විශේෂාංග

හිරේම හිටියා නම් හොඳයි

පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී පසුගියදා කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු සේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම්දීමේ විශේෂත්වය වන්නේ මේ වන විටත් ඔහු අධිකරණයෙන් මරණ දඬුවම නියම වූ අයකු වීමයි. එසේම ලංකා ඉතිහාසයේ මරණ දඬුවම පැමිණ වූ අයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් පළමු හා එකම අවස්ථාවද මෙය වේ. මේ නිසාම සති අග අරුණ, දැනට හිරගෙදර බතේ රස බලන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඔහු සමග කතා බහ කළෙමු.

ඔබේ සිර අංකය කීයද..?

අංකය 17067

දැන් මන්ත්‍රීවරයෙක් නිසා ජම්පරයක් අඳිනවද..?

අඳිනවා. පාර්ලිමේන්තුවේ මේ විදිහට හිටියට බන්ධනාගාරයට ගිහිල්ලා ඒ ඇඳුමට මාරු වෙනවා. ජම්පරය නෙවෙයි මරණීය දණ්ඩනය නියම වූවන්ට හිමි මදනි කියන ඇඳුම තමයි මම අඳින්නේ. ඒක කොටු වැටුණු සරමක් සහ කමිසයක්. ඇපීල් කළ නිසා ඇඳුමේ වෙනසක් වේවි. එතෙක් මේක අඳිනවා.

ඔබේ දේශපාලන පිවිසීම සිදු වන්නේ කොයි කාලෙද?

88/89 කාලේ මම රත්නපුර සීවලී විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මට මතකයි තරුණයෝ කිහිප දෙනක් භීෂණයට ගොදුරු වෙලා මිය ගියා. ඒ වෙලාවේ අපි එජාප ආණ්ඩුවට විරුද්ධව බලවේගයක් ගොඩනැගුවා. අපිට දේශපාලනය කරන්න බැරි තැනටම පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වාම එජාපය පළි ගත්තේ පුදුම විදිහට. නිල්පාට ඇඳුම් ඇඳන් හිටි අයගේ ඇඟට කොළපාට තීන්ත වැක්කෙරුවා. එහෙම කාලෙක තමයි අපි අපේ පාක්ෂිකයන් ආරක්ෂා කරමින් කටයුතු කරගෙන ගියේ. ඉන් පස්සේ 1997 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා පාක්ෂිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් තිබුණා. ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් අරගෙන නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්වුණා. සභාපතිධුරය දරලා අවසන් වෙන්නත් කලින් 2001 පාර්ලිමේන්තු මැතිවරණය ආවා. ඒකෙදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තුන්වැනි ස්ථානය ලබමින් ජයගන්න පුළුවන් වුණා. එදා සිට මේ දක්වා 2004 දී මහවැලි ගංගාධාර නියෝජ්‍ය ඇමැතිවුණා. ඒත් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා සමග වැඩ කරන්න බැරි නිසා මම නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන්පස්සේ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිකම තාවකාලිකව ලැබුණා. 2005 ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙසත්, 2010 දී විදුලිබල නියෝජය ඇමැති ලෙස රත්නපුරේ නිවාස 30,000 කට විතර විදුලිය ලබා දුන්නා.

ප්‍රේමලාල් ජයසේකර ‘චොකා මල්ලි’ වුණේ කොහොමද?

ඇත්තටම ඕක හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. චොකා මල්ලි කියන්නේ චොක්ලට් කාපු නිසා. නැතුව මේ වෙන දෙයකට නොවේ. සමහර අයට පෙට් නේම් එක ගැන වැරදි මත යනවා. පොඩි කාලේ ඉඳලම තාත්තා මට චොක්ලට් අරන් දෙනවා. මම හැමදාම චොක්ලට් කනවා. ඒ අතර තාත්තා එක්ක ටවුන් එකට ගියාම තාත්තගේ යාළුවෝ මට චොක්ලට් ගෙනත් දෙනවා ආස නිසා. අන්තිමට චොක්ලට් කාලම චොකා මල්ලී කියලා නමක් පටබැඳුණා. නැතුව වෙන හේතුවක් නැහැ.

තවමත් චොක්ලට්වලට ප්‍රියද..?

ඇත්තටම ආසයි. තවමත් චොක්ලට් කනවා.

ඔබට කලින් පවුලේ කවුරුවත් දේශපාලනය කළේ නැද්ද.?

නෑ… කිසිම කෙනෙක් දේශපාලනය කළේ නෑ. අපේ මහප්පා කෙනෙක් අවුරුදු හැටකට විතර කලින් ගමේ ආරච්චි වෙලා ඉඳලා තියෙනවා.

දේශපාලනයට ආ පසු ඔබට සතුරන් ඇති වුණාද.?

ඔව්. ප්‍රාදේශීය සභාවේ සභාපතිවෙලා ඉඳිද්දිත් මට විරුද්ධව අසත්‍ය පැමිණිලි කරලා තියෙනවා. ඒ කාලෙ ඉඳලම මට විරුද්ධව දාන්නේ බොරු පැමිණිලිම තමයි. කාගේ හරි දුරකතනය කැඩුවා. එහෙම නැත්නම් පර්ස් එක උදුර ගත්තා, ඔරලෝසුව කඩා ගත්තා වගේ පැමිණිලි. අපි පරම්පරාගත බූදල්කාරයෝ. ඒ නිසා කාගෙවත් දෙයක් කඩාගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකක් හරි වරදක් පටවලා ඇතුළට දැමීමේ කුමන්ත්‍රණයක් තිබුණේ අද ඊයේ නොවේ එදා ඉඳලම ක්‍රියාත්මක වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි නිවිතිගල ජනතාව මා කෙරෙහි ඇති විශ්වාසය සහ ආදරය. ඡන්දෙ ගන්න විතරක් දේශපාලනය කරන නෙනෙක් නොවේ මම ගමට ජනතාවට වැඩ කරනවා. ඒකට එජාපයේ එදා පටන් ඉන්න නායකයෝ මා එක්ක තරහයි. තරහකාරයෝ වැඩිවුණා මිසක් අඩුවුණේ නැහැ. ඇත්තටම මගේ තරහක් නැහැ. මැතිවරණයකින් ජයග්‍රහණය කරලා ජනතාවගේ හිත දිනා ගන්න බැරි වුණාම අපිත් එක්ක වෛර බැඳලා, පලි අරගෙන වැඩක් නැහැ. අසරණ මනුෂ්‍යයකුට පිහිටක් වෙන්න ඕන වුණාම රජයේ මුදල්වලින් නොවේ මගේ පෞද්ගලික මුදලින් පවා උදව් කරනවා. එහෙම කරලා තමයි අද අසරණවෙලා ඉන්නේ.
ඔබ මෙවර මැතිවරණයට තරග කළේ නඩු තීන්දුව ආසන්නව තිබියදී. දැනගෙන හිටියද මෙවැනි දඬුවමක් ලැබෙයි කියලා…
නැහැ.., පැහැදිලිවම අපිට ඕවා හාරා අවුස්සන්න ඕන වුණේ නැහැ. අධිකරණයට හිස නමනවා. අධිකරණය දෙන තීන්දුවක් අපි පිළිගන්නවා. නමුත් දේශපාලනමය වශයෙන් බලපෑම් එල්ලවුණා කියන විශ්වාසයක් අප තුළ තිබෙනවා. මට විවිධ තොරතුරු දැනගන්න ලැබුණා. මම අවුරුද්දක් ඇප නොලබා හිටියා. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් උඩ ඉන්න දෙයියොත් දන්නවා මේ සිද්ධිය ගැන මගේ නිර්දෝශීභාවය ගැන.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබමින් පාර්ලිමේන්තුවට තේරී පත් වෙද්දී මරණ දඬුවම ලැබී ඔබ සිරබත් කනවා. කොහොමද දැනගත්තේ ජයගත්තා කියා…

මැතිවරණයට දවස් පහක් තියෙද්දී තමයි මට දඬුවම් ලබා දුන්නේ. ජූලි 28 වැනිදා තමයි තීන්දුව තිබුණේ. ඒත් දිනය 31 වැනිදාට කල් තැබුවා. ඒත් මම සංවිධානය කළ රැස්වීම යොදාගෙන තිබුණේත් 31 දාට. මම අධිකරණයෙන් ඉල්ලීමක් කළා අගමැතිතුමා එන රැස්වීම සංවිධානය කළේ මම. ඒ නිසා වෙනත් දිනයක් ලබා දෙන්න කියලා. ඒත් රැස්වීමට මට යන්න බැරි වුණා. අධිකරණයට ගරු කරලා මම ගියා. වරදක් කරලා නැහැ කියලා මගේ හෘද සාක්ෂිය දන්න නිසා ඡන්දය තියෙද්දීත් මම අධිකරණයට ඉදිරිපත් වුණා. බොරු නඩු හදපු හැටි පහුගිය කාලේ ශානි අබේසේකරලා වැනි රහස් පොලිස් නිලධාරීන්ගෙන් ඔප්පු වුනාණේ.

