විශේෂාංග

හැමෝම යන්න බය 4 වැනි තට්ටුවට යමු

මේ දිනවල රටේ ජනපතිවරයාගේ සිටම හැමදෙනාම කතා කරන්නේ 4 වැනි තට්ටුව යනුවෙන් හඳුන්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය ගැනය. ඒ කතා කොතරම් දුරදිග ගියේදැයි කිවහොත් ආණ්ඩු මාරුවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු රැසකට ස්ථාන මාරුවීම ලැබීය. ඒ අතරේ එහි සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයට පලා යාමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන දැඩි ආන්දෝලනයක් හට ගත්තේය. ඒ නිසා අප කල්පනා කළේ මුළු රටම කතා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගතුග සොයන්නටය.

කොළඹ නගරයේ සිය ගණනක් මහල් ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන ඇත්තේය. ඒ මහල් ගොඩනැගිලිවලට යනෙන ජනතාව ඒවායේ හතරවැනි තට්ටුවක්ද තිබෙන බව ඕනෑ තරම් දැක ඇත්තේය. එම ගොඩනැගිලිවල හතරවැනි තට්ටුවට ගොස් රාජකාරි කරගැනීම ජනතාවට විශේෂ සිද්ධියක් නොවන්නේය. එහෙත් කොළඹ නගරයේ ඇති එක්තරා ගොඩනැගිල්ලක හතරවැනි තට්ටුවට යාමට බොහෝ දෙනෙක් අකමැතිය. ඒ, එහි ගියොත් නතර වන්නේ මහ උළුගෙදරින් බව දන්නා නිසාය. මේ කියන හතරවැනි තට්ටුව ඇත්තේ කොළඹ කොටුවේ, යෝර්ක් වීදියේ පිහිටි මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේය. රටම බය හතරවැනි තට්ටුව හෙවත් රහස් පොලිසිය පිහිටා ඇත්තේ එහිය. හතරවැනි තට්ටුව, එසේ නැතිනම් රහස් පොලිසිය යනුවෙන් කීවාට එහි හරි නම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය.

එම දෙපාර්තමේන්තුව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේය. පොලිසිය යටතේ ආයතන රැසක් තිබුණද කාලයක් පුරා එහි ඇති කීර්තිමත්ම ආයතනය ලෙස වැජඹුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. ඊට හේතු වූයේ කාලයාගේ වැලිතලාවෙන් වැසී යන අපරාධ යළි ගොඩට ගෙන අපරාධකරුවන් එල්ලුම් ගහට යැවීම පිටුපස සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වීම නිසාය. මොන බලපුළුවන්කාරයකු වුවත් වරදක් කර ඇත්නම් ඔහුට ගමේ පොලිසියෙන් බේරෙන්නට පුළුවන් වුවද රහස් පොලිසියෙන් නම් ගැලවිල්ලක් නැත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු මහා බලසම්පන්න පුද්ගලයන් රැසකට කොළ නැති ගහට යන්නට පාර කැපුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ මෙන් නොව රහස් පොලිසිය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ සෘජු නියෝග මතය. නමුත් ගමේ පොලිසියට පැමිණිල්ලක් කළ විට විමර්ශන පවත්වන්නට පොලිස්පති අනුමැතිය ඕනෑ නැත්තේය. මෙකල බොහෝ දෙනෙක් කැමරා පිරිවරාගෙන ගොස් රහස් පොලිසියට අසවල් පැමිණිල්ල ඉදිරිපත් කළ බව කියමින් මොරදීම සිරිතක් වී තිබේ. එහෙත් එසේ පැමිණිලි කළාට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ නැත. ඊට පොලිස්පතිවරයාගේ අනුමැතිය අවශ්‍යය. ඊට හේතුව වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන්නේ සුවිශේෂී සිද්ධීන් ගැන පමණක් වන නිසාය. මහා පරිමාණ කොල්ලකෑම්, කොටකෙතන වැනි අබිරහස් ඝාතන, රෝයල් පාක්, විද්‍යා වැනි ආන්දෝලනාත්මක ඝාතන ඊට උදාහරණය.

දෛවයේ සරදමකට මෙන් රහස් පොලිසියේ ආරම්භකයා ලෙස සැලකෙන පුද්ගලයාද අවසානයේදී ආන්දෝලනාත්මක ඝාතනයක සැකකරුවකු වී පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු (ජ්‍යෙෂ්ඨ) ජෝන් කොතලාවලය. මේ කියන ජෝන් කොතලාවල ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැති ජෝන් කොතලාවලගේ පියාය. දහඅට වැනි සියවසේ අගභාගයේ එවකට පොලිස්පතිව සිටි ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් ජෝන් කොතලාවල ලිපිකරුවකු ලෙස පොලිසියට බඳවා ගත්තේය.

ඔහු පොලිසියට බඳවාගෙන ඇත්තේ එකල පුද්ගලයන් දෙදෙනකුගේ ජීවිතයක් බේරාගෙන කළ වීර ක්‍රියාවක් හේතුවෙනි. ලිපිකරුවකු ලෙස පොලිස් සේවයට එක් වුවද ඔහු නිර්භීත පුද්ගලයකු ලෙස ප්‍රකට විය.

එකල කොළඹ මැසෙන්ජර් වීදියේ ‘නෙයිනා’ නමින් පුද්ගලයකු පවත්වාගෙන ගිය සූදුපොළ රටේ හතර දිග්භාගයේම ප්‍රසිද්ධව තිබුණේය. මෙම සූදුපොළ එකල සිටි එක් නිලධාරියකුට හෝ වැටලීමට නොහැකි බවට ප්‍රසිද්ධව තිබිණි. ජෝන් කොතලාවල වෙස්වලාගෙන ගොස් මෙකී සූදුපොළ වටලා නෙයිනා ඇතුළු පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. නෙයිනාගේ සූදුපොළ වැටලීම එකල මුළු රටේම ප්‍රසිද්ධ විය. එය කොතරම්ද කියතොත් පසු කලෙක දයා වයමන් විසින් ‘නෙයිනගේ සූදුව’ නමින් වේදිකා නාට්‍යයක්ද නිෂ්පාදනය කරන ලදී. නෙයිනගේ සූදුපොළ වැටලීමෙන් අනතුරුව පොලිසියේ විශේෂ පරීක්ෂණ කටයුතු පැවරුණේ ජෝන් කොතලාවල වෙතය.

දෛවයේ සරදමක් ලෙසින් පොලිස් පරීක්ෂක ජෝන් කොතලාවලගේද අවසානය ලියා තිබුණේ පොලිසියමය. ඒ කතාවට මුල කොතලාවලගේ බිරිය වූ ඇලිස් ආටිගලගේ පවුලේ බූදලයය. ඇලිස් ආටිගල ලංකාවේ ‘මිනිරන් රජ්ජුරුවෝ’ ලෙසින් ප්‍රසිද්ධියට පත් පිළියන්දල, කොළමුන්න වලව්වේ ඩී.සී.ජී. ආටිගල මුදලිඳුගේ දියණියකි. ආටිගල මුදලිගේ අභාවයෙන් පසු බූදලයේ හිමිකරුවා වූයේ ඔහුගේ එකම තරුණ පුත්‍රයා වූ ඩික්සන් ආටිගලය. පවුලේ බූදල් අර්බුදයක් උද්ගත වී තිබූ වකවානුවක, එනම් 1906 වසරේ දෙසැම්බර් 09 වැනි දින කොළඹ, කෙසෙල්වත්තේදී ඩික්සන් ආටිගල වෙඩි තබා ඝාතනයට ලක්විය. ඝාතන චෝදනාව එල්ල වූයේ ඔහුගේ මස්සිනා වූ ජෝන් කොතලාවලටය. මේ ඝාතනයට අත්අඩංගුවට පත්වූ ​ජෝන් කොතලාවල සිරමැදිරියේදීම මීපාසානම් කා සියදිවි නසා ගත්තේය.

කෙසේ නමුදු ජෝන් කොතලාවල රාජකාරි කළ අංශය පසුකලෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වීය. එය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ 1952 වසරේ දෙසැම්බර් 24 වැනිදාය. ඒ මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේය. එහි හතරවැනි තට්ටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇරඹුණු නිසා පසුකලෙක එම දෙපාර්තමේන්තුවට හතරවැනි තට්ටුව යනුවෙන් නම් පට බැඳුණි. එකල මහ ලේකම් කාර්යාලය ගොඩනැගිල්ලේ එක් මහලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටද, තවත් මහලක් පොලිස් ආධුනිකයන් බඳවා ගැනීමේ අංශයද වෙන්ව තිබුණේය. අනෙකුත් මහල් විවිධ කාර්යයන් සඳහා යොදා ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හතරවැනි තට්ටුව ලෙසින් කරලියට ආවේ එක්දහස් නවසිය හැටේ දශකයේ රහස් පොලිසියේ නම කැත කරමින් වූ මරණයක් සමගය. එම මරණය නිසා එකල පැතිරුණු කතාවක් වූයේ හතරවැනි තට්ටුවට ගිය අයෙකු පණපිටින් නැවත නොපැමිණෙන බවකි. එවැනි කතාවක් පැතිරීමට ප්‍රධාන හේතුව වූයේ රත්නපුරයේ ජීවත් වූ ‘දොඩම්පේ මුදලාලි’ හතරවැනි තට්ටුවට ගොස් පණපිටින් ගෙදර නොයෑම නිසාය.

