විශේෂාංග

හූල් අයින් කරන්න හූල්ල හූල්ල ඉන්නේ ඇයි?

”මම සිංහල දන්නෙ නෑ… ඒ හින්දා මට සිංහල භාෂාවෙන් ලියා තියෙන සියලුම කුණු කියවන්න බැහැ… ඒවා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන සමහර මුද්‍රිත මාධ්‍යයන්… ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් ඉන්නවා… ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ යි… ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුයි…”

මේ කතාව ඇසුණේ දේශපාලන වේදිකාවකින් නොවේ. එම කතාව කීවෙත් කට කැඩිච්චි කතා කිරීමට පුරුදු දේශපාලනඥයන්ද නොවේ.

මෙසේ කීවේ ‘ස්වාධීන’ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ය. සාමාන්‍යයෙන් කට ඇරියොත් ‘ප්‍රවෘත්තියක්’ මවන හූල්ගේ මේ ප්‍රකාශය ප්‍රවෘත්තියකිනුත් ඔබ්බට ගිය මහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූයේ, එම ප්‍රකාශයේ ඉලක්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසාය. විශේෂයෙන්ම මහ මැතිවරණයක් මුවවිටේ තිබියදී ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසමේම සාමාජිකයෙකු අතින් එවැන්නක් කියැවීම දෙබරයකට ගල් ගැසුවාක් විය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නෑඟූ පැනයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මෙසේය.

”මහාචාර්ය හූල් කිසිදා දේශපාලන පක්ෂයක් අගතියට පත්වන ප්‍රකාශයක් කළේ නෑ… මහාචාර්ය හූල් කියපු දේ මම විශ්වාස කරනවා… මොකද එයත් එක්ක අපි එකට වැඩ කරනවා…”මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ‘දුන් උත්තරයෙන් අපට පරණ දේශපාලන කතාවක් මතක් විය.

1960 දශකයේ වෝල්ටර් තල්ගොඩපිටිය අල්ලස් කොමිසමෙන් වරදකරුවකු වූ රත්ගම ඇම්.පී. ද සොයිසා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ගමට ගිය ඔහු රත්ගම හන්දියේදී ගම්මු පිළිගත්තේ අපේ හොරා අපට හොඳ කියමින්ලු. ඒ කතාවේ හැටියට හොරා වුණත් ඌ අපේ එකාය. රත්ගම කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අම්බලන්ගොඩ ගමට අල්ලපු ආසනයය. මුල්කාලේ රත්ගමේ කොටසක් අයිති වූයෙත් අම්බලන්ගොඩ බලපිටිය ආසනයටය.

ඒ කතා කෙසේ වුවත් හූල්ගේ ප්‍රකාශයට එරෙහි වන්නේ දේශපාලන පක්ෂ පමණක් නොවේ.

”අපි විශ්වාස කරන හැටියට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කළ යුතුත් නෑ… අගතියට පත් කළ යුතුත් නෑ… ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය වෙන හෝ අගතියට පත් වෙන විදියෙ ඉඟියක්වත් පල කළ යුතු නෑ… මහාචාර්ය හූල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගත්තොත් එහි පරිවර්තනයත්, ඒ බොඩි ලැංවේජ් එකත් තමා අපට බලන්න වෙන්නෙ… එහෙම බලනකොට ඒ ප්‍රකාශයෙන් එක් පක්ෂයක් අගතියට පත්වන බව පේනවා.. කොහොම වුණත්, මහාචාර්ය හූල් වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කියනවා, ඔවුන් අතින් ඒ ආකාරයට පක්ෂයක් අගතියට පත්කිරීමක් නොවුණු බව… ඒ වගේම ඔවුන් කියනවා, තමන් අපක්ෂපාතී බවත්… ඒත් එහෙම කිව්වට විතරක් මදි… ඔවුන් අපක්ෂපාතී බව අපටත් දැනෙන්නත් ඕන…” යැයි පවසන්නේ ‘පැෆරල් සංවිධානයේ’ විධායක අධ්‍යක්ෂ මෙන්ම ‘මාර්තු 12 ව්‍යාපාරයේ’ කැඳවුම්කරු ද වන රෝහණ හෙට්ටිආරච්චිය.

