කතුවැකි

හෙණ ගහපන් ගණන් බලාපන් තාලේ විදුලි බල මණ්ඩලය

පසුගිය 3 දා පූර්ව දැනුම් දීමක් පවා නොකර රට පුරා විදුලිය කැපීමක් සිදුව ඇත්තේ විදුලිය හිඟයක් නිසා නොවන බව මේ වන විට අනාවරණ වී තිබේ. මෙම විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවට අනුව එදින මෙරට ස්ථාවර විදුලි නිෂ්පාදනය මෙගාවොට් දෙදහස් පන්සියයකි. එහෙත් එදින රටේ විදුලිබල අවශ්‍යතාව වී ඇත්තේ මෙගාවොට් දෙදහස් එකසියයක් පමණකි. මේ අනුව පෙබරවාරි 3 දා විදුලිබල මණ්ඩලය විදුලිය කැපීමට පියවර ගෙන ඇත්තේ මෙගාවොට් 400 ක අතිරික්ත විදුලියක්ද තිබියදීය. විදුලිබල මණ්ඩලයට විදුලිය කැපීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් පෙබරවාරි 3 දා විදුලිය කැපීමට එවන් අවරසයක්ද ලබාගෙන නැත.

විදුලිබල මණ්ඩලයේ මෙම අත්තනෝමතික විදුලිය කැපීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 188 ක් බවටද ගණන් බලා තිබේ. ඇත්ත වශයෙන්ම විදුලිබල මණ්ඩලය රටට කරමින් සිටින පාඩුව ගැන සසඳන කල මේ පාඩුව ඉතා සුළු එකකි. විදුලිබල මණ්ඩලය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් බිලියන සියයකි. ඛනිජ තෙල් සංස්ථාවට පමණක් රුපියල් කෝටි අටසියයක ණය ගෙවීමට තිබේ. මෙම ණය ගෙවීමට සහ ආයතනය පවත්වාගෙන යෑමට ආණ්ඩුව තවත් රුපියල් කෝටි එක්දහස් පන්සියයක් ලබාදී ඇත.

මේ සියලු පාඩු දරා ගැනීමට සිදුවන්නේ ආණ්ඩුවට, විදුලිබල ඇමැතිවරයාට හෝ විදුලිබල මණ්ඩලයේ ලොකු ලොක්කන්ට නොව, මේ රටේ ජනතාවටය. විදුලිය කැපීමේ අවශ්‍යතාවක් නොතිබියදීත් පෙබරවාරි 3 දා විදුලිය කැපීමක් කර තවත් රුපියල් මිලියන 188 ක පාඩුවක් කර තිබෙන්නේ එසේ තිබියදීය. මේ අනුව අපට පිළිගැනීමට සිදුවන්නේ මීට පෙර විදුලිය කැපීම් සිදුව ඇත්තේ ද මේ අන්දමට බවය. ඊට හේතුව කුමක්ද?

සෑම වසරකම මුල් මාස කිහිපයේදී විදුලිය කැපීමට සිදුවන බවට වාර්තා පළ වේ. විදුලිය කැපීම යනු රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාළ වීමට සෘජුව බලපාන හේතුවකි. විදුලිය කැපීම ආණ්ඩුවක ජනප්‍රියතාව අඩුවීමට හේතුවකි. මේ නිසා සෑම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමටය. ඒ සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කරන්නේ හදිසි මිල දී ගැනීම් යටතේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම යනු විදුලිබල මණ්ඩලයේ ලොකු ලොක්කන්ට පමණක් නොව, විදුලිබල විෂය භාර අමාත්‍යවරයාට පවා මල්ල පිරෙන වැඩකි.

විදුලි බල මණ්ඩලය 2015 වසරේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලුතෙන් මෙගාවොට් එකක හෝ විදුලිය බලයක් එක්කර නැත. කෙරවළපිටිය LNG විදුලි බලාගාරය ඉදිකිරීමේ සැලසුම තවමත් සැලසුමක් පමණකි. තවමත් එය ඉදිකිරීමට විදුලිබල මණ්ඩලය සූදානම් බවක් දැන ගන්නට නැත. නමුත් 2015 සිට පෞද්ගලික වශයෙන් විදුලිය මිල දී ගැනීම් සිදුව තිබේ. මේ මිල දී ගැනීම සිදුව ඇත්තේද එක් සමාගමකින් පමණකි.

ජල විදුලිය නිෂ්පාදනය අඩාළ කිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් හිතාමතාම ජලාශවල ජලය ඉවත් කරන බවට දූෂමාණ ආරංචියක් පවතින්නේ කලක සිටය. විදුලිබල අතිරික්තයක් තිබියදී විදුලිය කැපීම සිදුවන තත්ත්වයක් තුළ මේ ආරංචිය තවදුරටත් දූෂමාණ ආරංචියක් පමණක් ලෙස පිළිගත හැකිද? නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නිතර නිතර බිඳ වැටීම්වලට ලක්වන්නේද මෙවැනිම හේතුවක් නිසා විය නොහැකිද?