දොඩම්පේ මුදලාලි යැයි පැවසුවද ඔහුගේ නියම නම වී ඇත්තේ ඇල්.වී. අප්පුහාමිය. එක්දහස් නවසිය හැට හයේදී රජය පෙරළීමේ කුමන්ත්‍රණයට රහස් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේ සැකපිටය. මෙම කුමන්ත්‍රණයට එකල රත්නපුරයේ සිරිසුමන විශ්වවිද්‍යාල පිරිවෙන් අධිපතිව වැඩසිටි හේන්පිටගෙදර ඤාණසිහ නායක හිමියන්ද අත්අඩංගුවට පත්විය. රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට ගෙන ගිය දොඩම්පේ මුදලාලිව ප්‍රශ්න කර ඇත්තේ වතුර ටිකක් හෝ නොදෙමින්ය. ඔහුව අත්අඩංගුවට ගත් පසු රාත්‍රි කාලයේ පරීක්ෂණ භාරව සිට ඇත්තේ සහකාර පොලිස් අධිකාරී කොන්රඩ් වීරතුංග හා පොලිස් පරීක්ෂක රාහුල් සිල්වාය. රාහුල් සිල්වා බොහෝවිට සැකකරුවන්ගෙන් පාපොච්චාරණයන් ගෙන ඇත්තේ හොඳින් නොව, වධ දෙමින්ය. නමුත් ඔහු දක්ෂ නිලධාරියෙක් ලෙස ප්‍රකටව සිටියේය.

රාහුල් සිල්වාගේ වධහිංසා ඉවසා ගැනීමට නොහැකිව දොඩම්පේ මුදලාලි හතරවැනි මහලෙන් පැනීම නිසා මියගිය බව එකල ප්‍රචාරය විය. නමුත් පසුව කියැවු‌ණේ දොඩම්පේ මුදලාලිගෙන් පොලිසිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් නිසා ඔහුව හතරවැනි තට්ටුවෙන් තල්ලු කළ බවකි. මෙම සිදුවීමෙන් පසුව වීරතුංග හා රාහුල් සිල්වා වැඩි කලක් පොලිස් සේවයේ සිට නොමැත. රාහුල් සිල්වා මියගොස් ඇත්තේ මානසික රෝගියකු ලෙසිනි.

එකල අද මෙන් රාජ්‍ය බුද්ධි අංශයක් (මුලින්ම එය හැඳින්වූයේ ජාතික බුද්ධි කාර්යාංශය) රටේ නොතිබුණි. බුද්ධි අංශය ක්‍රියාත්මක වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. එය හැඳින්වූයේ විශේෂ අංශය යනුවෙනි. පනහ හැටේ දශකයේ ක්‍රියාත්මක වූ බෞද්ධ බලවේග, කතෝලික බලවේග ගැන සොයා බලන්නටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඔත්තු බැලීය. ජනතා විමුක්ති පෙරමුණේ උපත මුලින්ම අනාවරණය කරගත්තේද මේ විශේෂ අංශය විසිනි. මේ අනාවරණය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ‘චේ ගුවේරා බියුරෝව’ ඇරඹුණේ ජවිපෙ ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමටය. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ඔත්තු බැලීමේ රාජකාරියෙන් ඈත්වී ඇත්තේය. ඒ එයට දැන් රාජ්‍ය බුද්ධි අංශයක් තිබෙන බැවිනි.

කෙසේ නමුත් උතුරේ දෙමළ සන්නද්ධ තරුණයන්ගේ නැගිටීම ගැනද මුලින්ම සොයා බැලුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. එය ඇරඹෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේදී යාපනයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු ඝාතනය කිරීමත් සමගය. ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට උතුරට ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේය. ඔහු පර්ජෝ 404 වර්ගයේ මෝටර් රියෙන් උතු​රේ හැමතැනම ගොස් දෙමළ සන්නද්ධ තරුණයන් ගැන පරීක්ෂණ පැවැත්වීය. දිනක් ඔහුට ලැබුණු ඔත්තුවකින් කියැවුණේ දෙමළ සන්නද්ධ තරුණයන් පිරිසක් මන්නාරම මඩු පල්ලිය පිහිටි කැලෑවේ සිටින බවය. වහාම ක්‍රියාත්මක වූ බස්තියන් පිල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු සමග එම පිරිස ලුහුබැඳ ගියේය. පොලිසිය එන අයුරු දුර තියාම දුටු උමා මහේෂ්වරන් ඇතුළු සන්නද්ධ දෙමළ පිරිස බස්තියන් පිල්ලේ ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඝාතනය කර ඔවුන් පැමිණි මෝටර් රියෙන්ම පලා ගියහ. දින කිහිපයකට පසු මෝටර් රිය ගිනි තබා තිබියදී කිලිනොච්චියෙන් හමුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මේ ඝාතනය එකල රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළේය.

අද ඊයේ පමණක් නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණ රටේ දැඩි ආන්දෝලනයකට ලක්වුණේය. හාර ලක්ෂයේ මංකොල්ලය ඊට හොඳම කතාවය. මේ සිද්ධියට සම්බන්ධ මෝටර් රිය වළ දමා තිබියදී එය සොයාගෙන ඇල්ෆ්‍රඩ් සොයිසා සහ කළු ඇල්බට් ඇතුළු සැකකරුවන් අල්ලා ගත්තේ රහස් පොලිසිය විසිනි. ඒ කතාව එකල රටේ කොච්චර ප්‍රසිද්ධියට පත්වූවේදැයි කිවහොත් රහස් පොලිස් පරීක්ෂණ ඇසුරින් ‘හාර ලක්ෂය’ යනුවෙන් චිත්‍රපටයක්ද නිෂ්පාදනය විය.

ඉස්සර මෙන් නොව, දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ වැඩිය. ඒ ඔක්කොම කුණු බේරුවල බොක්කට කියන්නාක් සේ කිසිවකු අත තියන්න අකමැති පරීක්ෂණ සියල්ල දැන් පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වන නිසාය. ඉකුත් කාලයේ වූ ආන්දෝලනයට ලක් වූ ඝාතන හා පැහැරගෙන යෑම් ඊට උදාහරණය. එවැනි ඝාතනයකට සැකපිට හතරවැනි තට්ටුවට ගිය මහා බලසම්පන්න පොලිස් නිලධාරියකු වූ වාස් ගුණවර්ධන අන්තිමේදී නතර වූයේ මහඋළු ගෙදරය.

කෙසේ නමුදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත්තේ අබිරහස් මිනීමැරුම් ගැන සොයන්නට පමණක් නොවේ. සමූහ මංකොල්ල විමර්ශන අංශය, වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය විමර්ශන අංශය, ජාත්‍යන්තර අංශය, බුද්ධි අංශය, පරිගණක අපරාධ අංශය, ගුවන් තොටුපොළ අංශය, සමුද්‍රික අපරාධ අංශය, අතුරුදන් වූවන් විමර්ශන අංශය ඇතුළු අංශ රැසක් හතරවැනි තට්ටුවේ ඇත්තේය. මේ අංශවලින් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිත්තල බොත්තම් නිල ඇඳුම් අඳින්නේ නැත. රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පරීක්ෂණ පවත්වන්නට යන කොස්තාපල්වරයා දක්වා සියල්ලන්ම අඳින්නේ සිවිල් ඇඳුමය. නඩු කටයුතු මෙහෙය වන්නට සීඅයිඩියේ නිලධාරීන් උසාවි යන්නේ ටයි කෝට්වලින් සැරසීය. ඇතැම් පරීක්ෂණවල තොරතුරු සොයන්නට සී.අයි.ඩී. නිලධාරීන් විවිධ වෙස් ගන්නා බව ප්‍රකට රහසකි. හිඟන්නන්, ලොතරැයි අලෙවිකරුවන් පමණක් නොව, කසිප්පුකාරයන් ලෙසද ඔවුහු වෙස් ගෙන තොරතුරු සොයති. මේ නිසාම අපේ රටේ කතාවක්ද හැදුණේය.