ඔබ ඡන්ද ප්‍රතිඵල ඇහුවද..?

පොඩි ෂෙල් එකක අපි තුන්දෙනෙක් ඉන්නේ. අඩි හයක් උස පළල අඩි දොළහක් තරමේ කාමරයක්. මමයි තව දෙන්නෙකුයි හිටියා. එතැනදි තමයි ප්‍රතිඵල දැනගත්තේ.

මොනවද හිතුණේ.?

ජනතාව තීන්දුව ලබා දුන්නා නේද කියලා හිතුණා මම වැඩක් කළ නිසානේ ඡන්දෙ දුන්නේ. සාමාන්‍යයෙන් දඬුවමක් ලබා දුන්නාට පස්සේ ඕනෑම කෙනෙක් තීරණය කරනවා ඒ පුද්ගලයාට ඡන්දය දීලා වැඩක් නැහැ කියලා. ඒත් ඒ අය ඡන්දය පාවිච්චි කළේ මා මෙතැන සිටිය යුතු නිසා. මේ මනුෂ්‍යයා නිර්දෝෂී කෙනෙක් කියලා ජනතාව අතරට යවන්න තමයි ඒ අය ඡන්දය පාවිච්චි කළේ. නැතුව මරණ දණ්ඩනයට නියම කළ මගෙන් වැඩක් කර ගන්න නෙවෙයිනේ.

ජයගත් බව දැනගත් පසුව ඔබ මොනවද ගත් පියවර…

පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙච්ච එක නතර කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට. එහෙම නැත්නම් කොමසාරිස්වරයා ගැසට් නොකර ඉන්න ඕනේ. ගැසට් කළාට පස්සේ කවුරු මෙතැන කළුපටි බැඳගෙන කෑ ගැහුවත් වැඩක් නැහැ. මගේ තීන්දුව දුන්නේ මහාධිකරණයෙන්. මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ බව පිළිගන්න පුළුවන්නම් ඔය කළුපටි බැඳගෙන ආ කට්ටියට අභියාචනාධිකරණ තීන්දුව පිළිගන්න බැරි ඇයි. ඒකෙන්ම පේනවා ඒ අය අධිකරණයට අපහාසයක් කළ බව. අපි තවමත් අධිකරණයට ගරු කරනවා. ඒ අය අධිකරණයට අපහාස කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මට නීත්‍යනුකූලව දිවුරුම් දෙන්න පුළුවන් වුණා. ඉතිහාසයේ සිද්ධ නොවූ දෙයක් මුළු ලෝකෙම. නමුත් අභියාචනයක් කළාම සැකකරුවෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ නිසා මගේ නිර්දෝෂීභාවය ඔප්පු වුණොත් මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා. ඔප්පු නොවුනොත් මන්ත්‍රීධුරය අහිමි වෙනවා. හැබැයි නිර්දෝශීභාවය හෘද සාක්ෂිය දන්නවා නම් මොනවා කළත් වැඩක් නැහැ.

ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කතාකළාද ඇතුළට ගියාට පස්සේ..?

නෑ… සම්බන්ධතාවක් ඇතිකර ගන්න විදිහක් නෑනේ. දුරකතන නැහැ. සතියකට විනාඩි දහයක් හෝ විස්සක් කතාකරන්න දෙනවා. ඒත් ඉතිං අපි ළඟ දුරකතන අංක නැහැනේ. කාගෙන් හරි නොම්මර ඉල්ල ගන්න ගියොත් කාලය ඉවර වෙලා ගෙදරට කතා කරන්න තියෙන වෙලාවත් නැති වෙනවා. ළඟදි මං හිතන්නේ ටෙලිකොම් හරහා විනාඩි දහයක් කතාකරන්න අවස්ථාව ලැබේවි.

බිරිඳට සහ දරුවන්ට ඔබව හමුවෙන්න ඉඩ දුන්නද..?