අප රටේ ප්‍රධානම විදුලි උත්පාදන මාර්ගය වන්නේ ජල විදුලියයි. එහෙත් කාලගුණික විපර්යාසයක් නිසා වර්ෂාව අඩු වුවහොත් විදුලිය නිෂ්පාදනය අඩු වේ. තාප විදුලිය භාවිතයට ගැනීමට සිදුවන්නේ ඒ නිසාය. එහෙත් වර්ෂයෙන් වැඩි කාලයක් ඉතා හොඳින් හිරු එළිය වැටෙන රටක් ලෙස සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීම අපට ඇති හොඳ විකල්පයකි. පසුගිය ආණ්ඩුව සූර්යබල විදුලිය ව්‍යාපෘති දියත් කිරීමට බලවත් උත්සාහයක් ගත් නමුත් විදුලිබල මණ්ඩලයෙන් ඊට සහයක් ලැබුණේ නැත.

මේ සියලු කාරණාවලින් පෙනී යන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට රටේ විදුලිය නිෂ්පාදනය ඉහළ නැංවීමට හෝ විදුලිය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවකි. ඔවුන්ගේ එකම වැඩපිළිවෙළ වී තිබෙන්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමය. එහෙත් එහිදී ඔවුන් මුල් තැන දෙන්නේ සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකි පෞද්ගලික ජල විදුලි බලාගාරවලට නොව, වැඩි මිලක් ගෙවිය යුතු ඩීසල් විදුලි බලාගාරවලටය. වැඩි මිලට ගන්නා මේ විදුලිය පාරිභෝගිකයාට දීමට සිදුවන්නේ අඩු මිලකටය. විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ පාඩුව නැති කිරීමට නම් කළ යුත්තේ මේ පෞද්ගලික විදුලි ජාවාරම නවත්වා ගැනීමය.

එහෙත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ඒකාධිකාරය හමුවේ මෙය ඉතා දුෂ්කර කටයුත්තකි. ඔවුන්​ගේ මේ ජාවාරම් නැවැත්වීමට උත්සාහ ගන්නා ඇමැතිවරයෙක් හෝ වෙනත් බලධාරියෙක් වෙතොත් ඔහුව ගෙදර යවන්නට තරම් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව ශක්තිමත්ය. මේ නිසා බලධාරීන්ද කරන්නේ දෙන දෙයක් කා වෙන දේ බලා සිටීමය.

අප කවුරුත් කතා කරන්නේ කොමිස් ගහන දේශපාලකයන් ගැනය. ඔවුන්ගේ අයථා ගනුදෙනු පිළිබඳවය. එවැනි දේශපාලකයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවා ගොනු කෙරේ. එහෙත් විදුලි බල මණ්ඩලයේ දූෂණ වංචාවලට සම්බන්ධ එකම නිලධාරියකු සම්බන්ධයෙන් හෝ පියවර ගත් බවක් වාර්තා වී තිබේද?

විදුලිබල මණ්ඩලය යනු රටක් තුළ ඇති තවත් රටක් වැනි ආයතනයකි. මේ තුළ සියලු අංශවල නිසි බලධාරීන් වන්නේ ඉංජිනේරුවන්ය. ගිණුම්කරණය වුවත්, පිරිස් පාලනය වුවත්, මිල දී ගැනීම් වුවත්, ඕනෑම කාරණයක අවසන් බලධාරියා ඉංජිනේරුවෙකි. ඕනෑම දෙයක් යෝජනා කරන්නේද, පරීක්ෂා කරන්නේද, නිර්දේශ කරන්නේද, අනුමත කරන්නේද, චෝදනා විභාග කරන්නේද ඉංජිනේරුවන් විසිනි. ඔවුන් සියල්ල දත්ලාය.

මේ සියල්ල දත්ලාගේ කෙරුවාව පෙබරවාරි 3 දා විදුලිය කැපීම මගින් සාක්ෂි සහිතව සනාථ වී තිබේ. මේ පිළිබඳ සොයා බැලූ කමිටුව විදුලිබල මණ්ඩලයේ පරිපාලනයේ පවතින තවත් බරපතළ අඩුපාඩු ගණනාවක් සම්බන්ධයෙන් සිය වාර්තාව මගින් කරුණු දක්වා ඇත. දැන් ඇත්තේ ආණ්ඩුවේ වාරයයි. රටම බලා සිටින්නේ විදුලිබල ඇමැතිවරයා වැරදිකරුවන්ට දඬුවම් කරයිද, නැතහොත් ඔහුට ගෙදර යන්න සිදුවනු ඇත්ද යන්න ගැනය.