හිත හයිය නැත්නම් රඟපාන්න එන්න එපා
20 March 2021
හිත හයිය නැත්නම් රඟපාන්න එන්න එපා
20 March 2021
දමිත්‍රි සුබසිංහ රංගනයට එකතු වෙන්නේ අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් පසුවයි. හිමින් සීරුවේ රංගන ක්ෂේත්‍රයේ ලොකු දුරක් යන්න හීන දකින ඇය අලුත් නිර්මාණයකින් මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. ඒ ඉස්කෝලේ ටෙලි නිර්මාණයෙන්.
දමිත්‍රි ආයෙත් ඉස්කෝලේ යන්න පටන් අරන්?
ඔව්. ඉස්කෝලේ ටෙලිනාට්‍ය නිසා තමයි මම ආයෙත් ඉස්කෝලේ යන්නේ. කොළඹ සල්ලිකාර පවුලක හැදුණ කලාවට ගොඩක් ආස නිසා පිටිසර ගමකට ගිහින් නර්තනය උගන්නන ගුරුවරියක් විදිහට තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මේ මගේ දෙවැනි නාට්‍ය. දෙරණ නාලිකාවේ ලක්සිරි වික්‍රමගේ සර්, චරිත් කොතලාවල මහත්මයා, සමන් එදිරිමුණි මහත්මයා ධම්මික අලුත්ගෙදර මහත්මයා දිලූක ගුණතිලක මහත්මයා ඇතුළු පිරිසට මම ස්තූති කරනවා මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගැනීම වෙනුවෙන්.
නර්තන ගුරු භූමිකාව නිසා මේ චරිතය දමිත්‍රිට ගොඩක් සමීප ඇති?
මම නර්තනයට ගොඩක් ආදරෙයි. මට මේ නිර්මාණයේ කරන්න තියෙන්නෙත් නර්තන ගුරුවරියකගේ චරිතයක්. ඒ නිසා මට මේ චරිතය හදවතින්ම කරන්න පුළුවන්. මගේ නර්තන හැකියාව මේ නිර්මාණයෙන් පෙන්වන්න ලැබීම ගැන සතුටුයි. මේ චරිතයේ ඉන්නේ මමම තමයි. විහාරයි මමයි සමානයි කියලා මට හිතෙනවා.
ඉස්කෝලේ කියන්නේ ඔබේ රංගන ගමනට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා හිතනවද?
ඔව්. මේ නාට්‍යයේ මම නිරූපණය කරන චරිතය වයසින් පොඩි චරිතයක් වුණාට ඉදිරියේදි ඒ චරිතයට බලවත් දේශපාලකයන්, අත්දැකීම් බහුල ගුරුවරු එක්ක මට සටන් කරන්න වෙනවා. ඇත්තටම මට මේ නිර්මාණයෙදි අත්දැකීම් බහුල විශාල පිරිසක් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. මට ලැබුණ හොඳ නිර්මාණයක් තමයි මේ ටෙලි නිර්මාණය. මගේ පළමුවෙනි නාට්‍ය තමයි පාවෙලා වලාකුළේ ඒවිද අම්මා නාට්‍ය. ඒ නිර්මාණයේ මම කළ චරිතයටත් වඩා වෙනස් චරිතයක් ඉස්කෝලේ නාට්‍යයෙදි මට කරන්න ලැබිලා තියෙනවා.
එහෙම හිතන්නේ ලැබෙන ප්‍රතිචාර නිසාද?
ඔව්. නාට්‍ය පටන් අරන් තවම දවස් කිහිපයයි. ඒ දවස් කිහිපය ඇතුළෙත් මේ නිර්මාණය බොහෝ දෙනෙක් ආදරයෙන් විඳින්න පටන්ගෙන . දැන් ගොඩක් අය මට කතා කරන්නෙත් චූටි ටීචර් කියලා.