”මහාචාර්ය හූල්ගේ ප්‍රකාශනයේ බරපතළකම වඩාත් දරුණු වෙන්නෙ, එයා ඊට කලිනුත් මේ වගේ පක්ෂග්‍රාහී බව පල කරන හැසිරීම් පෙන්නුම් කරලා තියෙන නිසා… උදාහරණයක් හැටියට අවස්ථා කිහිපයකදීම මහාචාර්ය හූල් කොමිසමේ සාමුහික තීරණ අබිබවා යාම ගන්නත් පුළුවන්… ඒ හැම වෙලාවකම එයා කියන්න උත්සහ කළේ, ‘කොමිසමේ සාමුහික තීරණය එකක්… මගේ පෞද්ගලික තීරණය වෙන එකක් ය’ කියන එක… ඒ වුණත් එයාට එහෙම එළියේ දී තමන්ගේ පෞද්ගලික අදහස් ප්‍රසිද්ධියේ කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ… කොමිසමක් කියන්නෙත් හරියටම ‘කැබිනට් එක’ වගේ… ඔවුන් බැඳී ඉන්නවා, ‘සාමුහික තීරණය’ විවේචනය නොකරන්න… ඒ වගේම සාමූහික තීරණය ප්‍රකාශයට පත් කළාට පස්සෙ එළියෙ තැන්තැන් වල ‘පෞද්ගලික තීරණය’ නොකියන්න… දැන් මම පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා හැටියට ඉන්න ගමන්, මාධ්‍යයට ‘මගේ පෞද්ගලික අදහස්’ කියන්න යන්නෙ නෑ… මොකද අපි මේ වගේ තනතුරක ඉන්නකල් එහෙම කරන එක යුක්තිසහගත නෑ… හැම වෙලාවෙම අපි අපේ තනතුරු වල ගෞරවය ආරක්ෂා කරන්න ඕන… විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයින්, මේ වගේ මැතිවරණ වෙලාවක ‘මැතිවරණයට අදාළ කාරණා’ විතරක් කතා කරනව නම් ඇති… වෙන වෙන කතන්දර කියවන්න ගියාම තමයි ඔහොම ඒවා කියවෙන්නෙත්…” පැෆරල් හි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම ස්වාධීන ආයතනයක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කර තිබෙන මැතිවරණ කොමිසම වැනි ආයතනයක සාමාජිකයෙකු මේ ආකාරයට හැසිරීම සහ ඔහුට සභාපතිවරයා විසින් ද ‘ආවරණයක්’ ලැබීම නිසා එම කොමිසමේ කීර්තිනාමයට වන අපකීර්තිය ගැන ද අපි ඔහුගෙන් විමසුවෙමු.

”මැතිවරණ කොමිසම වගේ ස්වාධීන ආයතනයකට ‘මහජන විශ්වාසයෙන්’ තොරව පවතින්න බෑ… ඒකත් හරියට විභාග දෙපාර්තමේන්තුව, අධිකරණය වගේම මහජන විශ්වාසය උපරිමයෙන් රැකගත යුතු ආයතනයක්… සාමාජිකයන්ගේ හැසිරීම්, ප්‍රකාශන නිසා පොදුවේ මුළු මහත් මැතිවරණ කොමිසමම අපකීර්තියට පත්වෙන බව ඔවුන් තේරුම්ගන්න ඕන… මොකද, යම් හෙයකින් මේ වගේ ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වුණොත් ඒක නැවත ගොඩනඟන්න අමාරුයි…” පැෆරල් හි විධායක අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.

කෙසේ නමුදු මේ මහාචාර්ය රත්නජීවන් හූල්ට එරෙහිව එල්ල වූ මුල්ම චෝදනාව නොවන්නේය. 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහ මැතිවරණයක් කැඳවූ අවස්ථාවේදී මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණයට යාම, 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට පක්ෂව වෙනම නීතිඥයෙකු මගින් අධිකරණයට කරුණු කීම, 2020 ජනාධිපති ගෝඨාභය විසින් මහ මැතිවරණයක් කැඳවූ අවස්ථාවේ දී එය කල් දැමීමට පක්ෂව කරුණු කීම යන චෝදනාද ඇතුළත්ය. මේ මොන චෝදනා තිබුණත් හූල් තනතුරේ තවමත් යහතින්ය. ඉහත සඳහන් වන ‘මහාචාර්ය හූල්ගේ ප්‍රකාශය’ සම්බන්ධයෙන් එම කොමිසම හමුවේ ම ‘පැමිණිල්ලක්’ ගොනු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් දේශපාලනඥයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් ද පුරවැසියන් ද අවස්ථා ගණනාවකදීම පවසා තිබුණේ, මහාචාර්ය හූල්ව මැතිවරණ කොමිසමෙන් ඉවත් කළ යුතු බවයි. එහෙත් මහාචාර්ය හූල් මැතිවරණ කොමිසමෙන් ඉවත්කිරීම ‘හිතන තරම් ලේසියෙන්’ කළ නොහැකි බව නීතිඥ මතයය.

