විශේෂාංග

හුටු හුටු සද්දේ නැති ත්‍රිරෝද එයි

‘චාටරේ 20යි, ලීටරේ 50යි’ මේ පෙට්‍රල් ලීටරය රුපියල් 50ට තිබුණු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේ ලංකාවේ ත්‍රිරෝද රථ පිටුපස ගසා තිබූ උදාන වාක්‍යයකි. මෙයින් කියැවෙන්නේ පැය ගාණක් චාටර් වී රුපියල් 20ක ත්‍රීවීල් ගාස්තුවක් සොයා ගැනීමට පෙට්‍රල් ලීටරයට රුපියල් පනහක් වැය කළ යුතු බවය. එහෙත් එම වාක්‍යය ඊළඟ පෙට්‍රල් මිල වැඩිවීමත් සමගම අතුරුදන්ව තොලොංචි වී ගියේය.

මංගල සමරවීරගේ ඉන්ධන මිල සූත්‍රය තිබුණා නම් මාසෙන් මාසයට චාටරේ 20යි, ලීටෙර් 50යි වාක්‍යය මාසිකව වෙනස් වීමට තිබුණි. එහෙත් අද තත්ත්වය වෙනස් වී තිබේ. ඉන්දියාව සැලසුම් සකස් කොට ඇත්තේ 2025 වනවිට ඉන්දියාවේ ත්‍රිරෝද රථ සියල්ල විදුලියෙන් ක්‍රියාත්මක කරන ඒවා බවට පත් කිරීමටය. චීනයේ දැන් බස් දුවන්නේද ආරෝපණය කරන බැටරි විදුලියෙන් චාර්ජ් කිරී‍මෙනි.

ලංකාවේද පසුගිය කාලයේදී ඉලෙක්ට්‍රික් කාර් ජනප්‍රිය වෙන්නට විය. හිටපු ඇමැති පාඨලී මේ පරිසර සංකල්පය දියුණු කිරීමට හැම නිවසකටම තම වාහනය චාර්ජ් කරන්නට අඩු මිලට විදුලිජනන ලබාදෙන වෙනම ලයින් එකක් නොහොත් සබඳතාවක් ලබාදිය යුතු බවට යෝජනාවක්ද ගෙන ආවේය. මෙහි හිදැස පැටලිලි සහගත වන්නේ වාහනය චාර්ජ් කරන විදුලිය ලබාගන්නේ ඩීසල් පුච්චා නම් එහි ඇති වැදගත්කමක් නැතිවීමය. විදුලිබලයෙන් චාර්ජ් කරන වාහනයක නියම ලාභය රටකට ලැබෙන්නේ එම විදුලිබලය ‘ජලය’ වැනි ලාභදායී ප්‍රභවයකින් ලබාගන්නේ නම් පමණි.

බොහෝ දෙනා සිතා සිටින්නේ ලංකාවට ‘ආටා’ එක නොහොත් ත්‍රිරෝද රථය පැමිණියේ විවෘත ආර්ථිකය ආගමනයත් සමග බවය. එහෙත් ලංකා ත්‍රිරෝද රථවලට 1950ටත් එහා ඉතිහාසයක් ඇති බව ඔබ නොදන්නවා විය හැකිය. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් ත්‍රිරෝද රථ රියැදුරු බලපත් ගත් උදවිය අතරින් 1960න් එහා ඒවා ලබාගත් පිරිස අතළොස්සක් තවම අප අතර සිටී.

ත්‍රිරෝද රථයේ උපන් බිම ඉතාලිය ලෙස සඳහන් කළත් ලංකාවේ ප්‍රකට බුද්ධිමතකු වූ රේ ජයවර්ධන නොහොත් අත් දෙකේ ට්‍රැක්ටරේ නිර්මාතෘවරයාම මේ ත්‍රිරෝද රථයේ නිමැවුම්කරු බවට ඇත්තේ ප්‍රකට මතයකි. ජයවර්ධන මහතා විසින් එම සොයා ගැනීමේ අයිතිය ඉතාලි සමාගමකට අලෙවි කළ බවට රේ ජයවර්ධන මහතා මියගිය මොහොතේ එතුමා ගැන සඳහන් ඉංග්‍රීසි පුවත්පතක සඳහන් විය.

ලංකාවට දැන් ත්‍රීවීලරය කියූ සැණින් මතකයට එන්නේ ඉන්දියාවයි. එහෙත් අපට ත්‍රීවීල් ගැන අලුත්ම අත්දැකීම ලැබී තිබෙන්නේ කොරියාවෙනි. කොරියාව අපට අලුතින් හඳුන්වා දෙන්නේ සූර්ය බලයෙන් චාර්ජ් වන බැටරියකින් ක්‍රියාත්මක වන අති නවීනතම ත්‍රිරෝද රථයකි.

මේ නවතම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන හඳුන්වා දීමේ උළෙල පවත්වන ලද්දේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුග්‍රහයෙනි. එම අධිකාරිය සහ කොරියාව ඒකාබද්ධව කෙරෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. හිරුඑළියෙන් චාර්ජ් කොට දිවිය හැකි ‘ත්‍රීවීල් වගයක් ඇවිල්ලා’ යැයි කියූ සැණින් ඔබ කඩිමුඩියේ ත්‍රිරෝද අලෙවිසල්වලට යෑමේ තදියමක් දැන්ම හදාගත යුතු නැත. ඒ මේ ත්‍රිරෝද රථ ලංකාවේ තියා තවම කොරියාවේවත් වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය නොකෙරෙන නිසාය. මෙය තවමත් කොරියාවත්-ලංකාවත් අතර පර් යේෂණ ව්‍යාපෘතියකි. එහි ප්‍රගතිය සමාලෝචනයෙන් පසු මෙම ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ නිෂ්පාදනය ඇරඹෙන්නේ ලංකාවේ පිහිටුවන දැවැන්ත කර්මාන්ත ශාලාවකය.

මෙම සූර්ය බල ත්‍රිරෝද රථයේ මිල තවම තීරණය කොට නැතත් එහි නිමාව නම් අති නවීනතම රථයකට හිමිකම් කියන බව නොකියාම බැරිය. මෙහි රියැදුරුට අමතරව හයදෙනකුට ගමන් කළ හැකිය. අපේ සාමාන්‍ය ත්‍රීවීල්වල ස්වරූපය මෙම සූර්ය බල ත්‍රිරෝද පැමිණීමෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති. අපේ සාමාන්‍ය ත්‍රීවීල් ස්ටෑන්ඩ්වල ජෑම් ගසක් හෝ බෝ ගසක් හෝ වෙනත් සෙවණට ගසක් මුලින්ම පැළ කරයි.

මෙහි ‘නැවතීමට අනුමත ත්‍රිරෝද රථ 3කි’ වැනි බෝඩ් ලෑල්ලක්ද එහි දැකගත හැකි අතර පහළොවක් විස්සක් ත්‍රිරෝද රථ එහි නවත්වා ඇති බව ඔබටද දැකගත හැකිය. ත්‍රිරෝද රථ නැවතුමේ බංකුවක පිරිසක් තරගයට කාඩ් ගසන අතර ත්‍රිරෝද රථ රියැදුරු අසුනේ සිටින බොහෝ රියැදුරන් තමන් මේ කරන්නේ කුලී රථ රැකියාවක් යැයි වගේ වගක් නැතිව දිනපතා පත්තරයක් ගෙන කියවන්නේ හයර් එකක් යාමට පුද්ගලයකු ඇවිත් කරෙන් අල්ලා සොලවනතුරුය. සමහර ත්‍රීවීල් තිබුණත් රියැදුරන් නැත්තේ ඔවුන් පොඩ්ඩක් රත්වී ඒමට ගොස් සිටි නිසා විය හැකිය.

මේ අලුත් සූර්ය බල ත්‍රිරෝද රථ පැමිණීමත් සමග අපේ මේ සාම්ප්‍රදායික ඔතෑනි ත්‍රිරෝදය අතුරුදන්වනවා ඇත. අලුත් සූර්ය බල ත්‍රිරෝද රථ ක්‍රමයට හුරුවීමෙන් ඔවුන්ගේ අතමිට සරුවන්නේ එහි ඩීසල්, පෙට්‍රල් නැති ඉන්ධන භාවිතාවක් නැති නිසාය.

‘‘මොනාද ඉතින් උ‍ද් 6 ඉඳන් රෑ 8 වෙනකං ආටා එක කැරකෙව්වා. තුන්දහස් අටසීයක් හෙව්වා. 1400කම පැට්‍රල් ගැහුවා’’ යැයි වැනි කියමන් සූර්ය බල ත්‍රිරෝද රථ සංගමය සමග ඔබට දැනගන්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව මේ සූර්ය බල ත්‍රිරෝද රථ චාර්ජ් කරන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙන්නේ ත්‍රීවීල් ස්ටෑන්ඩ් නිසාය. ඒ අනුව මුළු ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකට වහලයක් නිර්මාණය කෙරෙන අතර ඊට ඉහළින් දිගු රත්රන් සෝලා පවර් පැනල්ය. එම පැනල් මගින් ආරෝපිත බලය මගින් මෙම සූර්ය බල ත්‍රිරෝද රථවල බැටරි ආරෝපණය සිදුවේ. තෙල් නැව් එනතුරු පෙට්‍රල් ෂෙඩ් ළඟ වාහන තදබදය මීට පසු ඔබට දැකගන්නට ලැබෙන්නේ නැත්තේ මේ නිසාය.

මෙම සූර්ය බල ත්‍රිරෝද රථයට රාජ්‍ය බදු සහනයක් රජය ලබාදුනහොත් රුපියල් ලක්ෂ තුනකට අඩු මුදලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇති හැකියාව සලකා බලමින් පවතී. ඇස්තමේන්තු කොට ඇති වියදම, යන්ත්‍ර ක්ෂයවීම, ටයර්, බැටරි, විදුලි උපාංග නඩත්තුව සඳහා නඩත්තු වියදම් පියවූ පසු මෙම ත්‍රිරෝද රථයක් කිලෝමීටරයක් ගමන් කිරීම සඳහා  අය කරන ගාස්තුව රුපියල් විස්සකට වඩා වැඩි වන්නේ නැත. මෙම ත්‍රිරෝද රථයේ ඔයිල් දැමිය යුතු එන්ජින්, පිස්ටන්. සයිලන්සර්, කාබලේටර් වැනි මිල අධික අමතර කොටස් නොහොත් ස්පෙයාර්පාට්ස් නැති නිසා නඩත්තු වියදම ඉතා අවම මට්ටමක පවතී.
මෙම සූර්ය බල ත්‍රිරෝද රථය විදුලියෙන්ද චාර්ජ් කළ හැකි වුවත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසන්නේ එය තමන්ගේ අරමුණට පටහැනි බවයි.

මේ රථය කිසිම අපද්‍රව්‍යයක්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායුගෝලයට නිකුත් කරන්නේ නෑ. අපේ රටේ විදුලිය ගන්න ඩීසල්, පෙට්‍රල් පුච්චලා, ඒවා වායුගෝලයට අපද්‍රව්‍ය විදිහට එකතු වෙනවා. අපේ අරමුණ ඊට වෙනස්. දැන් ත්‍රීවීල් ස්ටෑන්ඩ්වල සෝලා පවර් ස්ටේෂන් දැම්මම එතැනින් මේ ත්‍රීවීල් එක චාර්ජ් කරගන්න පුළුවන් කිසිම පරිසර විනාශයක් නෑ. මේකට කියන්නේ සීරෝ එමිෂන් සිස්ටම් (Zero Emmition System) කියලා.

මෙම සූර්ය බල ත්‍රිරෝද රථ ධාවනය ආරම්භයත් සමගම ත්‍රිරෝද රථ සඳහා මෙරට කාබාසිනියා කරන ඉන්ධනවලට අරාබියට යවන මුදල් කෝටි ගණන් මෙරට රැඳෙනු ඇත. ඊටත් වඩා ත්‍රිරෝද රථයෙන් නැගෙන අතොරක් නැතුව ‘පුටු පුටු’ වධකාර නාදය ඊට පසු ඇසෙන්නේ නැත.

මෙම සූර්ය බල ත්‍රිරෝද රථයක් එක්වරක් චාර්ජ් කිරී‍මෙන් පැය අටක් නොනවත්වා ගමන් කිරීමට හැකියාව ඇත. එයට සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර හැටට සමාන්තර වේගයකින් ගමන් කිරීමේ හැකියාව ඇත. සාමාන්‍ය ත්‍රිරෝද රථයක ඇති වයිපරය, බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට්, පාකින් ලයිට් මෙන්ම හෙඩ් ලයිට් සඳහාද යොදා ගැනෙන්නේ මෙහි ඇති සූර්ය බලයෙන් චාර්ජ් වන බැටරියමය.

මේ සූර්ය බල ත්‍රිරෝද රථ මෙරට ප්‍රවාහන සේවයේ දැවැන්ත විප්ලවයක් වනු නියතය. මෙම ත්‍රිරෝද රථ බැටරි චාර්ජ් කරන මධ්‍යස්ථාන (Solar Power charge Center) වෙත නොයා මෙහි ත්‍රිරෝද වහලයට සවි කරන සෝලා පැනලයක් මගින් බැටරිය චාර්ජ් කරන ක්‍රමයක් අධ්‍යයනය මෙම නියමු ව්‍යාපෘතියේ ඊළඟ අරමුණයි. මේ ලංකාව සෑම මසකම දහවැනිදාට වෙනස් වන ඉන්ධන මිල සූත්‍රයක් පැවති රටක් බව  අද අපට අමතකය. රජය මෙම සූර්ය බල ත්‍රිරෝද රථවලින් ජනතාවට වඩාත් උපයෝගී සේවයක් සැලසීමට නම් වඩා ආකර්ෂණීය කුලී රථ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීම නම් අනිවාර්ය කටයුත්තක් බව අවසානයේ සඳහන් කළ යුතුමය.

වජිර ලියනගේ

ඡායාරූප – ප්‍රදීප් දඹරගේ