කතුවැකි

හූල්ගේ කිල්ලෝටේ හුණු නැද්ද?

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යළිත් වරක් පොදු සමාජය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්ව සිටී. මෙවර ඔහුට චෝදනා නැගෙන්නේ නිරෝධායනය අවසන් කළ තම දියණිය ස්වයං නිරෝධායනයට ලක් නොකර මැතිවරණ කොමිසමේ කාර්යාලයට රැගෙන ආ බවටය. මේ චෝදනාවට පිළිතුරු දෙමින් මහාචාර්ය හූල් පවසා ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටීමෙන් පසු ස්වයං නිරෝධායනයටද ලක් විය යුතු බව බලධාරින් තමන්ට උපදෙස් නොදුන් බවය. කාර්යාලයේදී නිලධාරින් තමන් මගහැර ගිය බවත්, තමන්ට මේ චෝදනා නගන්නේ මැතිවරණ ක්‍රියාදාමය අඩපණ කිරීමට දැයි සැකයක් නැගෙන බවත් මහාචාර්ය හූල් සඳහන් කර ඇත. සිනාවට කාරණාව වන්නේ මැතිවරණය පැවැත්වීමට එරෙහිව උසාවි යෑමට පවා පසුබට නොවන මහාචාර්ය හූල් මැතිවරණ ක්‍රියාදාමය අඩපණ වේ යැයි කනස්සල්ලට පත් වීමය.

මහාචාර්ය හූල්ගේ මේ ක්‍රියාවන් හා නිදහසට ඉදිරිපත් කරන කරුණුවලින් අභියෝගයට ලක්වන්නේ ඔහුගේ පමණක් නොව මැතිවරණ කොමිසමේද, අවංකකම, වගවීම, පාරදෘශ්‍යභාවය, ස්වාධීනත්වය බව අපගේ අදහසය. මේ නිසා එම කොමිසමේ රාජකාරී ක්‍රියාදාමය ගැන සමාජය තුළ කුකුසක්, අවිශ්වාසයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. අප මේ ගැන අවධානය යොමු කළ යුත්තේ ඒ නිසාය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කෙරුණු ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය අභියෝගයට ලක් වූයේ එහි ආරම්භයේ සිටමය. ඒ මහාචාර්ය හූල් නිසා පමණක් නොව එහි සභාපතිවරයාගේද හැසිරීම නිසාය. කොමිසමේ සභාපතිවරයා අදත් හැසිරෙන්නේ නිලධාරියකුට වඩා දේශපාලකයකු ලෙසය. ඔහු තරම් ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින සත්ත්වයකු මේ තුන් ලෝකයේම නැති ආකාරයටය.

සිවිල් සමාජය විසින්ද ඔහුව එවැනි තලයකට ඔසවා තැබූ අතර වරක් හොඳම රාජ්‍ය සේවකයා ලෙසද සම්මානයට පාත්‍ර කිරීමට ද පියවර ගත්තේය. එසේ වුවත් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහාචාර්යවරයාම කියන ආකාරයට කොමිසමේ සභාපතිවරයා තීන්දු තීරණ ගන්නේ අනෙකුත් සාමාජිකයන් සමග සාකච්ඡාවකින් තොරවය. මහාචාර්ය හූල්ගේ මේ චෝදනාවෙන්ද තහවුරු වන්නේ සභාපතිවරයා ‘‘කොමිසම යනු මමයි’, ආකල්පයෙන් හැසිරෙන බව නොවේද?

සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා සිය පෞද්ගලික ජීවිතයේදී තමන් කියන බණට අනුව ජීවත් වන්නේ නැත. මැතිවරණ ​කොමිසමේ සභාපතිවරයාද, මහාචාර්ය හූල්ද පෙන්නුම් කරමින් සිටින්නේ මේ සත්‍යයයි. විදේශගතව සිටි වැඩිහිටියකුද වන තම පුත්‍රයා ගෙන්වා ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලීම් කරන්නේ තම නිල නාමයේ බලය නිසා නොවේද? තම දරුවන් විදේශගතව සිටින දහස් ගණන් දෙමාපියන්ට එවැනි අවස්ථාවක් තිබේද?