”ඇත්තටම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පක්ෂග්‍රාහී වීම වැනි විෂමාචාර කළත්, ඔවුන්ව ඉවත් කරන එක ඒ තරම් ලේසි නෑ… මම හිතන්නෙ මහාචාර්ය හූල් බයක් සැකක් නැතුව මේ වගේ ආන්දෝලනාත්මක දැඩි ප්‍රකාශ නිකුත් කරන්නෙත් ඒක දැනගෙනම තමා…” යැයි පවසන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාය…

යම් හෙයකින්, මහාචාර්ය හූල්ව මැතිවරණ කොමිසමෙන් ඉවත් කරන්නේ නම්, එය කළ හැකි ‘ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය’ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා විසින් වැඩිදුරටත් පැහැදිලි කරන ලද්දේ මෙසේය.

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 103(4) වගන්තියෙ තියෙන හැටියට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉවත් කරන්න වෙන්නෙ, ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි අභියාචනාධිකරණයේ හරි විනිශ්චයකාරයෙක් ඉවත් කරන විදියට… ඇත්තටම ඒ විදිය සවිස්තර වශයෙන් සඳහන් වෙන්නෙ ව්‍යවස්ථාවෙ 107(2) වැනි වගන්තියෙ… සරලව කිව්වොත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉවත්කරන්න නම්, එයාගේ විෂමාචාරය හෝ කායික මානසික දුබලතාව කරුණු ඇතිව ඔප්පු කරන්න ඕන… ඒ වගේම ඒ කරුණු මත පදනම්ව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ගෙන් 1/3 ක අත්සන් සහිතව දෝෂාභියෝග යෝජනාවක් ගේන්න ඕන… ඊට පස්සෙ කතානායකවරයා ඒ යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළාට පස්සෙ මන්ත්‍රීවරුන් 7 කට නොඅඩු පිරිසකගෙන් යුක්ත කමිටුවක් පත් කරනවා… ඒ අය මේ යෝජනාව සැලකිල්ලට අරං ස්ථාවර නියෝග 78(4) ප්‍රතිපාදනත් අනුව ඒ දෝෂාභියෝග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සිද්ධ විය යුතු ආකාරය සැලසුම් කරනවා… දෝෂාභියෝග යෝජනාවේ කරුණු විභාගයට තියෙන නීති ප්‍රමාණවත් නැත්නම්, අලුත් නීති හදන්න පවා ඒ කමිටුවට පුළුවන්… අන්තිමට මේ යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත වෙන්න ඕන… ඒ වගේම චූදිතයාට නීතිඥයෙකු මාර්ගයෙන් හෝ තනිවම පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබෙනවා… ඒ කරුණුත් අර කියපු 7 දෙනාගේ කමිටුවේ සැලකිල්ලට භාජන වෙනවා… අවසානයේදී විෂමාචාරය ඔප්පු වුණායින් පස්සෙ ජනාධිපතිවරයා පැමිණ පාර්ලිමේන්තුව හමුවේ ‘ඉවත් කිරීම’ ප්‍රකාශයට පත් කළාට පස්සෙ තමයි එම සාමාජිකයා තනතුරින් ඉවත්කරන්න වෙන්නෙ…”

මේ ආකාරයට බලන විට, මොනතරම් ‘විෂමාචාර චෝදනා’ තිබුණා වුවත් මහාචාර්ය හූල්ව එම තනතුරින් පහ කිරීම යනු, ‘කරන්නට අපහසු දෙයක්’ නොව; ‘කරන්නට නොහැකි දෙයක්’ බව පැහැදිලිය. අවම වශයෙන් මේ මොහොතේ ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් ද නොමැති බැවින්, ඔහුට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියක් සඳහා මුල පුරන්නටවත් නොහැකිය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව විසින් වසර 5 ක ධුර කාලයක් සඳහා ඔහුව එම තනතුරට පත් කරනු ලැබ ඇත්තේ 2015 නොවැම්බර් මාසයේ දිනෙක දීය. ඒ අනුව 2020 නොවැම්බර් මාසයේ දී, එනම් තව මාස 5 කින් ඔහුගේ ධුර කාලය අවසන් වන අතර ස්වයංක්‍රීයවම ඔහු එම තනතුරින් ඉවත් වේ.

– සුරේඛා සමරසේන