මාසෙකට එක දවසයි. අභියාචනය කළාට පස්සේ සතියකට එක් දවසක් ගෙදර අයට එන්න දෙනවා.

ඔබ මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වූ බව දැනගත්තාම බන්ධනාගාරයේ සිටින නිලධාරීන්ගේ සහ අනෙක් සිරකරුවන්ගේ හැසිරීම කෙබඳුද?

එහෙම වෙනසක් නැහැ. ඒත් මම පාර්ලිමේන්තු යන්න ඇඳුම් ගෙන්වා ගනිද්දී මගේම ගමේ නිලධාරී මහත්මයෙක් ඒකට බාධාකරලා තියෙනවා. එයා මැගසින් බන්ධානාගාරයේ ඉහළ නිලධාරියෙක්. එහෙම වුණාම මන්ත්‍රී වරප්‍රසාදයි කඩන්නේ. මොකද ඇඳුම නැතිව මට පාර්ලිමේන්තු යන්න විදිහක් නැහැනෙ.

මරණ දඬුවම විඳින තවත් අය හමුවෙනවා ඇති…

මම බන්ධනාගාර රෝහලට යන අවස්ථාවක දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා හමුවෙලා කතා කළා. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාත් හිටියා… ඔහු හෘද රෝගයෙන් පෙළෙනවා.

අසනීපයි කියලා ඔබ රෝහල්ගත වෙන්න උත්සාහ කළේ නැද්ද.?

මම දවසක් රෝහලට ගියෙත් අසනීපයකට. මගේ මුත්‍රාශයේ ගල් තියෙනවා කියලා එක්ස්රේ එකකින් හොයා ගත්තා. ඒ වගේම කොන්දේ වේදනාවකුත් තියෙනවා. මේ දෙකට ප්‍රතිකාර ගතයුතුයි. ශල්‍යකර්මයකින් හෝ කිරණවලින් ඒ ගල් ඉවත් කරන්න වෙනවා. දවස් දෙක තුනකට රෝහල්ගත වෙන්න වේවි. ඒ වාසිය අරගෙන දිගටම රෝහලේ ඉන්න උත්සාහ කරන්නේ නැහැ.

කොහොමද බන්ධනාගාරයේ ජීවිතේ..?

මම ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ. සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියලා තමයි ඉස්සරහා තාප්පේ ගහලා තියෙන්නේ. පත්වෙන ඇමැතිවරු යනවා බන්ධනාගාර බලන්න. නිලධාරීන් කියනදේ අහගෙන ඉඳලා එනවා. සමහරු සිරගතවෙන්නේ එකවරදක් කරලා. ඒත් එළියට එන්නේ වැරදි ගණනාවකට සම්බන්ධවෙලා. කුඩු ගහන්න ඇබ්බැහි වෙලා නැත්නම් දරු පවුල අනාථ වෙලා. වැරදිකාරයාට දඬුවම් දිය යුතුයි. ඒත් අවුරුදු පහළොව, විස්ස, තිහ වැනි කාලයක් තිස්සේ සමහරු ඇතුළේ ඉන්නවා. මේ අය වයසට ගිහින්. අංශබාගෙ හැදිලා. අතපය පණ නැහැ. ඒ අයට සත්කාර කරන්න තවත් අය ඉන්න ඕනේ. එවැනි අය නිදහස් කළ යුතුයි. ඔවුන්ට යළි අපරාධයක් කරන්න හැකියාවක් නැහැ. පහුගිය කාලේ සිව්වස් සමාලෝචනය කියලා ක්‍රමයක් තිබුණා. එය දැන් නතර වෙලා. මේ ඉන්න අය මාව දැක්කාම ඇවිත් කියනවා මේ සිව්වස් සමාලෝචනය යළි ඇති කරන්න කියලා. අවුරුදු දහයක් විතර දඬුවම් විඳින පුද්ගලයා හැදෙනවා. එළියට ගිහින් ආයෙත් අපරාධයක් කරන්නේ නෑ. ඒ තරම් මේ ඇතුළේ ජීවිතේ අප්‍රිය වෙලා තියෙන්නේ කියලා ඔවුන් කියනවා. ඇත්තටම මේ සිව්වස් සමාලෝචනය යළි එනවා නම් හොඳයි. ඇත්තටම පොලිසියේ, රහස් පොලිසියේ සමහර නිලධාරීන් බොරු පැමිණිලි සාක්කි ගොතලා මිනිස්සුන්ට සිරදඬුවම් දීලා තියෙනවා. හොඳම උදාහරණය මම. එවැනි අනන්ත පුද්ගලයන් මෙහි ඉන්නවා. මත්ද්‍රව්‍ය පැකට් දාලා හසුකර ගත් අහිංසක පුද්ගලයන් ඉන්නවා. අවුරුදු ගණන් රිමාන්ඩ් අය ඉන්නවා. විශේෂ අධිකරණ අවශ්‍ය මේ වගේ නඩු විසඳන්න මිසක් අපෙන් පළිගන්න නොවේ. අභියාචනා කරලා අවුරුදු දහය පහළොව ගිය අය ඉන්නවා. තීන්දුව ලැබෙද්දී වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි කියා ඔවුන් කියනවා. මේ මිනිස්සු අපිට දොස් කියනවා දේශපාලකයින් නිසා. හිරගෙදරවත් අපිට නිදහසේ ඉන්න නැහැ.