අවුරුදු කුමරි තරග රංගනයට එන්න බොහෝ දෙනාට පාලමක් වෙලා.
මම 2019 දී දෙරණ අවුරුදු කුමරිය තරගයේ පළමු ස්ථානය දිනාගත්තා. එතනින් පස්සේ තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණෙත්. දෙරණ අවුරුදු කුමරිය තරගය කියන්නේ ලස්සන විතරක් බලපු තරගයක් නෙමෙයි. අපේ හැකියාවත් එතනදි බැලුවා. මම රංගනයට එන්න මේ තරගය පාලමක් කරගන්න හැදුවේ නැහැ. නමුත් මට අහම්බෙන් රංගනයට එන්න අවස්ථාව ලැබුණා.
රංගනය කියන්නේ දමිත්‍රිට අහම්බයක්?
මම රංගනයට එන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම පොඩි කාලේ ඉඳන් නර්තනය කළා. රංගනයට හීන නොදැක්කට අහම්බෙන් හරි මට රංගනයට එන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා.
ඔය ආදරය වගේම අනෙක් පැත්තට විවේචනවලටත් ලක්වෙන්න සිදු වෙනවා ?
රංගන ක්ෂේත්‍රයේ ඉන්නවානම් මාර විදිහට හිත හයිය වෙන්න ඕනේ. දුර්වලනම් මේ ක්ෂේත්‍රයේ ඉන්න අමාරුයි. විවේචන කරන අය කොහොමත් විවේචන කරනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අපිට විවේචන එන්නේ මොනවටද කියලා බලලා විවේචනවලට ලක්නොවෙන්න ජීවත් වෙන්නත්.
රංගන ක්ෂේත්‍රය තරුණියන්ට ගැළපෙන්නේ නෑ කියලා සමහරු කියනවා ?
ඔය කතාව ගොඩක් අය කියන දෙයක්. රංගන ක්ෂේත්‍රයට එන්න කලින් මටත් ගොඩක් අය ඒ කතාව කිව්වා. මමත් හිතුවා ඒ කතා ඇත්ත වෙන්න ඇති කියලා. නමුත් රංගනයට ආවට පස්සේ මට හිතුණේ තමන්ට පාලනයක් තියෙනවානම් ,හරි දේ වැරැදි දේ තෝරාගන්න පුළුවන්නම්, ශක්තිමත්නම් මේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් යන්න පුළුවන්.
දමිත්‍රි තෝරාගැනීම් එක්කද මේ ගමන යන්නේ?
ඔව්. මම මට ගැළපෙන හොඳ නිර්මාණ තෝරාගන්නවා. මම මට ගැළපෙන්නේ නැත්නම් ඒ නිර්මාණය අතහරින්න දෙපාරක් හිතන්නේ නැහැ.
දමිත්‍රිට කවුරු හරි සීමා පනවලත් ඇති?
මේ වෙනකල් කවුරුවත් මට සීමා පනවලා නැහැ. කවුරුවත් මට සීමා පනවන්න හෝ මගේ තීරණවලට බලපෑම් කරන තැනට ඇවිත් නැත්තේ මම මට ගැළපෙන දේ තෝරාගන්න දන්න නිසා.
දමිත්‍රි රැකියාවක් කරන ගමන් රංගනයට එකතු වෙන්නේ ?
මම දැනට බැංකුවක වැඩ කරනවා. එය මගේ වෘත්තිය. රංගනයටත් මම මගේ කාලය වෙන් කරලා තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන වෘත්තියයි රංගනයයි දෙකම කරගෙන යන්න තමයි මම කැමැති.
දමිත්‍රිට පුංචි තිරයෙන් පිට පනින්න අදහසක් තියෙනවද?
සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණා. තවම ඒ නිර්මාණය බාරගත්තේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්නත් මම ආසයි. ඉදිරියෙදි බලමු. දැනට ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙනවා. හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් එයටත් සම්බන්ධ වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ





