලීන අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, නිවාසවල සිදුවන ව්‍යුහාත්මක වෙනස්කම් දිගින් දිගටම පරීක්ෂාවට ලක් කිරීම, පාසල් සිසුන්ට පුහුණුවක් ලබාදී මෙම භූ චලන තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණයට යොමු කිරීම, වික්ටෝරියා වේල්ලේ ජලාශ ව්‍යුහයන්හි ත්වරණමාන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ආදී නිර්දේශයන් එම භූ විද්‍යාඥ කණ්ඩායම විසින් ඉදිරිපත්කර තිබිණි.

භූ චලන දිගින් දිගටම සිදුවීම නිසා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල භූ විද්‍යාඥයන් කණ්ඩායමක් ස්ථිරව යොමු කිරීමට ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අවධානය යොමුවී තිබේ.

නමුත්, මෙම ක්‍රියාවලීන් වාර්තාවලට පමණක් සීමා නොවී කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇත. පසුගිය කාලය පුරාවටම වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන භූ චලන පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු නොවීය. මේ වසරේ සිදුවූ භූ චලන හතරම වික්ටෝරියා වේල්ලේ ස්ථාපිත කර තිබෙන ත්වරණ මානවල සටහන්ව ඇතැයිද මහවැලි අධිකාරිය සඳහන් කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යාඥයින්ගේ ද සහාය ඇතිව මෙම භූ චලන සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇති බවද මහවැලි අධිකාරිය සඳහන් කරයි.

කෙසේ නමුත්, අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා දැමීමෙන් පළක් නොවන්නේය. මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවන භූ කම්පන පිළිබඳව සොයා බැලීම සඳහා ආයතන කීපයක්ම මහනුවර නගරයේම පිහිටා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය මෙම ආයතන වේ. නමුත්, මෙම ආයතනවල භූ විද්‍යාඥයන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීමද ගැටලුවකි. අසීමිත සම්පත් සහිත මහනුවර, හන්තාන මූලික අධ්‍යයන ආයතනයෙන් මෙම භූ චලන පිළිබඳව ඝෘජු දායකත්වයක් ලබාගත හැකිය.

ගල් වෙඩි දමා මහා පරිමාණයෙන් මහනුවර ආශ්‍රිතව හුනුගල් කැඩීමේ කටයුතු සිදු කෙරේ. මෙම කටයුතු විධිමත් ආකාරයකින් පාලනය විය යුතු බවද මේ පිළිබඳව උනන්දුව දක්වන විද්වතුන්ගේ මතයයි.

සාලිය කුමාර ගුණසේකර

වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානය