brand logo
logo

හිස් පතරොම් ටොන් 500 ගන්න ලියුම් ලියපු ශාන්ත බණ්ඩාරට මොකද කරන්නෙ

25 May 2019

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ප්‍රධාන හේතුව ජනපති හා අගමැතිගේ විරසකය, ආරක්ෂාව ගැන නොතැකීම හා බුද්ධි අංශ හිරකිරීම බවට රටේ ඇති දැවැන්ත මතවාදය බැහැර කළ නොහැකියි නේද? ඔය ගොං කතාව කියන්නෙ පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ අවස්ථාවාදීන් හා ඔවුන්ට කඩේ යන සිවුරුධාරීන් හා ජනමාධ්‍යයයි. ඒත් ජනතාව ඇත්ත දන්නවා. අගමැති හා ආණ්ඩුව ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ නෑ. එතුමයි අපේ කකුල්වලින් අදින්නේ. හොර ආණ්ඩුවකුත් පත් කරල ඇනගත්ත මතකනේ. ත්‍රස්ත ප්‍රහාරය එනකොට ජනාධිපති රටෙත් නෑ. වහාම ආවෙත් නෑ. එයා එනකොට ආණ්ඩුවේ මෙහෙයවීම යටතේ ආරක්ෂක අංශ ත්‍රස්තවාදයේ කොඳු නාරටිය කඩලා රට පුරා ආරක්ෂාව යොදලා ඉවරයි. රටේ ආරක්ෂාව ගැන මේ ආණ්ඩුව නොතැකුවා නම් එහි වගකීම සේනාධිනායක ජනාධිපති භාරගත යුතුයි. මාස 07 ක ඉඳලා පොලිසියත් අයිති නැති තව බොහෝ ආයතනත් ජනාධිපති කොල්ලකාලා රාජ්‍ය ආරක්ෂාවට අදාළ සියල්ල තනියම බදාගෙන භුක්ති විඳිමිනුයි හිටියේ. 12,000 ක් ඉන්න බුද්ධි අංශයේ 6 -7 දෙනෙක් මිනීමැරුම්, පැහැරගෙන යාම්වලට ඇතුළෙ ඉන්නවා. ඒ නිසා බුද්ධි අංශ දුබල වුණා යැයි කියන විපක්ෂයේ අයගේ හා සමහර හිමිවරු මොළේ පරීක්ෂා කර ගැනීම වටිනවා. මුස්ලිම් ත්‍රස්තවාදයට පාර කැපුවේ කව්ද කියල අද කවුරුත් කතා කරන්නේ නැ. මුස්ලිම් ත්‍රස්තවාදයට පාර කැපීමට වඩා එම ප්‍රහාරයෙන් රට බේරා නොගැනීමට නොහැකි වීම නේද ආණ්ඩුවේ නොහැකියාව වෙන්නේ? අගමැතිතුමා හා ආණ්ඩුව ප්‍රහාරයේ සාමූහික වගකීම භාර ගත්තත් ප්‍රහාරය නොවැළැක්වීමේ දැඩි චෝදනාව ජනාධිපති සතුයි. මුස්ලිම් ත්‍රස්තවාදය 2010 ඉඳලා පෝෂණය කළ පිරිස මේ ප්‍රහාර කල්තියා සුදානම් කළ බව මගේ විග්‍රහයයි. ගෝඨාභය ඇතුළු යුදවාදීන් එදා නැගෙනහිර වගේම දකුණේත් අන්තවාදීන් බිහිකරලා පෝෂණය කරලා තමන්ගේ පටු දේශපාලනයට යොදා ගත්තා. ඒ නිසා 2019 ජනපතිවරණයට මාස කීපයක් තියෙද්දී ත්‍රස්ත ප්‍රහාර සඳහා ඔවුන් පොලඹවා ඒ හරහා බලය ලබා ගැනීමේ පසුබිම හැදූ බව ඕනම ළදරුවකුටත් තේරෙනවා. කතෝලිකයන්, මඩකලපුවේ දෙමළ අය හා අම්පාර, දිගන මුස්ලිම් අයට මෑතකදී ප්‍රහාර එල්ල වුණේ ලස්සන ‘පැටර්න්’ එකකටයි. එජාප ඡන්ද පුපුරා යන විදියටයි බෝම්බ ප්‍රහාරත් එල්ල වුණේ. බුද්ධි අංශ සියලු තොරතුරු ලබාදීලත් රට රැක්කේ නැත්තේ ඇයි කියලා අපෙන් නෙවෙයි, ජනාධිපතිගෙනුයි අහන්න ඕනෑ. ෆොන්සේකාට ත්‍රස්තයන් මැඬීමට බලය ලබා නොදෙන්නේත්, ඒ කුමන්ත්‍රණයේම කොටසක් ලෙස බවට අපි චෝදනා කරනවා. දින 54 ආණ්ඩුවේදී ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස්වී මහින්ද - මෛත්‍රීල පොල් ගෑවද කියලත් අපි අහනවා. විපක්ෂ නායක මහින්දටත් ප්‍රහාරයේ වගකීම පැටවීමට පෙර සේනාධිනායක ජනපති පිට එම වගකීම් පැටවීමට එජාපෙ බොහෝ ඇමැතිවරු හා පසුපෙළ හුඟ දෙනෙක් ක්‍රියා නොකළේ ජනපති හා ‘‘ඩීල්’’ ඇති නිසාද? මට නම් ඔය පුද්ගලයත් එක්ක එදා අද හෙට නෙවෙයි ලබන ආත්මෙත් ‘‘ඩීල්’’ වැඩක් නෑ. බල කෑදරකමට කළගුණ අමතක කරන, රටත් ජනතාවත් බිලිදුන් බවට චෝදනා ඇති අයෙක් හා එජාපෙ අය ඩීල් දානවා නම් ඔවුන් තමන් ගැනම ලැජ්ජා වෙන්න ඕනෑ. මේ ජනාධිපති මුල ඉඳලම හොඳ දේ තමන්ගේ ඔඩොක්කුවටත් එසේ නොවන සියල්ල එජාපටෙත් දාලා වැඩ කරපු කෙනෙක්. ඔහුට හා ආණ්ඩුවට එකට යන්න බැරි වුණෙත් ඒ හිරිකිත හා පහත් ක්‍රමවේදය නිසයි. එජාප සමහරු රහසේ ඩීල් දාන බව ආරංචියි. ඕනම රැළක කැලේ පනින එවුන් ඉන්නවා. ඒත් පසුපෙළ මන්ත්‍රීවරු අතර නම් දැන් එහෙම කැලේ පනින එවුන් නෑ කියලා අපි විශ්වාස කරනවා. ‘‘ඩීල් එකක්’’ වුණත් දාන්න ඕන විශ්වාස කළ හැකි අය එක්කයි. අනික සමහරු අද කුඩු අල්ලන එකෙන් ලකුණු දාගන්නවා. කමක් නෑ. ඒත් 2015 ඉඳලා සියලු ආරක්ෂක අංශ එකම රැහැනකින් බැඳලා කුඩු ඇල්ලීමේ ජාලය ඇති කළේ එජාපෙ බව ජනතාව දැනගන්න ඕනේ. කිසි දෙයක් ක්ෂණිකව කරන්න බෑ. මම ඍජුවම කියන්නේ අද එතුමා මිනිසෙකු හැටියටත්, පාලකයෙක් හැටියටත් තමාගේ නුසුදුසුකම් ඕනවටත් වඩා පෙන්නලා ඉවරයි. ආණ්ඩුව තුළ දැනට සිටින ඇමැති රිෂාඩ් ට එරෙහි විශ්වාසභංගයට මුලින් සාධාරණ තීන්දුවක් දී එජාපය මුලින් තම එඩිතරකම පෙන්වන්න උත්සාහ නොකරන්නේ සමහරු ඔහුගේ ‘‘සල්ලි මලු’’වලට රහ වැටුණු නිසාද? අපි එක එකාගේ සල්ලිවලට පෙරේත නම් අර දින 54 කාලේ අපේ ගෙවල්වල අගුපිල්වල කෝටි ගණන් මුට්ටි කාසි අරන් ඇවිත් ‘‘අනේ එන්න කියලා’’ අපේ කකුල් ළඟ වැඳ වැටුණු අයගෙන් ලබාගන්න තිබුණා. සල්ලිවලින් සියල්ල විසඳිය හැකි බව හිතන ශ්‍රීලනිප හා පොහොට්ටුකාරයෝ හිතන්නේ අපිත් එයාල වගේ සල්ලි දැක්කම සියල්ල පාවා දෙනවා කියලා. එජාපයේ අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා ඇමැති රිෂාඩ්ට අපි මුලින් කිව්වේ, ඔබ නිර්දෝෂියි නම් වහාම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙලා ප​රීක්ෂණවලට බලපෑම් නොකර තම සහාය දෙන්න කියලයි. මොකද දරුණු චෝදනා එන ඇමැතිලා නෙවෙයි, ඊට ඉහළ අය රකින්නත් අපිට රුදාවක් නෑ. චෝදනා ආවාම රවි කරුණානායක, තිලක් මාරපන ඇමැතිලා ඉවත් වුණා. නිර්දෝෂී නම් ඇමැති රිෂාඩ්ටත් යළි ඇමැති ධුරය ලැබේවි. තොරතුරු ලැබිලත් රටට ජනතාවට ආරක්ෂාව ලබා දීමට ජනාධිපති ක්‍රියා නොකළ බවට ගවේෂණාත්මක තොරතුරු සමග වෙබ් එකක් පළ කළ ලිපියක් පන්සල්වලට යවලා තම අදීන බව හා රට දැනුවත් කිරීමේ වගකීම ඉටුකළ කිරිඇල්ල අැමැතිතුමාගේ ආදර්ශය සියලු ඇමැතිවරු ගන්න ඕනෑ. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් බවට චෝදනා ඇති අය එළියේ ඉන්නකොට ඒ ලිපිය ලියූ තිදෙනා තවම ඇතුළෙ තබා ගැනීම පුදුම බව රටම කියනවා. වගකිවයුතු සියලු නිලධාරින් මේ ප්‍රහාරය ගැන තොරතුරු ජනාධිපතිට ලබාදුන් බවට තොරතුරු තිබියදී පහළ තැන්වලින් වතුර බස්සලා හරියන්නේ නැති බව අපි මතක් කරනවා. තඹ කම්හලේ ත්‍රස්තයෝ 09 කට ඇප දීලා, රට දැනුවත් කරන ලිපියක් ලියූ අය තාම ඇතුළෙ ඉන්නේ ඇයි කියලා අපි ජනාධිපති ඇතුළු අයගෙන් අහනවා. අද හදිසි නීතිය ත්‍රස්තයන්ට වඩා කිරිඇල්ලගේ තුන්දෙනාටයි, හරියටම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ලැජ්ජයි මේවා ගැන. දයාසිරිට හා චෝදනා තියෙන ජනාධිපති පත් කළ ආණ්ඩුකාරවරුන්ට හදිසි නීතිය අදාළ නැද්ද? හමුදාවේ 11 ක් මුස්ලිම් අය මරපු බවට බොරු කියලා ජාතිවාදී කෝලාහලවලට පාර කපන්න හදපු මන්ත්‍රී පියල් නිශාන්තට, ගම්පහ ගිනි තියන්න දඟලපු අර තට්ට ගායකයාට හා පොහොට්ටුවේ සභාපතිල හා ප්‍රාදේශීය සභාවල අයට හදිසි නීතිය අදාළ නැද්ද කියලා අපි ජනාධිපතිගෙන් අහනවා. ඒ නිසා ඔය ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අපි කිරිඇල්ල ඇමැතිතුමාගෙන් ඉල්ලනවා. එජාප පසුපෙළත් යම් ගැටලුවකදී තනි මතයකට ගොනු නොවෙන්නේ බෙදීම් තියෙන නිසාද? ජනපතිට එරෙහි වැය ශීර්ෂය කපා දැමිය යුතු බවට බහුතරය කියද්දී සමහරු ‘‘හොර ඩීල්’’ දැම්මා නේද? අපේ කැලඹීම් ඉතා අඩුයි. පක්ෂ නායකයන්ගේ ඇතැම් ස්ථාවර නිසා සමහරු ඊට අවනත වූ තැන් තියෙනවා. ඒ හැර තනි තීන්දු ගත්ත අයත් නැත්තේ නැහැ. ඒත් අපි සියලු දෙනා අඩුපාඩු හදාගෙන දැන් එකට ගොනුවෙලා ඉන්නේ. තොරතුරු ලැබිලත් ප්‍රහාරය වළකා නොගැනීම ගැන ජනපතිට ප්‍රහාර එල්ලකරන ඔබ මේ ත්‍රස්තයන්ට උඩගෙඩි දී ඔවුන් පෝෂණය කළ මේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු, ආණ්ඩුකාරවරුන්ට එච්චර ‘‘සැරට’’ චෝදනා නොකරන්නේ ඇයි? ඇමැති රිෂාඩ්ට විශ්වාසභංගයක් ආපු නිසා ඔහු ඉල්ලා අස්විය යුතු බව මම කලින් කිව්වා. අනිත් මුස්ලිම් දේශපාලකයෝ ගැනත් චෝදනා හා සැක තිබේ නම් තරාතිරම නොසලකා ප්‍රශ්න කිරීම් හා අවශ්‍ය සාධක තිබේ නම් අත්අඩංගුවට අරන් අච්චු කිරීම් කළ යුතුයි. මොකද අපි සියලු දෙනාට රටයි, ජනතාවයි අන් සියල්ලට වඩා වටිනවා. ඔවුන් එජාපද, ශ්‍රීලනිපද, පොහොට්ටුවේද වෙනත් පක්ෂයකද කියලා ජාතික අාරක්ෂාවට අදාළ නෑ. ඇමැති රිෂාඩ්ට අදාළව තේරීම් කාරක සභාවක් පත් කරලා කරුණු සොයන්නත් එජාපෙ තීන්දු කළා. ඒ වගේම තඹ කම්හල හිමිව තිබිලා මරාගෙන මැරුණු ත්‍රස්තයාට තඹ හිස් පතරොම් ටොන් 500 ක් ලබා ගන්න ලියුම් ලියල බලපෑම් කරපු ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ගැනත් සොයන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. ජනාධිපතිතුමා පවා මේ තඹ කම්හල දියුණු කරන්න සහාය දෙන ලෙස ඉල්ලා ඇති බවත්, ඒ ලිපියේ සඳහන්. ඒ අනුව ගත්ත ත්‍රස්තයෝ පෝෂණය කළේ හා උන්ගේ ප්‍රහාර ව්‍යර්ථ නොකළෙ කව්ද කියලා රටට පැහැදිලි වෙනවා. ඍජුව ත්‍රස්තවාදය පෝෂණය කරන්න උදව් කළ බව තහවුරුවන සියලු දෙනා නීතිය යටතට ගෙනැත් ඔප්පු වෙනවා නම් උපරිම දඬුවම් දිය යුතුයි. එතැනදී ජාතික ආරක්ෂාව මිසක් කාගෙවත් තනතුරු අදාළ නෑ. ආරක්ෂක බලධාරින්ටයි, මම මේක කිව්වේ. මුස්ලිම් දේශපාලකයන් තම පැවැත්මට එම ජනතාව පාවිච්චි කළා වගේම එම අන්තවාදය සඳහා සහාය දුන් බව කාගේත් පිළිගැනීමයි. ප්‍රහාරයෙන් සති 03 කට පසුව ජාතිවාදී කෝලාහල ඇති කිරීමේ උත්සාහයට ආණ්ඩුව විසින් විපක්ෂයටත් ඔවුන් ආණ්ඩුවටත් චෝදනා කර ගැනීමේ ‘‘අරුම පුදුම’ පසු බිම ගැන මොකද කියන්නේ? තව අපූරු දෙයක් සිදු වුණා. බෝම්බ පිපිරෙනකොට වගේම ජාතිවාදී කෝලාහල ඇරඹෙනකොටත් ජනාධිපති රටේ නොසිටීමත් ‘‘අරුම පුදුම’’ බව ඔබට හිතෙන්නේ නැද්ද? ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපති යළි එනකොට අාණ්ඩුවේ මෙහෙයවීම තුළ ආරක්ෂක අංශ ත්‍රස්තවාදයේ කොන්ද කඩලා රට පුරා ආරක්ෂාව තහවුරු කරල තිබුණේ. ජාතිවාදී කෝලාහලත් ජනාධිපති එනකොට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තිබුණේ. ජාතිවාදී කෝලාහල පටන් ගන්න ආණ්ඩුවට පිස්සු නෑ. ඒ කෝලාහල ඉබේ ඇතිවෙනකම් බලා හිටපු විපක්ෂය ඒක සිදු නොවුණාම ඔවුන් පත්තු කළා. දයාසිරි එක්ක ජනාධිපතිගේ අර ‘‘චක්ගෝලයා’’ නාමල් කුමාරද කවුද එ්කට බැස්සෙ කොහොමද කියන එකත් ‘‘අරුම පුදුම’’ වැඩක්. අනිත් හැම තැනකමත් පොහොට්ටුවේ ප්‍රාදේශීය අය ඉහළ අයගේ උසිගැන්වීම තුළ නොයෙක් දේ කරන්න හැදූ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ආණ්ඩුව හා අාරක්ෂක අංශ ඒ සියලු විනාශයන් නැවැත්තුවා. දරුවෝ පාසල් යාම නැවැත්වීමේ භීතිකාව පැතිරෙව්වෙත් ඔය අවස්ථාවාදීන්ම තමයි. ඒත් දරුවන් පාසල් යාම ආරම්භ කරන දවසෙම පාසල් ළඟට ගිහින් දරුවන්ට දිරි දීම ගැන අපි ප්‍රශංසා කරනවා. තමන්ගේ ‘‘රැකියාව ලෙස’’ ජාතිවාදය වැපිරීම, කෝලාහල ඇති කිරීම, උද්ඝෝෂණ ඇති කරන ‘‘තුප්පහි’’ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරන්න ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා. ත්‍රස්තවාදයෙන්, බෝම්බයෙන්, මළමිනීවලින්, ජාතිවාදී කෝලාහල හා ජනමාධ්‍ය ගිනි තැබීම්වලින් බලය ලබාගන්න උත්සාහ කරනවාට වඩා කක්කුසිවළක් කඩාගෙන කන එක ගෞරවනීය බව ඔය අවස්ථාවාදීන්ට මතක් කරනවා. අශෝක ජයතුංග  
 

More News..