කතුවැකි

හිරේට යන අය V ලකුණ පෙන්වන්නේ ඇයි?

අපරාධකාරයකු හිර ගෙදරට යවන්නේ ඔහු යහ මගට ගැනීමටය. එහෙත් දැන් සිදුව තිබෙන්නේ අපරාධකරුවාට පෙරාතුව සිර ගෙදර මුලාදෑනින් යහමගට ගැනීමටය.

තොරතුරු විමසා බලන විට හිරගෙදර රාජකාරි කරන මුලාදෑනීන් කූඩුවේ ඉන්නා අපරාධකාරයන්ටත් වඩා අන්තය. දූෂිතය.

මීගමුවේ හිර ගෙදර හිරකාරයකුගේ කුටියට අඩි හතේ ශීතකරණයක් සහ මස් මාංශ පුලුස්සා කන උදුනක් වැඩම කළේ මුලාදෑනීන්ගේ දූෂිතකම නිසාය. මේ ශීතකරණයත්, උදුනත් ගුද මාර්ගයේ හංගාගෙන ඇතුළට ගියා වෙන්නට බැරිය. ඒවා යන්නට ඇත්තේ එම බන්ධනාගාරයේ ප්‍රධානියාගේ කර මතිනි. එම නිසා එම දේවල් සිර කුටියට ගෙනාවා කියනවාට වඩා වැඩම කළාය කීමේ වරදක් නැත.

එසේ කළා වූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානියාට දුන් දඬුවම කුමක්ද? ඔහු තවත් එම පන්නයේම හිර ගෙදරක් වූ කළුතර හිරගෙදර ප්‍රධානියා ලෙස මාරු කෙරිණි. එය දූෂිතයෝත්, මනුෂ්‍යයෝය යන පදනමින් කළා විය යුතුය.

මෙබඳු මහ වරදක් කළ ප්‍රධානියකු පූල් එකකට නොදා කළුතර බන්ධනාගාරයට මාරු කළේ ඇයි දැයි ජනාධිපතිවරයා ඇසූ විට එහි ප්‍රධානියා නිහඬය. බන්ධනාගාර ඇමැතියාද ඒ ප්‍රශ්නය හමුවේ සුපුරුදු නිදිමත ගතියක් පෑවේය. අපරාධකාරයන් ආරක්ෂා කිරීමේ වරදට දඬුවම් ලැබූවෝ අනන්තවත් හිරගෙදර සිරබත් කති. මෙබඳු දූෂිතයන් ආරක්ෂා කරමින් හිර ගෙදර අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක්ව තබාගෙන ඉන්නට ඉඩ දෙන එවුනුත් දඬුවම් ලැබිය යුත්තෝය. දඬුවම් නොලබන්නේ ඔවුන් අපරාධකාරයන් වුවත් ඇමැතියෝය, කොමසාරිස්වරුය යන පදනමින් විය යුතුය.

රටක අපරාධ පූර්ණ ලෙස මඬින්නට මහ බඹාටවත් බැරිය. බයිබලයේ නම් කියන්නේ ලෝකය මැවූ අලුතම කායින් – ආබෙල්ව කෙතේදී පහර දී මරා දැමීමෙන් අපරාධ ලෝකෙට ගෙනා බවය. ඒ අපරාධ කොයි මොහොතේත් රටක විය හැකි දේය.

නමුත් සංවිධානාත්මකව ව්‍යාපාරයක් වශයෙන් අපරාධ කිරීමද ජීවිකා වෘත්තිය වශයෙන් අපරාධ කිරීමද නතර කළ යුතුය.

ඇඳිරි නීතිය වෙලාවේම පැමිණ පොලිස් නිලධාරීන් තිදෙනකු ඉදිරියේ හෝටලයකට වෙඩි තබා ‘‘ඔය පතරොම් කොපු උදේට එස්.එස්.පීට ඇහිඳ ගන්නට කියාපන් යැයි ඩුබායි ඉන්නා පාතාල නායකයකු දුරකථනයෙන් කියන හඬ අප පසුගිය සතියේ රූපවාහිනියෙන් දුටුවෙමු. එම අපරාධකරුවාම ඊළඟ දවසේ කප්පම් ඉල්ලා තර්ජනය කරමින් කීවේ ‘‘අඩෝ අපි කුඩු විකුණන්නේ, හිරේ ඉන්න උන්, උන්ගේ දරු පවුල් ජීවත් කරන්න’’ කියාය. මේ පෙනෙන්නේ අපරාධ සහිත පංතියක් සමාජයක් සංවිධාන පවතින බවය. ඒ ජාලය බිඳ නොගතහොත් පුරවැසියාට ජීවත් වීමට නොහැකිය. පුරවැසියා මතු නොව, රටේ නායකයාටද බැරිය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවත් ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවත් මරා දාන්නට ප්‍රසිද්ධියේ සූදානම් වූ මාකඳුරේ මධුෂ් ඉන්නේ හිර ගෙදරය. උන් ගාඩ් කරන්නට ඉන්නේ මේ වර්ගයේ බන්ධනාගාර මුලාදෑනීන්ය. එහෙත් ජනතාව රකින්නට ඉන්නේ උන්ට යට වූ පොලිස් නිලධාරීන්ය.

බණ්ඩාරනායක අගමැති මරන්නට මාපිටිගම බුද්ධ රක්ඛිත භික්ෂුව මාස ගණනක සිට පාරම් බෑවේය. ඔහුට රිවෝල්වරයක් දුන්නේ පොලිස් නිලධාරියෙකි. එදා මරා දැමුණේ සිංහලය රාජ්‍ය භාෂාව කළ සිංහල බෞද්ධකමට මුල්තැන දුන් අගමැතිය.

ආයුධ ළඟ තබා ගත් ඌවතැන්නේ සුමන හිමියෝ ගිය බ්‍රහස්පතින්දා ජීවිතාන්තය දක්වා හිරගෙට වැඩිසේක.

ඒ භික්ෂුව හිරේට ගියේ මෛත්‍රී මුද්‍රාව ප්‍රදර්ශනය කරමින් නොවේ. මාංචු ලා ගත් අතින් වික්ටරි ලකුණ පාමිණි. සැබැවින්ම හිරගෙදර අපරාධකරුවන්ගේ වික්ටරි ස්ථානයක් හෙවත් ජය භූමියක් බවට එහි නිලධාරින් පත් කර ඇත. ඉදින් ඉතිහාසය යළි පුනරුච්ඡාරණය නොවේ යැයි කාට කිව හැකිද?