බන්ධනාගාරය ඇතුළේ ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද.?

ඒක තමයි වටිනම කතාව. කරන්න මොකුත් නෑ. එක්කෝ අපෙන් වැඩක් ගන්න ඕනේ. උදෙන්ම නැගිටිනවා. පොලිම් කිව්වාම පෝලිමට යනවා. රජයෙන් දෙන එක කාලා ඉන්නවා. ඒක තමයි දින චර්යාව. ඕන නම් පොතක් පතක් බලතෑකි. ඒකත් ඉතිං යමක් කමක් කර ගන්න පුළුවන් කෙනකුට තමයි. බන්ධනාගාරයේ පුස්තකාලයක් තියෙනවා. ඒ ඇරෙන්න පහසුකම් අතින් නම් අන්තිමයි. වෙන රටවල නම් හිර ගෙදර හිටියත් ස්කයිප් හරහා කතා කරන්න පහසුකම් තියෙනවා. ෂෙල් එක අස්සේ බිම තමයි අපිට නිදාගන්න තියෙන්නේ. බිම දිගේ මීයෝ දුවනවා. වැසිකිළිය හවස පහමාරට වහනවා. ඉන්පස්සේ පොඩි බකට් එකක් දෙනවා. බඩේ අමාරුවක් හැදුණොත් ෂොපිං බෑග් එකක පිහිට තමයි. ඒ අතින් සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා කියන්නේ කොහොමද.. කෑම බීමත් ඉතිං… දෙන දේ කාලා ඉන්නවා. අපි දැන් සත්තු වගේ තමයි. හවස පහ වෙද්දී වහනවා. උදේ හයට, අටහමාරට, දවල් එකහමාරට පෝලිම. හවස පහට කලින් බෝධිය ළඟට ගිහින් බුදුන් වැඳලා එනවා. සාධාරණය ඉෂ්ට කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලලා එනවා.

බන්ධනාගාරගත වන දේශපාලන මහත්තුරු එහි ලබන අත්දැකීම් ගැන පොත් ලිව්වා. ඔබත් පොතක් ලියනවද..?

ඔව්..එහෙම අදහසක් තියෙනවා. මම දැනුත් යම් යම් දේ සටහන් කර ගන්නවා. ඒත් ඉතින් පොත් ලියනවට වඩා වෙන්න ඕනේ ඒ මිනිසුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී ඉඳලා කතා කරන එක. මටත් ඉතින් පොතක් ලියන්න බැරිකමක් නැහැ.

මරණ දඬුවම ලැබුණු පසුව බිරිඳ සහ දරුවන්ගේ ප්‍රතිචාර කෙබඳුද..