මහාචාර්ය හූල් ඊනියා සිවිල් සමාජයේ සම්භාවනාවට පාත්‍ර වන්නේ ඔහුද ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන්, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන්නකු ලෙසය. මේ කියන මහාචාර්ය හූල් තමන්ට නිල වශයෙන් හිමි නොවන මැතිවරණ කොමිසමට අයත් නිල නිවසක රැඳී සිටින්නේ කෙසේද? කොළඹ – බම්බලපිටියේ පිහිටි මේ නිල නිවස අත්පත් කරගෙන සිටින මහාචාර්ය හූල් යාපනයේ පදිංචිය ඉදිරිපත් කර සාමාන්‍ය ඉන්ධන දීමනාව මෙන් දෙගුණයක ඉන්ධන දීමනාවක් ලෙස මාසිකව රුපියල් පනස්දහසක් ලබා ගන්නේ කෙසේද? මේ තරම් ඉන්ධන දීමනාවක් ලබා ගන්නා ඔහු රාජකාරි කටයුතු සඳහා යළිත් වරක් මැතිවරණ කොමිසමේ වාහන භාවිත කරන්නේ කෙසේද? පසුගිය දිනෙක ඔහු තම දියණියද සමග මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේද මැතිවරණ කොමිසමේ නිලධාරියකුගේ නිල වාහනයෙනි. මේවා රාජ්‍ය සම්පත් අවභාවිතයක් නොවේද?

සිවිල් සමාජය කියන අන්දමට මහාචාර්ය හූල් තරම් නීතියට ගරුකරන, ගුණගරුක අයකු නැත. 2018 වසරේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය ආපසු හරවා පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට හැකි වූයේ ඔහු නිසාය. එසේ වුවත් මේ කියන මහාචාර්ය හූල් 2011 වසරේදී අධිකරණ වරෙන්තුවක් මගහැර රටින්ද පලාගිය අයකු බව නොදන්නේ කවුද?

කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග ඇතැයි කියමනක් තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් මේ ආකාරයට මහජන මුදල් අවභාවිත කරද්දීත් නිහඬව සිටින්නේ ඒ නිසාද යන සැකයද දැන් බරපතළ ලෙස නැගෙන්නට පටන්ගෙන තිබේ. එසේ වුවත් ‘‘කොමිසමේ සාමාජිකයෙක් පිටි පස්සෙන් සිට මට පිහියෙන් ඇන්නා’’ වැනි ප්‍රකාශ කරන්නේ තමන් සුදනා බව පෙන්වීමටය. වැරදි දේ වැළැක්වීමට පියවර නොගෙන එවැනි මගෝඩි ප්‍රකාශ කිරීම, ඒ වැරදි කිරීම තරම්ම තක්කඩිකමක් බව අපගේ අදහසය. එමගින් තව තවත් ජනතාව ඇන්දවීමට උත්සාහ කරන නිසාය.

අපේ සමාජය නීතිගරුක, යුක්තිගරුක, ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ, මිනිස් අයිතීන් රකින, උත්තර සමාජයක් බවට පත් කිරීමට කතා කරන බොහෝ අය සිටිති. දේශපාලකයන්, නිලධාරින්, පූජ්‍ය පූජකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යකරුවන්, වෘත්තිකයන් ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය ඒ අතර වෙති. මේ සියලු දෙනා සිතන්නේ තමන් හැර අනෙක් සියලු දෙනා අපේ සමාජ පිරිහීමට වගකිව යුතු බවය. එසේ වුවත් මේ කියන බොහෝ දෙනා පෞද්ගලික ජීවිතයේදී අනෙක් හැම දෙනාම කරන වැරදි කරන්නෝය. ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසම සමන්විතව ඇත්තේ ද එවැනි අයගෙනි. ඉතින් අප ඉන් අපේක්ෂා කළ යුත්තේ ඔවුන්ට ‘සාපේක්ෂ’ ස්වාධීනකමකි.