ඒක තමයි තියෙන එකම ප්‍රශ්නය. ඒ අය හොඳාකාරවම දන්නවා මා ගැන. මට මේ කළේ අපරාධයක් බව ඒ අය දන්නවා.. ලොකු කලකිරීමකින් ඉන්නේ. මගේ දුව ලබන මාසේ විවාහ වෙන්න හිටියේ. අනෙක් දු උසස් පෙළ කරලා. එයා තමයි දැන් මගේ දේශපාලන කටයුතුවලට මම යවන්නේ. ඊළඟ දුව ලබන මාසේ උසස් පෙළ ලියනවා. පුතා නවවැනි පන්තියේ. ඒ අය මානසිකව වැටෙනවා. අධ්‍යාපන කටයුතුවලට බාධාවක්. ඒක තමයි මට දරා ගන්නම බැරි. මේවා ඔක්කොම එකතු වෙලා මගෙන් පලිගන්න අයට ශාපයක් වේවි. මෙතරම් කාලයක් දේශපාලනය කළා. අද වෙනකල් කොමිස් ගහලානෑ. අයුතු විදිහට හම්බ කරලා නෑ. දෙමාපියන්ගේ දේපළ නැති කරගෙන ඉඩකඩම් විකුණලා තමයි දේශපාලනය කළේ. ඒ නිසා දරුවන්ට, බිරිඳට ජීවත්වීමේදී පවා ලොකු ගැටලු ඇතිවේවි. මගේ ඉඩම් කෑල්ලක හදා ගත්තු ගොඩ නැගිල්ලක් තියෙනවා. ඒක කුලියට දීලාපොඩි ගාණක් තමයි ලැබෙන්නේ.

ඔබේ දිව්රුම් දීම සම්බන්ධයෙන් විපක්ෂය වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් විරෝධතා මතු වෙනවා…

සමාජ මාධ්‍ය නම් මට බලන්න ක්‍රමයක් නැහැ. මඩ ගහන අය වගේම හොඳ කියන අයත් ෆේස්බුක්වල ඉන්නවා.

පාර්ලිමේන්තුවේදී අනෙක් මන්ත්‍රීවරුන් මින් පෙර ඔබට දැක්වූ හිතවත්කමේ වෙනසක් දකිනවද..?

අන්න ඒ ගැන කිව යුතුමයි. පක්ෂයක් හැටියට අපි ඔක්කොම එකතුවිය යුතුයි. සමහරු ඉන්නවා අපි මිනීමරුවෝ විදිහට සලකන. වැඩි හරියක් දිස්ත්‍රික්කයේම අය. වැඩි හරියක් අලුත් මන්ත්‍රීවරුන්. සමහරු සුබ පතනවා. නමුත් අපි ගැන මීට වඩා කාරුණිකව අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. වැරදි විදිහට බලන කීප දෙනෙක් ඇත්තටම ඉන්නවා. නම් වශයෙන් වුණත් කියන්න පුළුවන්. කොතරම් හිතවත් වුණත් වැඩක් නෑ අසරණ වුණු වෙලාවේ නැත්නම්. විපක්ෂයේ අය වුණත් සමහරු සභාවේ විරෝධය දැක්වුවත් එළියෙදී හොඳට කතා කරනවා. මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නේ. එනිසා සොයා බලා කණ්ඩායමක් ලෙස හඬක් නැගිය යුතුයි.

පාර්ලිමේන්තු සතියෙදි පවුලේ අය සමග ඔබට සමීපව ගත කරන්න අවසර ලැබෙනවා..

ඔව්. ඒ තත්ත්වය තියෙන්නේ පාර්ලිමේන්තු සතියෙදි තමයි. ගෙදර අය ඇවිත් කතාකරලා යනවා. වෙලාවකට හිතෙනවා පාර්ලිමේන්තු නෑවිත් බන්ධනාගාරයේම හිටිය නම් හොඳයි කියලා. මෙතනට ඇවිත් දරුවෝ, බිරිඳ කතා කරලා යද්දී හිත හදා ගන්න අමාරුයි. එළියෙ ඉන්නවා වගේ පැය කීපයක් ඒ අය එක්ක ඉඳලා ආයෙත් බන්ධනාගාර වාහනේට නැග්ගාම මම දන්නවා යන්නේ කොහාටද කියලා. ඒ වෙලාවට මානසිකව වැටෙනවා. නොකරපු වරදකට දඬුවමක් ලැබුණා වගේම පාර්ලිමේන්තුවට තේරිලා සුදුස්සාට සුදුසු තැනකුත් ලැබුණා.

ඇමැතිකමක් ලැබුණොත්..?

මන්ත්‍රී වුණේ තරග කරලා. ඇමැතිධුර දෙන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ තීරණය මත. ඒත් නිර්දෝශීභාවය ඔප්පුවිය යුතුයි. එතෙක් ඇමැතිකමක් දුන්නත් භාර ගන්නේ නැහැ. දුන්නත් බන්ධනාගාරයේ ඉඳන් ඇමැතිකම් කරන්න බැහැනේ.

 

අජිත් අලහකෝන්